විශේෂාංග

දරුවන්ව මහන්සි නොකර විභාග පාස් කරවන්නෙ මෙහෙමයි

‘‘කොහෙද ඔය ඇවිදින්නේවිභාගෙට තව මාස කීයදබලපන්කෝ අර ඇන්ටන්ගෙ කොල්ලො. උන් ගෙදර ඉන්නවද නැද්ද නෑ වගේ. කොයිවෙලෙත් පොත අතේ.’’

‘‘එහෙම කියන්න එපා අම්මේමම මෙච්චර වෙලා පාඩම් කළානේ…’’

සඳරු මිමිණුවේ මවට ඇසෙන නෑසෙන ගානටය.

‘‘අපොයි ඔව්කොරනවා කොරනවාඋඹව හදාගත්තට වඩා හොඳයි බූරුවෙක් හදාගත්තානම්.’’

එතැනින් නොනැවතුණු අම්මා, ඇගේ දෝෂාරෝපණය එහා ගෙදර කාන්ති ඇන්ටි සමඟ පවසනවා සඳරුගේ කනටම ඇසුණේය.

‘‘බලන්නකෝ අපේ ළමයා හරියට පාඩම් කරන්නේ නැහැනේ. අපරාදේ අපේ සල්ලි.’’

සඳරුගේ අම්මාගේ පමණක් නොව ලංකාවේ සුවහසක් දෙමාපියන්ගේ එකම සතුට තම දරුවා තුන්තිස් පැයේම පොත අතේ තියාගෙන සිටිනු දැකීමය.

දෙමාපියන්ගේ මේ බලවත් පෙරැත්තය නිසා සංකීර්ණ මානසික ගැටළුවලට ගොදුරුවන දරුවන් සුලබය. විභාගයට පෙරත්, ප්‍රතිඵල ආ පසුත් ඇතැම් දරුවන් සියදිවි නසාගන්නට පෙළඹෙන්නේ එහි ප්‍රතිඵලය ලෙසය.

ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට දරුවන් දිරිගැන්වීමේදී මාපියන් උපක්‍රමශීලී විය යුතුය. ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතාගේ මේ පැහැදිලි කිරීම ඒ ගැනයි.

‘‘දරුවෙක්ට උගන්වන එක හරි ලේසි වැඩක් කියලා සමහරු හිතනවනේ. ඒත් දරුවෙක්ට හරියට උගන්වන්න නම් ඒකට යම්කිසි විද්‍යාත්මක දැනුමක් වගේම වෘත්තිමය සුදුසුමකුත් තියෙන්න ඕනේ.

ඒ නිසා දෙමාපියන් කරන්න ඕනේ දරුවන්ව ඉගෙනගන්න උනන්දු කරවන එක, ඔවුන්ගේ ජීවන කුසලතා වැඩිදියුණු කරගන්න සහාය දෙන එක මිසක් ඒවා පැත්තකට දාලා දරුවන්ට විෂය කරුණු උගන්වන්න යන එක නෙවෙයි.

එකයි එකයි එකතු කළාම දෙකයිනෙ කියලා උගන්නන එක මහදෙයක්ද? කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙක්ට උගන්වන්න අවශ්‍ය දැනුම ඇතැම් දෙමාපියන්ට තියෙනවා වෙන්නත් පුළුවන්. ඒත් එකයි එකයි එකතු කළාම දෙකයි කියලා උගන්වන එකට පවා ළමා මනෝවිද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින් විසින් ඉදිරිපත් කළ නිසි ක්‍රමවේද සහ නිර්දේශ තිබෙන බව මතක තියාගන්න ඕන. එවැනි දේ වෙනුවට වැරදි ක්‍රම අනුගමනය කළොත් දරුවගේ මුළු අධ්‍යාපන ජීවිතයම අසාර්ථක වෙන්න බැරි නැහැ.

‘අපේ අම්මලා තාත්තලා අපිට ගැහුව නිසා තමයි අපි අද මෙතන ඉන්නේ’ කියන වැඩිහිටි පිරිසකුත් ඉන්නවනේ. දරුවන් හදන්න නම් ඔවුන්ට ගහන්න ඕනෙමයි කියන එක තමයි ඔවුන්ගේ මතය. ඒ වගේ ප්‍රචණ්ඩ සිතුවිල්ලක් ඇතිවෙලා තියෙන්නෙම අර පොඩි කාලේ ඇති කරගත් වෛරය නිසයි. දරුවන් දහයකට දඬුවම් කරලා උගන්වන්න හැදුවොත් එයින් දෙන්නෙක් හිතේ බයෙන් කොහොමහරි ඉගෙනගනියි. හැබැයි අනිත් අටදෙනාම පීඩනය නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා.

අනිත් දේ තමයි ඇතැම් දෙමව්පියන්ගේ වාග් විලාශය. ළමයගෙ අතින් දවසක් පාඩම් වැඩ මගඇරුණොත් ‘ඔයාට මො‍ළේ නෑ’ ‘ඔයාට ඉගෙනගන්න බෑ’ වගේ දේවල් කියලා දරුවට ලස්සන අනාගතයක් හදන්න ඉන්නවා නම් කරුණාකරලා ඒ අදහස අත ඇරගන්න.

‘බෑ..බෑ..බෑ’ කියන වචනේ පොඩි කාලේ ඉඳලා ළමයෙක්ගේ ඔලුවට දැම්මම දරුවගේ යටිහිත ඒක විශ්වාස කරන්න පටන් ගන්නවා. එතනින් එහාට ඒ දරුවට කොයි දේත් බෑම තමයි. දෙමාපියන් උත්සාහ කරන්න ඕනේ ‘ඔයාට පුළුවන් පුතේ’ කියලා දරුවාගේ ආත්මවිශ්වාසය හදන්න මිසක් ඒක කුඩුපට්ටම් කරලා දාන්න නෙවෙයි.

අනික හැම දරුවෙක්ටම උපතින්ම හිමිවෙන බුද්ධි මට්ටමක් තියෙනවා. ඒකත් එක්ක ඔහු යමක් ග්‍රහණය කරගැනීමට ගතවෙන කාලය වෙනස් වෙනවා. මොළයේ ස්වභාවයත් එක්ක සමහර දරුවන් ගණිතමය සංකල්ප ඉක්මනින් ඉගෙනගන්නවා. ඇතැමුන් භාෂාවන් ඉගෙනගන්නවා. ඉතින් දරුවෙක්ට ගණන් හරි ඉංග්‍රීසි හරි බැරිවුණ හැටියේ ‘ඉගෙනගන්න බැරි ළමයෙක්’ කියලා ලේබල් කරන්න එපා. ගණන් පහෙන් හතරක්ම වැරදුණත් හරි ගිය එක වෙනුවෙන් ඔහුව අගය කරන්න. එතකොට හෙට තවත් ගානක් හරියට හදන්න දරුවා උත්සාහ කරනවා.

ඒ වගේම දරුවන් පාඩම් කරන විදිය ගැන, අඩු ලකුණු ගැන ගෙදරට යන එන අය එක්ක කියන එකෙන් දරුවා අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න දරුවව අධ්‍යාපනය සඳහා උනන්දු කරවන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි දරුවව අගය කිරීම.

සමහර දෙමාපියන් දරුවන්ට පාඩම් කරන්න කියලා රූපවාහිනිය නරඹනවා. එක්කෝ දුරකතනය පාවිච්චි කරනවා. එහෙම නොකර දරුවා පාඩම් කරන වෙලාවට ඔහුට පේන්න පොතක් පතක් කියවන්න පුළුවන් නම් ඒක තමයි වැඩිහිටියෙක් විදිහට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය.

දරුවන්ගේ පාඩම් මතක තියාගන්න පහසු ක්‍රමවේද කිහිපයක් ගැනත් මම දැන් කියන්නම්.

පළවෙනි දේ තමයි පැය ගානක් පාඩම් කරන්න එපා. ළමයි එකදිගට පාඩම් කරන්නේ නෑ කියලත් සමහර අම්මලා දරුවන්ට දොස් කියනවා. ඇත්තටම එහෙම පාඩම් කරලා වැඩක් නැහැ. පාඩම් කරද්දී විනාඩි හතළිස් පහක්, පැයකින් විතර දරුවගේ මොළය වෙහෙසෙනවා. එතැනින් එහාට ඔහුගේ ඔලුවට විෂය කරුණු යන්නේ නැහැ. හොඳම දේ තමයි පාඩම් කරන අතරතුර පැයෙන් පැයට විනාඩි 15ක වගේ කෙටි විවේක ගන්න එක. ඒ විවේකයේදී දරුවන්ව දුරකතනයට, රූපවාහිනිය නැරඹීමට හෝ වීඩියෝ ගේම්වලට යොමු කරන්න එපා. දිවීම, බයිසිකල් පැදීම, සෙල්ලම් කිරීම වගේ ඇස් සහ සිරුර චලනය වෙන කායික ක්‍රියාකාරකම් තමයි මතකය වැඩිවෙන්න ඔවුන්ට උපකාරී වෙන්නේ.

යම් පාඩමක් උගන්වනකොට මුලින්ම පාඩමේ අන්තර්ගත තොරතුරු හොඳින් තේරුම්ගන්න ඕනේ. අපි පාඩම් කරන ඕනම දෙයක 70%ක් ඊළඟ පැය 24දි අපිට අමතක වෙනවා. ඉතින් පැය 24කින් ආයෙත් ඒ පාඩමම බැලුවොත් එයින් තවත් 30%ක් මතක තියාගන්න පුළුවන්.

ඒ විදියට එකම පාඩම කිහිපවරක් බලන එකෙන් පාඩම 100%ක් මතක තබාගන්න පහසුයි.

ඒ වගේම පාඩම් කරන කරුණු නිතරම මතක් කරන්න. කෑම කනකොට, බස් එකේ යනකොට වුණත් කමක් නැහැ, නිදාගන්න කලින් පාඩම ටිකක් මතක් කරන්න පුළුවන් නම් එය මනසේ තැන්පත් කරගන්න පහසුයි.

එදිනෙදා ඉගෙනගන්න දේවල්වල වැදගත් කරුණු කෙටි සටහන් විදියට හදාගන්න. පස්සේ ඉඩ ලැබෙන වෙලාවට ඒවා බලන්න. නිතරම කෙටි සටහන් බලනකොටත් ඒ දේවල් අපේ මතකයේ රැඳෙනවා වැඩියි.

තමන්ට නිතරම පේන බිත්තියක ගණිත සූත්‍ර, කෙටි සටහන්, අවශ්‍ය පින්තූර ආදිය අලවන එකත් හොඳයි.

පොත කියවලා ඉගෙනගන්න පාඩම් මතකයෙන් තව කෙනෙක්ට උගන්වන්න උත්සාහ කරන්න. එහෙම කියලා දෙන්න කෙනෙක් නැතත් ළඟ කවුරුහරි ඉන්නවා කියලා හිතාගෙන ඒ කෙනාට ඒක උගන්වන්න පුළුවන්. තමන්ගෙන් ප්‍රශ්න අහලා ඒවාට මතකයෙන්ම පිළිතුරු දෙන එක ඒ වගේම හොඳ ක්‍රමයක්.

යමක් විෂුවලයිස් කරලා එය අපේ මතකයේ තබාගන්න පහසුයි. හිතන්නකෝ ‘සත්ව සෛලයක’ අංග හිතින් මවාගන්න. නිතරම එය මෙනෙහි කරන්න. එතකොට ඉබේටම වගේ ඒ දේවල් අපිට මතක හිටිනවා.

ඒ වගේම යම් කරුණක් මතක තියාගන්න අපිට කවි, ගීත, වාකය කණ්ඩ වගේ දේවල් හදන්න පුළුවන්. දිශා ටික මතක තියාගන්න පුංචි කාලෙ ‘උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්’ කියන වාක්‍ය කණ්ඩය භාවිතා කළා මට මතකයි.

ඒ වගේම යම් ඉතිහාස කතාවකට අදාළ වේදිකා නාට්‍ය, චිත්‍රපට නැරඹීමෙනුත් ඒවා මතක තියාගන්න පහසු වෙනවා.

මේ වගේ දේවල් කියලා දීලා දරුවන්ව උනන්දු කරවන්න. ඒ වගේම ඔවුන්ට අධ්‍යාපන ස්වාධීනත්වය ලබාදෙන්න කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න ඕනේ.’’

වේයන්ගොඩ, සිත්විල මනෝ උපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක/මනෝ චිකිත්සක

ආචාර්ය සුරංග අමරකෝන්

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි