විශේෂාංග

ඔලිම්පික්වලට ටෝකියෝ යද්දිත් දිනේෂ් බුද්ධ ප්‍රතිමාවක් අරගෙන ගියා

ජීවිතය අප පරීක්ෂා කරන අයුරු විවිධාකාරය. ඇතැම් අභියෝග බාරගැනීම පහසු නැත. එහෙත් කල්පනාවෙන් සහ කැපවීමෙන් ගමන් ගන්නෙකුගේ ජය වැළකීමට කිසිවකුට නොහැකිය. හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත එවැන්නෙකි. තමාට බොහෝ දේ අහිමි වනවිට ජීවිතය අතහරිනවා වෙනුවට හෙතෙම අලුත් මගක ගමන් ගත්තේය. අවසන ඔහු ලෝකයම දින්නේය.

පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබූ දිනේෂ් ප්‍රියන්තට ජීවිතයේ බර වඩා තදින් දැනෙන්නට ගත්තේ කුඩා කාලයේම පියා අහිමි වීමෙනි. ඉන්පසු වයි.එම්.කමලාවතී මෑණියන්, දියණිය සහ පුතුන් දෙදෙනා හදාවඩා ගැනීමට අපමණ වෙහෙසක් දැරුවාය. තරමක් උස් මහත් වෙද්දී දිනේෂ්ට මේ පවුලේ වගකීම් දරන්නට සිදුවිය. දෑතේ දෙපයේ වීරියෙන් කුඹුරු වැඩ කළ ඔහු ඉන් නොනැවතී වයස අවුරුදු විස්සක් වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණේ පවුලට සවියක් වීමටය.

ගජබා රෙජිමේන්තුව යටතේ ඔහු කිලිනොච්චි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ විය. එහිදී එල්.ටී.ටී.ඊ. වෙඩි පහරකින් දිනේෂ්ගේ ගමන අඩාල විය. වමතට වැදුණු වෙඩි උණ්ඩ තුන නිසා සිදු වූ හානියට ප්‍රතිකාර කිරීමට වසර කිහිපයක් ගතවිණ. නමුත් මේ සියලු තාඩන පීඩන මැද ඔහුට සවිය ගෙනා කාන්තාවන් දෙදෙනෙක් ඔහු පසුපසම සිටියහ. ඒ, ආදරණීය මව සහ ප්‍රිය බිරියයි.

වයි.එම්.ඉසංකා මධුවන්ති, දිනේෂ් ප්‍රියන්තගේ ඥාති සහෝදරියකි. දෙදෙනාම ජිවත් වූයේ අනුරාධපුර, කැකිරාව, කාගම ප්‍රදේශයේය. කාගම ධාතුසේන විද්‍යාලය මේ යුවළගේ පාසලයි. කුඩා වියේ සිට එකටම සිටි දිනේෂ්ගේත්, ඉසංකාගේත් ප්‍රේමයට මුලදී වැඩිහිටියන්ගේ එතරම් කැමැත්තක් නොවීය. ඊට අනුමැතිය හිමිවූයේ දිනේෂ් යුද හමුදාවට බැඳීමෙන් පසුය.

නෑදෑ හිත මිතුරන්ගේ ආශිර්වාද මැද 2008 අප්‍රේල් දෙවැනිදා දිනේෂ් – ඉසංකා යුග දිවියට පිවිසුණහ. නමුත් ඒ වසර අග භාගයේ දිනේෂ්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔවුන්ගේ දහසක් බලාපොරොත්තු බිඳ දැමීය.

වෙඩි වැදුණා කියලා එයා අපිට කිව්වෙ නෑ. නැන්දා කෙනෙකුට තමයි කියලා තියෙන්නෙ. ඒ නැන්දා අපිට කිව්වා. මමයි දිනේෂ්ගේ අම්මයි තමයි එයාව බලන්න ගියේ. එයාට සිහි කල්පනාව තිබුණට අතට හානි වෙලා. ඒක ඔපරේෂන් කරලා ටික දවසකින් ගෙදර එව්වා. තුවාල හොඳ වුණාට ඇඟිලි අප්‍රාණික වෙලා. ඒ නිසා කොළඹට ගෙනිහින් තවත් ඔපරේෂන් කිහිපයක් කරන්න වුණා. ඊටපස්සෙ එයා සාලියපුරට ආවා. ආබාධිත තත්ත්වය නිසා එතනින් සේනපුරට ඇරියා. එහෙදි තමයි මේ ක්‍රීඩාවට යොමුවුණේ.”

ඒ වනතුරු යහළුවන් සමඟ විනෝදයට ක්‍රීඩා කළද දිනේෂ් ක්‍රීඩාවට විශේෂ හපන්කම් දැක්වූවකු වූයේ නැත. ඉසංකාගේ මතකයට අනුව ඔහු පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී හෝ කැපී පෙනුණ චරිතයක් නොවීය.

සේනපුර කඳවුරේ ඉහළ නිලධාරීන්ගේද මග පෙන්වීම අනුව දිනේෂ් හොඳින් පුහුණුවීම් කළේය. හෙල්ල විසිකිරීමට අමතරව වොලිබෝල් ආදී ක්‍රීඩා කෙරෙහිද ඔහුගේ කැමැත්තක් තිබුණේය. එහෙත් ටික කලක් ගතවන විට ක්‍රීඩාව අතහැරීමට හෙතෙම තීරණය කළේය. වෛද්‍ය හේතු මත ඊට අවසරයද හිමිවිය. විශ්‍රාම ගැනීමෙන් පසු කාගම නිවසට ගිය දිනේෂ් සාමාන්‍ය ජීවිතයට හුරුපුරුදු වුණේය. වැඩිමල් පුත් ප්‍රමද මිනුවන් නිසා නොදැනිම කාලය ගෙවිණ. වසර දෙකක් පමණ ක්‍රීඩාවට පූර්ණ විරාමයකි. නැවත කොළඹට පැමිණ පුහුණුවීම් අරඹන ලෙස යුද හමුදාවෙන් දිනේෂ්ට ඇරයුම් ලැබෙන්නේ මේ අතරයි. එවිට ඉසංකා දෙවැනි දරු ප්‍රසූතියට සූදානමිනි. ඇගේ සහයට නිවසේ සිටින්නේ දිනේෂ් සහ ඔහුගේ මව පමණකි. එබැවින් එම අවස්ථාවේ ඇරයුම ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවිය.

2016 මාර්තු දහනව වනදා මිතුනි වර්ෂනා දියණිය උපත ලැබුවාය. ඇයට මාස දෙකක් පමණ ගතවන විට නැවත ක්‍රීඩාව වෙනුවෙන් දිනේෂ් නිදහස් කිරීමට ඉසංකා එකඟ වූවාය. ඒ අනුව 2016 මැයි මාසයේ යළි පුහුණුවීම් අරඹන දිනේෂ්ගේ ඉලක්කය වූයේ රියෝ පැරාලිම්පික් තරගාවලියයි. එහිදී F46 ඛාණ්ඩය යටතේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය.

රියෝහි ජයග්‍රහණයත් සමඟ දිනේෂ් ප්‍රියන්තගේ අධිෂ්ඨානය ඉහළ ගියේය. 2020 ටෝකියෝ පැරාලිම්පික් රන් පදක්කම දිනීමට ඔහු අදිටන් කරගත්තේය. ඊට බිරියගෙන් ද උපරිම සහාය හිමිවිය.

එයා කිව්වා එයාට ඒ දේ කරන්න පුළුවන්, ඒක කොහොමහරි කරන්න ඕනෙ කියලා. එයාගේ ඉදිරි ගමන නවත්වන්න මටත් ඕන වුණේ නෑ. අපි කවුරුත් එයාට කරදර කළේ නෑ. සම්පූර්ණ නිදහස දුන්නා. එයත් ගොඩක් කැපවීමෙන්, මහන්සියෙන් පුහුණුවීම් කළා. එයාගේ කෝච් හොඳටම දන්නවා එයා කොයිතරම් කැපවෙනවද කියන එක. තරගයක් ළං වෙනකොට ගෙදර එන යන එකත් අඩු කරනවා. මාසෙකට වතාවක් වගේ තමයි එන්නේ. එතකොට වෙන කිසිම දෙයක් එයා ඔලුවට ගන්නෙත් නෑ. ඒ අවධානය, ඉලක්කය වෙනස් වෙන නිසා අපිත් ගෙදර කිසි දේකට එයාට කරදර කරන්නෙ නෑ.”

සිය අරමුණ වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළද පවුල කෙරෙහි සිය යුතුකම් වගකීම් දිනේෂ් කිසිවිට පැහැර හැරියේ නැත. මවට, බිරියට සහ දරුවන්ට කිසිඳු අඩුපාඩුවක් නොවීමට ඔහු වගබලා ගත්තේය.  ඉසංකා පවසන පරිදි ඔහු ආදරණීය පියෙකි. සෙනෙහෙබර සැමියෙකි.

ක්‍රීඩාවට මූලික තැන දුන්නට අපි වෙනුවෙන් කරන්න තියන කිසි දෙයක් එයා මග හැරලා නෑ. අපිට අසනීපයක් වුණත් මං එයාට කියන්නේ නොකියම බැරි වෙලාවක විතරයි. එහෙම දෙයක් දැනගත්තොත් මොන වැඩේ තිබුණත් එයා රෑ වෙද්දි ගෙදර. ඒ තත්ත්වය හරි ගිය ගමන් ආපසු ට්‍රේනිං එකට දුවනවා.”

ටෝකියෝ පැරාලිම්පික් වෙනුවෙන් දැඩි කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වූ දිනේෂ්ගේ එකම අරමුණ වූයේ රන් පදක්කම දිනීමයි. ඉසව්වේ රියෝ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ඉන්දියාවේ දේවේන්ද්‍ර ජජාරියා ද මෙවර තරගාවලියට එක්විය. එහි ලෝක වාර්තාව හිමිව තිබුණේ ද ඔහුටයි. එනිසාම ඉසංකාගේ සිතේ යම් තිගැස්මක් තිබිය ද ඇය දිනේෂ්ගේ දැඩි අධිෂ්ඨානය විශ්වාස කළාය. අවසන එය තහවුරු කළ දිනේෂ් මීටර 67.79 ක දක්ෂතාවක් වාර්තා කරමින් රන් පදක්කම දින්නේය. ඒ ලෝක වාර්තාවද තමා ඉදිරියේ සටහන් කරමිනි. දිනේෂ්ගේ වෙහෙසට මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ කැපකිරීම්වලට ද නිසි වටිනාකම ලැබිණ.

නිවසේදී දරුවන් සමඟ වැඩි කලක් ගතකරන දිනේෂ් හිත මිතුරු ඇසුර ද මග නොහරී. ඔවුන් සමඟ ක්‍රිකට්, වොලිබෝල් ක්‍රීඩා කිරීම ඔහුගේ විනෝදාංශයකි. ඔහු ආගමට දහමටද බෙහෙවින් ලැදිය. පවුලේ සෙසු සාමාජිකයන් ද එසේමය.

තරඟයක් ළංවෙනකොට අපි අනිවාර්යයෙන්ම උඩමලුවට යනවා. තරගයට කලින් දවසේ බෝධි පූජාවක් කරනවා. එයා ගෙදර ඉන්නකොට හැමදාම බුදුන්ට මල් පහන් පූජා කරනවා. ටෝකියෝ යනකොටත් ඒ සඳහා ඕන කරන දේවල් සියල්ල අරගෙන ගියේ. බුද්ධ ප්‍රතිමාවකුත් ගෙනිච්චා. ඒවායේ ආශිර්වාදයත් තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එයාට රට පුරාම ඉන්න හැමෝම සුබ පැතුවා. තරඟෙට යන්න කලිනුත් ගොඩක් දෙනා එයාට කතා කරලා දිරිමත් කළා. ඒ හැමදේම වටිනවා.”

පියා ද නොමැතිව දරුවා උස් මහත් කළ කමලාවතී මෑණියන්ද මේ වනවිට සිටින්නේ අපමණ ප්‍රීතියකිනි. කුඩා කාලයේ සිට කිසිවකට අලස නොවී වෙහෙස මහන්සියෙන් කටයුතු කළ සිය පුතා ලෝකයක් දිනීමේ සතුට ඇයට වචනවලට ගොනු කිරීමට නොහැකි තරම්ය.

දිනේෂ් පොඩි කාලෙවත් කිසිම කරදරයක් කරපු දරුවෙක් නෙවෙයි. තේරෙන කාලෙ ඉඳලම මට පුළුවන් තරම් උදව් කළාසහෝදරයන්ට, නෑදෑයන්ටත් හැකි විදියට උපකාර කරනවා. මේ සතුට මට කියලා නිම කරන්න බෑ.”

දිනේෂ් ප්‍රියන්තගේ බාල පුතු සස්දුල චනුල්‍යට තවමත් වයස මාස හතරකි. පුහුණුවීම් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් දිනේෂ්ට කුඩා පුතුගේ සුරතල් දැකීමට වූයේ මාස දෙකක් පමණි. ඒ සියලු කැපකිරීම් අවසන ඔලිම්පික් බිමකදී ශ්‍රී ලංකා ජාතික ගීය ප්‍රථම වරට වාදනය කරවීමේ ගෞරවය දිනේෂ් දිනාගත්තේය. සිය බිරිය තමාට දුන් දිරිගැන්වීම ද ඔහු සිහිපත් කළේය. වසර කිහිපයක් පුරා ඔහුගේ ජය වෙනුවෙන් බලාසිටි ඇය ද අද ප්‍රීතියෙනි. ජීවිතය ගිලිහී යමින් තිබියදී නව මගක් ඔස්සෙ වෙහෙස වී ගමන් කිරීමේ අග්‍ර ඵලය අද ඔවුන්ට හිමිව තිබේ.

රෂ්නිකා ලියනගේ