විශේෂාංග

අපි දෙන්නම DIG

පසුගියදා වැඩිම කතාබහට ලක්වූ කාන්තාවන් ත්‍රිත්වයක් සිටියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේයි. ඒ එකවර නි​යෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ නිශානි සෙනෙවිරත්න, පද්මිණී වීරසූරිය සහ රේණුකා ජයසුන්දර යන මහත්මීන් ත්‍රිත්වයයි.

මුළු රටේත් ලෝකයේත් අවධානය දිනාගනිමින් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාස පොතේ මේ තුන්කට්ටුව පිළිබඳව නව පරිච්ඡේදයක් එසේ ලියැවෙද්දී DIG නිශානි සෙනෙවිරත්න සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණතරත්න සමඟ එක්ව තවත් වාර්තාවක් තැබුවාය. ඒ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් පළමු ශ්‍රී ලාංකික අඹුසැමි යුවළ වශයෙන් ඉතිහාසයට එක්වෙමිනි.

මේ, ඒ දෙදෙනාගේ කතාවයි.

1988ට පෙර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට කාන්තාවන් බඳවාගැනුණේ කොස්තාපල්වරියන් ලෙසය. නමුත් 1988 දෙසැම්බර් 26 වන දින පළමුවරට පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරියන් ලෙසින් කාන්තාවන් තිදෙනෙක් බඳවා ගැනිණි. නිශානි සෙනෙවිරත්න සිටියේද එලෙස පළමුවරට බඳවාගත් උප පොලිස් පරීක්ෂකවරියන් තිදෙනා අතරය. ඒ නිසා පොලිස් සේවය තුළ ඇගේ ආරම්භයම සුවිශේෂී එකකි.

මාළඹේ මුල් පදිංචිය වූ නිශානිට කෙදිනකවත් පොලිසිය අලුත් තැනක් වූයේ නැත. මව නන්දා සෙනෙවිරත්න සහ පියා අලුත් ගෙදර සෙනෙවිරත්න යන දෙපලම පොලිස් සේවයේ නියුතු අය වීම ඊට හේතුවයි. නිශානිට ඉන්නේ සහෝදරියන්ම පස්දෙනෙකි. වැඩිමහල් සොයුරිය චාන්දනී මේ වනවිට ශ්‍රී ලංකා රේගුවේ සේවය කරන්නීය. දෙවැන්නිය දීපානි සිටින්නේ නවසීලන්තයේය. ඇය නිශානිගේ නිවුන් සහෝදරියයි. සිව්වැන්නිය මනුශාන්ති ද පොලිස් නිලධාරිනියකි. බාල සොයුරිය වන නයනා සෙනෙවිරත්න රත්නපුර මහාධිකරණ විනිසුරුවරියයි.

මේ සොයුරියන් පස්දෙනා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙනි. බාල නැගණියන් දෙදෙනා පමණක් සංඝමිත්තා බාලිකාවේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පසුව ආනන්ද බාලිකාවට ඇතුළත්ව තිබේ. පාසලේදී සෙනෙවිරත්න පවුල බොහෝ ජනප්‍රියය. ලොකු අක්කා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූවාය. අනෙක් සොයුරියෝ ද ශිෂ්‍ය නායක ධුර දැරූහ. ක්‍රීඩාවට දක්ෂතා පෙන්වූ නිශානි ක්‍රීඩා නායිකාවයි. පාසලේ ඕනෑම බාහිර ක්‍රියාකාරකමදී එහි සෙනෙවිරත්න සොයුරියන්ගේ නියෝජනයක් තිබුණි. බොරැල්ල පොලිස් නිල නිවාසවල වාසය කරන සමයේ පොලිස් පවුල්වල දැරියන්ගේ දැල්පන්දු කණ්ඩායමේද නිශානි සාමාජිකත්වය දැරුවාය. පසුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නිශානිට ගුරු සහ හෙද සේවාවට ඇතුළත් වීමට ද සුදුසුකම් තිබුණි. එහෙත් ඒ ක්ෂේත්‍රය සම්බන්ධව මවගේ මනාපයක් නොතිබුණු නිසා කුඩා කල පටන් හුරුපුරුදු පොලිස් සේවයටම එක්වීමට ඇයට අවස්ථාව උදාවිය.

‘‘උප පොලිස් පරීක්ෂක ධුරයට කෙලින්ම බඳවාගත්ත පළමු කාන්තාවන් තුන්දෙනා වීම නිසා අපි තුන්දෙනා විශේෂ වුණා. අපේ පුහුණුව වුණත් ඉතාම හොඳයි. අද වෙනකල්ම මට රාජකාරි මට්ටමේ කිසිම බාධාවක්, අභියෝගයක් තිබිලා නෑ. මට බාරදෙන රාජකාරිය මම උපරිමෙන් කරනවා. බාධාවකින් තොරව උසස්‌වීම් ලැබෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති.’’

මෙසේ කාලය ගතවෙද්දී නිශානිට තම සහකරුවා ද ​පොලිසියෙන්ම මුණ ගැසෙන්නීය. මහින්ද ගුණරත්න නම් වූ ඔහු පොලිස් පරීක්ෂකවරයකු ලෙස ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයට බැඳුණේ 1988 වසරේ ජූලි මාසයේදීය. වසර ගණනාවක් එහි සේවය කළ හෙතෙම පසුව ජනාධිපති ආරක්ෂක අංශයට එක්විය. ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ඔහු සිය සේවා කටයුතු කළේය. එදා පටන්ම එකිනෙකා හඳුනන නිශානි – මහින්ද දෙපළ ඒ දැන හඳුනාගැනීමෙන් වසර 10කට පසු 1998 වසරේ විවාහ විය. එය දෙදෙනාගේම ජීවිතවල හොඳම තෝරාගැනීම විය. එකිනෙකාගේ රාජකාරී ස්වභාවය මනාව වටහා ගැනීමත් අන්‍යෝන්‍ය විශ්වාසයත් ජීවිතයේ දියුණුවට නිරන්තර මග පෙන්වීය. නිවසේ රාජකාරී එක් අයෙකුට පමණක් පැවරුණේ නැත. රාජකාරී නිමවා රෑ බෝ වී නිවසට පැමිණීම පිළිබඳ අර්බුද තිබුණේ ද නැත. දියණියන්ගේ කටයුතු ද ඔවුන් දෙදෙනාගේම අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ සිදුවෙයි.

‘‘රාජකාරිය එක්ක කොයිතරම් කාර්යබහුල වුණත් අපිට ගෙදර අතහැරිලා නෑ. උදව්වට අය හිටියත් උදේට උයන්නෙත් අපිමයි. මහත්තයා තමයි මට ඒ වැඩවලට ගොඩක් උදව් වෙන්නෙ. රෑටනම් ඉතින් මහන්සි නිසා ගොඩක් වෙලාවට පිටින් කෑම ගේනවා. ඒ වුණත් අපි හතරදෙනා ටිකක් රෑ වෙනකං එදා දවසෙ විස්තර කතාබහ කරලා තමයි නින්දට යන්නෙ.’’

2019 වසරේද නිශානි සෙනෙවිරත්න පොලිස් වාර්තා අතරට එක්වන්නීය. ඒ, ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කවුන්සලර් (ආරක්ෂක) ධුරයට පත් ප්‍රථම කාන්තාව බවට පත්වීමෙනි. මහින්ද ගුණරත්න නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වන්නේ 2015දීය. නමුත් සිය භාරදූර කාර්යයන් අතර දියණියන්ගේ සම්පූර්ණ වගකීම තනිව දරමින් බිරියට සහාය වුණේ ඔහුය.

‘‘කාලෙ නිවසේ සියලු කටයුතු කෙරුණේ මහින්දගේ අතින්. කොහොමත් අපේ හැමදේකටම එයා ළඟින් ඉන්නවා. මටයි, දුවලටයි ඇඳුම් තෝරන්නෙත් එයා. සාමාන්‍යයෙන් ඇඳුම් තෝරන්න වෙලා ගන්නෙ කාන්තාවන්නේ. ඒත් අපේ ගෙදර ඒක වෙනස්. ෂොපිං ගියාම අපට ඇඳුම් තෝරන්න මහින්ද ගොඩක් වෙලා ගන්නවා. හැබැයි එයාගෙ තේරීම් හරියටම හරි. අපි තුන්දෙනාම ඒවට කැමතියි. මං කෑගැහුවත් දුවලට අලුත් මොස්තරවල ඇඳුම් එහෙමත් එයා අරන් දෙනවා. එතනදී මහින්ද නම්‍යශීලීයි. ඉන්දියාවෙ හිටපු කාලෙ ඇරුණාම මගෙත් ඇඳුම් ඔක්කොම තෝරලා දීලා තියෙන්නෙ මහින්ද.’’

නිශානි සෙනෙවිරත්නගේ දියුණුවේ යෝධ ශක්තිය වූ මහින්ද ගුණරත්නගේ උපන්ගම කුලියාපිටිය, ගිරිඋල්ලයි. ඔහුගේ පවුලේ කිසිවකු පොලිසියට සම්බන්ධ නැත. එසේ වුවත් සියලු විභාග සමත් වෙමින්, අත්දැකීම් ලබමින් ක්‍රම ක්‍රමයෙන් ඔහු රාජකාරියේ ඉහළට ගමන් කරමින් සිටී. නිශානි සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්‌වීම් ලබද්දී ඔහු සේවය කරමින් සිටියේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයට උප පොලිස් පරීක්ෂකවරියක ලෙස බැඳී එහි සේවයේ නියුතු අතරම නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් පළමුවැන්නා ලෙස නිශානි සෙනෙවිරත්න ඉතිහාසගත වෙද්දී දෙදෙනා හවුල් වාර්තාවකට ද හිමිකම් ලැබූහ. ඒ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් ප්‍රථම ශ්‍රී ලාංකික යුවළ ලෙසිනි. ඉන් මසක් ගතවීමට ප්‍රථම මහින්ද ගුණරත්න තවත් උසස්වීමක් ලැබුවේය. ඒ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට පත්වෙමිනි. ඔහු පවසන්නේ කැපවීමෙන් රාජකාරී කිරීම මත ඒ සියල්ලට හිමිකම් ලැබූ බවයි.

‘‘අපි දෙන්නම රාජකාරියට මුල්තැන දෙනවා. නිවාඩුවක් ගන්නෙම නැති තරම්. අපි සතුටු වෙන්නෙ වැඩ කරලා. ගෙදර වැඩත් අපි සහයෝගයෙන් කරනවා. එයා මං එනකන්වත්, මං එයා එනකන්වත් ඉන්නෙ නෑ. අපි දෙන්නම ලැබුණු කාර්යය හරියටම ඉටු කළා මිසක් මෙතනට එනවමයි කියලා සැලසුම් කළේ නෑ. නිශානි ඩීඅයිජී වුණාට පස්සෙ තමයි අපි දෙන්නම ඒ තනතුරේ නේද කියන එකත් මතක් වුණේ. කරන්නන් වාලේ නොකර කරන දේ හරියට කළාම හැමදේම නිරායාසයෙන්ම ලැබෙනවා කියලයි මට හිතෙන්නෙ.’’

රෂ්නිකා ලියනගේ