Latest News

‘ලන්දු’ සින්දුව කියූ D–TAP අයියලා ආයෙත් ඇවිල්ලා

කොච්චර වයසට ගියත් අපි සමහර නොස්ටැල්ජි නැත්තම් අතීත සුවඳ එක්ක පරණ මතකවලට හිතින් දුවන වෙලාවල් අනන්තයි.මේ ලිපිය ලියැවෙන්නෙත් මේ ළඟදි ෆේස්බුක් එකේ අතරමං වෙලා ඉද්දි දැකපු පෝස්ට් එකක් නිසා දැනුණු එහෙම හැඟීමක ප්‍රතිඵලයක් විදියට.

“අපි පොඩි කාලේ මගේ ආදර ලන්දු සිංදුව අහන්න රසරිසි ගී ඉවර වෙනකල්ම ඉන්න ඕනේ.ඒකට දැන් ඉන්න අයට, ඕන වෙලාවක ඕන සිංදුවක් අහන්න පුළුවන්.”

ඒ පෝස්ට් එක දැකපුවාමයි අර කියාපු නොස්ටැල්ජියාව දැනුණේ.ඔය කියන කාලේ අපි පොඩියි.අර අසූවේ අනූවේ සෙට් එක කියන්නේ.ඒ කාලේ ටෙලිවිෂන් එකෙන් නැත්තම් රේඩියෝ එකෙන් අහපු දැකපු දෙයක් ඇර ස්මාර්ට් ෆෝන්,සෝශල් මීඩියා කියලා ගැජට් අපිට තිබුණේ නෑ.හැබැයි ඒ කාලේ ලස්සන සිංදු සෙට් එකක් තිබුණා.ඒවා අහන්න ලැබුණෙත් ටීවී එකේ යන චාර්ට් ශෝවලින් විතරයි.අපි ඉතින් ඕව බලන්න සතිඅන්තේ එනකල් පෙරුම් පුරනවා.ඒ සිංදු පොත්වල ලියලා තියාගන්නවා.ඉන්ටර්වල් එකේදි ඉස්කෝලේ යාළුවෝ එක්ක එකතු වෙලා ඒ සිංදු කියපු හැටිත් තාම මතකයි.ෆෝන් නැති කාලේ කට්ටියට පෙම් හසුන්වල ලියලා දුන්නෙත් ඔය සිංදු.

අර පෝස්ට් එකේ තිබුණු ‘මගේ ආදර ලන්දු…ඇයි ඔය නෙතු අග කඳුළු’ කියන සිංදුවත් ඒ කාලේ කෙල්ලො කොල්ලො පිස්සු වට්ටපු සිංදුවක්.දයාන් අරවින්දයි තරිඳු රොෂානුයි තමයි මේ සිංදුවේ අයිතිකාරයෝ.එතකොට මේ දෙන්නත් අවුරුදු දහඅටේ දහනවයේ පොඩි කොල්ලෝ.දැන් ඒ අයත් ලොකු වෙලා වෙනස් වෙලා කියලා දැක්කෙ අර පෝස්ට් එකෙන් ඉස්සරහට හොයාගෙන යද්දියි.ඒ නිසා ඉස්සර මතක ටිකක් ආයේ ආයේ අලුත් කරගන්න අපි ඒ දෙන්නත් එක්කලා ටිකක් කතා කළා.ඉතින් ඒ කතාබහේ සටහන මේ විදියට ලියන්නේ ඒ කාලේ D- TAPලට පිස්සු වැටිලා හිටපු පරපුරේ අය වෙනුවෙන්.

‘ලන්දු’ සිංදුව කියන්නේ දයාන්.ලන්දු සිංදුව ගැන අදටත් අමතක නොවෙන මතක ගොඩාක් තියෙනවා කියලයි කතාබහෙදි ඔහු කිව්වේ.

“පොඩි කාලේ ඉඳලා මට සිංදු කියන්න පුළුවන්. පාසල් විෂයක් විදියටත් මියුසික් කළා.මමයි තරිඳුයි දෙන්නම මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනගත්තේ.ඉස්කෝලේ මියුසික් වැඩවලදිම තමයි මම තරිඳුව අඳුනගත්තේ.පස්සේ අපි එකතු වෙලා එක එක සිංදු මෙලඩි කරන්න ගත්තා.

අපි මුලින්ම කළේ ‘Mad Love’ කියලා ඉංග්‍රීසි සිංදුවක්. සිංදු හැදුවට ඒවා ලේසියෙන් අප්ලෝඩ් කරන්න දැන් වගේ යූටියුබ් නැහැනේ. ඉතින් සිංදු හදාගෙන ගිහින් චැනල්වලට බාරදෙන්න ඕනේ. අපි දෙන්නම මාතර. ඒ කාලේ දැන් වගේ අධිවේගී මාර්ග නැහැ. මාතර ඉඳලා පැය 4 1/2ක් විතර කට්ට කාලා කොළඹට එනවා. කොළඹ ආවට පස්සේ සිංදු බාරදෙන්න ඕනේ කාටද කියලා දන්නෙත් නැහැ. අපි ඉතින් CD දහයක් විතර ගහගෙන ඇවිල්ලා චැනල් සේරටම බාරදීලා යනවා. ඔහොම දීලා දීලා ‘Mad Love’ සිංදුව ප්‍රසිද්ධ නාලිකාවක යන්න පටන්ගත්තා. ඊටපස්සේ අපි ​‘නෙත් කොනින්’ කියලා තව සිංදුවක් කළා. ඒක නම් දීලා මාස තුනක් විතර යනකන් ප්ලේ වු​ණේ නැහැ. ඔහොම ඉන්න අතරේ තමයි ‘මගේ ආදර ලන්දූ… ඇයි ඔය නෙතු අග කඳුළු’ පද පේළිය මගේ ඔලුවට ආවේ. ඇත්තම කිව්වොත් ඉස්කෝලෙ යන කාලේ ඇත්තම අත්දැකීමක් නිසා තමයි ඒ සිංදුව ලියැවු‍ණේ. පස්සේ සිංදුව ගැන තරිඳුට කිව්වා. සිංදුව හොඳයි කියලා හිතුණ නිසා පද සම්පූර්ණ කරලා මියුසික් දාලා රෙකෝඩ් කළා. එතකොට අපි ඉස්කෝලෙන් අස්වුණා විතරයි. ඉතින් කොළඹ ඇවිල්ලා සිංදුවක් රෙකෝඩ් කරන්න පුළුවන්කමක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා ගෙවල්වල අයගෙත් උදව් ඇතිව අවශ්‍ය ඉන්ස්ටෘමන්ට් ටික විතරක් අරන් සිංදුව කළා. ලන්දු හැදුවේ 2006දි. රිලීස් කළේ 2007දී. රිලීස් කරන්න කලින් අපි දන්න අයට සිංදුව දුන්නා. ඉතින් ටීවි එකේ යන්නත් කලින්ම සිංදුව මාතර පැත්තේ ප්‍රසිද්ධ වුණා. පස්සේ දන්න නංගි කෙනෙක්වත් එකතු කරගෙන විෂුවල් එකත් කරලා කොළඹ ගිහින් සිංදුව බාරදුන්නා. උදේ දීපු සිංදුව එදා හවසම චාර්ට් ශෝ වල ප්ලේ වුණා. අපිට ඉතින් හරි සතුටුයි. මිනිස්සු පුදුම විදියට ‘ලන්දු’ සිංදුවට ආදරේ කරන්න පටන්ගත්තා. ඒත් එක්කම දවසෙන් දෙකෙන් සිංදුව ලංකාව පුරාම හිට් වුණා. ඒකෙන් අපි එකපාර සෑහෙන ජනප්‍රිය වුණා. ටීවී ඉන්ටවීව්වලට, මියුසිකල් ශෝවලට ආරාධනා ලැබුණා.”

ලන්දු සිංදුව D-TAPලට වාසනාව ගෙනාපු විදිය ගැන දයාන් කිව්වේ ඔහොමයි.

 

*ඒ ජනප්‍රියත්වය එක්ක ලැබුණු ප්‍රතිචාර කොහොමද?

“ජනප්‍රියත්වය එක්ක අපි ලංකාව පුරාම මියුසිකල් ශෝවලට ගියා. දවසක් අපි ශෝ එකකට යන්න පාර අයිනට වෙලා ඉද්දි හයියෙන් සද්ද කරගෙන ගෑනු ළමයි ගොඩාරියක් අපිව වට කරගත්තා. එවෙලේ නම් අපිත් හොඳටම බයවුණා. තව පාරක් මරු වැඩක් වුණා. දවසක් ලන්දු සිංදුව යද්දි ටීවි එක යටින් මැරුණු කෙනෙක් වෙනුවෙන් ‘නිවන් සුව’ පතලා නෝට් එකක් ගිහිල්ලා. අපිට කරදරයක් වෙලා කියලයි කට්ටිය හිතලා තියෙන්නේ. එදා ඉතින් අපිට එකදිගට කෝල් ආවා. ඒකත් මට කවදාවත් අමතක වෙන්​නේනැහැ. විශේෂම දේ මේ සිංදුවට තරුණ, බාල, මහළු හැමෝගෙම ප්‍රතිචාර තිබුණා. අපේ ගෙවල් ගාව අවුරුදු පහක පුංචි පුතෙක් හිටියා. ඒ බබා හැමදාම මාව බලන්න එනවා. එයාට නිදාගන්න අනිවාර්යයෙන්ම ලන්දු සිංදුව දාන්න ඕනෙලු. නැත්නම් එයා නිදාගන්​නෙ නැතිලු. මේ ළඟදි මට නංගි කෙනෙක් මුණගැහුනා. එයා ​පොඩි කාලේ අම්මා කෑම කවන්නේ ලන්දු ගැන කියලලු. කෑම කෑවොත් ලන්දු දාලා දෙනවා කිව්වහම ඒ ළමයා කෑම සේරම කනවලු.”

දයාන් ඉස්සර කතා ගැන අපිත් එක්ක කිව්වේ හිනාවෙවී. කාලයක් පෙන්න හිටියේ නැති හැබැයි අපිට කවදාවත් අමතක වෙන්නේ නැති මේ කලාකරුවෝ එකතු වෙලා ආයෙත් අලුත් වැඩක් පටන් අරන්. මේ පරණ කතා, මතක අලුත්වු‍ණේ ඒ වැඩේ නිසා කියලා අපිට කිව්වේ තරිඳු.

“ඉස්සර සිංදු කිව්ව කට්ටිය දැන් ආයෙත් එකතු වෙලා ‘අලුත් කලාව’ කියලා කොන්සට් එකක් කරනවා. දැනට ඒකේ කොන්සට් පහක් විතර කළා. ඒ හැම එකකටම 6000ත් පන්නලා සෙනඟ හිටියා.මේ කොන්සට් එකට වැඩිපුර එන්නේ අසූවේ අනූවේ සෙට් එක. ඒ කාලේ එයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න විදියක් තිබුණේ නැහැනේ. මේ අවස්ථාවත් එක්ක දැන් ඒ ජෙනරේෂන් එකේ අය ආයේ අපිව බලන්න එනවා.”

මේ අලුතින් කරන සංගීත ප්‍රසංග බලන්න එන අය වුණත් ගොඩක් වෙලාවට කියන්නේ ඒ කාලේ මතක ගැනලු.

“ලන්දු සිංදුව ලියුම්වල ලියලා දීලා කසාද බැඳපු දෙන්නෙක් ශෝ එකකදි ඇවිල්ලා අපිට කතා කළා. සිංදු නිසා ක්‍රෂ් වුණු අය, යාළුවුණු අය ඕනතරම් ඉන්නවලු. ඒ කාලේ දයාන්ට ගෑනු ළමයි මාර කැමතියි. දයාන් නිසාම දයාන්ගේ හැඩරුව තියෙන අය එක්ක යාළුවුණ ගෑනු ළමයිත් ඉන්නවා. මේ මෑතකදිම තිබුණු කොන්සට් එකේදි අපිට ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්ව මුණගැහුනා. එයාගේ වයි‍ෆුත් ඒ කාලේ දයාන්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා කියලා එයා අපිත් එක්ක කිව්වේ හිනාවෙවී.”

පඳුරකට පයින් ගැහුවොත් විසිවෙන තරමට ගායකයෝ, නළුවෝ ඉන්නවනේ. හැබැයි එහෙම නැති ඒ කාලේ දයාන්ලට තරිඳුට තිබුණ ආදරය, පිළිගැනීම වෙනස් එකක් කියන කතාව ඇත්ත.

“මට හොඳට මතකයි දවසක් දයානුයි මායි අපේ ඉස්කෝලෙට (මාතර රාහුල විද්‍යාලය) ගියා. අපි ඉස්කෝලෙට ගිහින් ටික වෙලාවකින් ඉන්ටවල් දුන්නා. ඔන්න ඒ පාර D-TAPඅයියලා ඇවිල්ලා කියලා මුළු ඉස්කෝලෙම ළමයි අපිව වටකරගෙන අපෙන් අත්සන් ගන්න පටන්ගත්තා. ඉන්ටවල් එක ඉවර වුණත් ළමයි ගියේ නැහැ. මහා ගාලගෝට්ටියයි. පස්සේ ප්‍රින්සිපල් ඇවිල්ලා බොහොම අමාරුවෙන් තමයි ළමයි ටික යැව්වේ. කලින් දැනුම් දෙන්​නේ නැතිව ආයේ ඉස්කෝලේ පැත්ත පළාතට එන්න එපා කියලත් ප්‍රින්සිපල් එදා අපිට කිව්වා. සමහර ගෑනු ළමයි සල්ලි කොළ අරන් ආවා අපෙන් අත්සන් ගන්න. ඒ කාලේ අපිත් පොඩිනේ. අපිටත් ඉතින් එකපාර ලැබුණු ජනප්‍රියත්වය මැජික් එකක් වගේ.”

තරිඳුලට, දයාන්ලට පාරේ බැහැලා යන්න බැරි තරමට ‘අන්න D-TAP අයියලා’ කිය කිය කට්ටිය පස්සේ එන කාලයක්ලු ඒක. හැබැයි ඒ කාලේ මේ උදවියට ආදරේ කළ අයට අදටත් මේ මුහුණු අමතක නැති එකයි වැඩේ.

“දැන් ඉතින් අපි පෙනුමෙන් වෙනස් වෙලානේ. ඒත් පාරේ යද්දි සමහරු අපේ මුණු දිහා බලාගෙන ඉඳලා D-TAP අයියලා නේද අහනවා. ඉස්සර අපේ නම්බර් හොයාගන්න මාර කට්ටක් කෑවා, ඒත් ලැබු‍ණේනැහැ කියලා සමහරු කියනවා. දුර පළාත්වලට ගියත් එහෙමයි. මේ අය අපේ සිංදුවට අපිට වඩා ආදරෙයි කියලා දැනෙද්දි අපිට මාර සතුටුයි.”

ඉස්සර දයාන්ලගේ නම්බර් ඉල්ලගන්න ගෑනු ළමයි රේඩියෝ, ටීවී චැනල්වලට වද දෙනවලු. එහෙම කරලා නම්බර් අරන් කතා කරපු ගෑනු ළමයි නැතිව නෙමේලු.

“ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවල ඉන්න ගෑනු ළමයිත් ඒ කාලේ කතා කළා. මේ සිංදුව නිසාම අපිට මුණගැහුනු යාළුවෝ, රසිකයෝ පවුල් අය වගේ ආශ්‍රය කරන අය අදටත් අපිත් එක්ක ඉන්නවා. ඒකයි සතුට.”

D-TAPලා ළඟදිත් ‘හිතට ළංවෙලා’ කියලා අලුත් සිදුවක් රිලීස් කළා. මතක කතා අවසානේ ඒ ගැනත් අපි දයාන්ගෙනුයි තරිඳුගෙනුයි අහලා බැලුවා.

“එකපාරටම ලංකාවට මල් සිංදු කලාවක් ආවනේ. ඒකත් එක්ක අපිටත් ඒ වගේ සිංදු හදන්න කියලා කට්ටිය කියන්න ගත්තා. ඒකත් එක්ක තමයි අපි ටිකක් මියුසික්වලින් අයින් වු‍ණේ. අනික පෞද්ගලික වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ළඟදි අපේ අලුත් සිංදුවක් රිලීස් වුණා. කාලෙත් එක්ක දැන් හැමදේම වෙනස් වෙලා. ඉතින් අර ඉස්සර තිබුණු වයිබ් එක ආයේ ඒ විදියටම අපේ රසිකයන්ට දෙන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒත් ඉතින් අප්ඩේට් වෙන ගමන් අලුත් දේවල් ටිකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සරහට බලමු.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – රනුල් වින්දුල