ප්‍රීතිමත් ජීවිතයකට

අතේ සතේ නැති වුණාට මොකද සමහර නෝනලා දෙන්නෙම ‘තවුසන්ඩ් ටෝක්ස්’

සැමියගේ /බිරිඳගේ නොයෙකුත් අයහපත් පුරුදු නිසා කුල ගෙය ගිනි ගෙයක් කරගත් උදවිය සුලබයි. කමලුත් අන්න එහෙම කෙනෙක්. ඔහු නිමාලිව විවාහ කරගෙන තියෙන්නේ මාස හයක විතර පෙම් සබඳතාවයකින් පස්සේ. නිමාලි ආර්ථික අතින් ඒ තරම් ස්ථාවර නැති සාමාන්‍ය පවුලක කාන්තාවක්ලු. නමුත් මේ පවුලට ඒ කාලේ තිබුණායැයි කියැවෙන වත්පොහොසත්කම් ගැනත්, පවුලේ උජාරුව ගැනත් නිමාලිගේ පියා නිතරම වගේ කමල් එක්ක කියවලා තියෙනවා. ඔහුත් ඉතින් ඒ කතාවල සත්‍ය අසත්‍යතාව ගැන ලොකුවට හිතන්න ගිහින් නැහැ.

විවාහ වෙලා එකට ඉන්දැද්දි නිමාලිත් පියා වගේම විවිධ දේ ගැන පම්පෝරි ගහන අයෙක් බව කමල්ට තේරිලා. දන්න අඳුරන කෙනෙක් මුණගැහුනම අපිට ඉස්සර අරෙහේ ඉඩම් තිබුණාය, අසවල් ලොක්කා අඳුරනවාය නැත්තම් ගෙදර මෙච්චර යානවාහන තිබුණාය කිය කියා කයිවාරු ගහනවලු. ඉතින් එවෙලෙට කමල් මිනිස්සු ඉස්සරහා සෑහෙන අපහසුතාවයට පත්වෙනවලු. පිට මිනිස්සු එක්ක විතරක් නෙමේ වෙලාවකට ඇය කමල් එක්කත් ඇගේ පවුල ගැන මහා ලොකු කතා කියවනවාලු. ඔහොම කාලයක් ගතවෙද්දි මේ දෙපළට දරුවෙකුත් ලැබිලා. මේ දරුවා ඉගෙනගන්නේ ගමේ තියෙන සාමාන්‍ය පාසලක. හැබැයි මේ බිරිඳ ඇගේ දන්න කියන යාළු මිත්‍රයින්ට  කියලා තියෙන්නේ දරුවා කොළඹ ජනප්‍රිය පාසලක ඉගෙනගන්නවා කියලයි. ඇය කයිවාරු ගහන කාරණා ගැන කෙනෙක් හරස් ප්‍රශ්නයක් එහෙම ඇහුවොත් යාප්පුවට උත්තර දීලා ඇඟ බේරගන්නත් මේ නිමාලි දක්ෂයිලු.

සැමියා කීපපාරක්ම මේ වැඩේ කරන්න එපා කියලා  නිමාලිට අවවාද කරලා. හැබැයි ඇය නෙමෙයිලු ඔහුගේ කතා කනකට ගත්තේ. ඔහොම ඉන්නකොට බිරිඳගේ ගම් පළාතේ අඳුරන පවුලක් කමල්ව හොයාගෙන ඇවිල්ලා. කමල් රජයේ උසස් රැකියාවක් කරන කෙනෙක් බවත්, ළමයි කීපදෙනෙක්ටම රැකියා හොයලා දීපු බවත් ආරංචි වෙච්ච නිසා තමයි රැකියාවක් බලාපොරොත්තුවෙන් තෑගි බෝග එහෙමත් අරන් ඇවිත් තිබුණේ.

ටිකක් කතාකරගෙන යනකොට බිරිඳ කියපු බොරුවක් නිසා මේ පිරිස තමන් ගැන අධිතක්සේරුවක ඉන්න බව කමල්ට වැටහිලා. පිට මිනිස්සු ඉදිරියේදී බිරිඳ අවමානයට පත්කරන්න බැරිකම නිසා කමලුත් එදා එන හැටියට ගහ උලුවස්සා කියලා බොරුවට රඟපාලා. හැබැයි පිරිස ගියාට පස්සේ ඔහු බිරිඳට බොහොම තදින් අවවාද කරලා. ගැටලුව දුරදිග ගිහින් එදා නිමාලි මහගෙදර ගිහින්. පසුව කමල්ම ඇයව එක්කරගෙන ඇවිල්ලා. ඔය ගැටලුවෙන් පස්සෙ තමයි කමල් ඇයව උපදේශනයට යොමු කරන්න තීරණය කරලා තිබුණේ.

කමල් ඇයව මගේ ළඟට එක්කරගෙන ඇවිල්ලා තිබුණේ සාමාන්‍ය පවුල් උපදේශනයකට යන බව කියලා. ඔන්න ඉතින් මුලින්ම මම ඇයත් එක්ක බොහොම සුහද කතාබහක් ගොඩනගාගත්තා. ආගිය තොරතුරු කතා කරනකොට මාර ට්‍රැෆික් එකක්  තිබුණේ අස්සෙන් මුල්ලෙන් දදා මාර අමාරුවෙන් මම  කාර් එක ඩ්‍රයිව් කරගෙන ආවේ කියලා ඇය මාත් එක්ක කිව්වා. ඇයට එහෙම කියලා කටගන්න හම්බුණේ නෑ ඇයි නිමාලි බොරු කියන්නේ? මමනේ කාර් එක ඩ්‍රයිව් කරගෙන ආවේ, ඔයාට ඩ්‍රයිව් කරන්න බැහැනේ කියලා කමල් එකපාරම කිව්වා. එහෙම කිව් හැටියෙම මේ බිරිඳ ලත් තැනම ලොප් වෙලා කන්න වගේ කමල් දිහා බැලුවා.

කමල්ට කාර්යාල කාමරයෙන් පිටත ඉන්න කියලා නිමාලි එක්ක මම ටිකක් තනියම කතාබහ කළා. නිමාලිගේ පවුලට පියාගේ පවුලෙන් ලැබුණු ඉඩම් කිහිපයක් ඇත්තටම තිබිලා තියෙනවා. හැබැයි  නිමාලිගේ පියා දැඩි ලෙස බීමට ඇබ්බැහි වෙච්චි පුද්ගලයෙක්ලු. නිමාලි ඉපදෙන්නත් පෙරාතුව ඔහු ඒ දේපළ නැති නාස්ති කරලා. පස්සේ ඔහු ඒ ඉඩම් ගැන පම්පෝරි කතා කියමින් ජීවත් වෙලා. පියාගේ බීමත් හැසිරීම් සහ පවුලේ ආර්ථික ගැටලු නිසා නිමාලි ගත කරලා තිබුණේ කටුක ළමාවියක්.

අනිත් අය එක්ක ඉද්දි මම පහලින් ඉන්නවා කියලා මට හිතෙනවා මිස්. වෙලාවකට මම කොන් වෙලා වගේ හැඟීමකුත් තියෙනවා. ඒ නිසයි මම එහෙම කරන්නේ. එහෙම කළාම ඇත්තටම මට සමාජේ පිළිගැනීමක් ලැබෙනවා.

‘පුද්ගලයෙකුගේ පුරසාරම් දෙඩවීම ඔහුගේ අනාරක්ෂිත බවේ සලකුණකි’ කියලා ජ්‍යේෂ්ඨ ජපන් මනෝවිද්‍යාඥයෙක් වෙච්චි හෑන් පියෑං වරක් කියලා තියෙනවා. නිමාලි කිව් කතාවෙන් ඒක තහවුරු වෙන බව පැහැදිලියි.

ජීවිතේ ගැටලු එක්ක එන අභ්‍යන්තර අතෘප්තිකරභාවය නිසා ගොඩක් අය බොරුවට කයිවාරු ගහන්න පෙළඹෙනවා. මේ අය ඔවුන්ට නැති දේ, විශේෂයෙන් යානවාහන, දේපළ ගැන පුරසාරම් දොඩවන්න කැමතියි. මේ පුරාජේරු ඇතුළේ අතිශයෝක්තිය ඉහළ නිසා අහන් ඉන්න කෙනෙක්ට ඔවුන් බොරුවක් කියන බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය පුරසාරම් දොඩන අයට නොපෙනෙන්න ඔවුන්ට හිනා වෙනවා. හැබැයි ඔවුන්ව උපදේශනයට යොමු කිරීමයි කළ යුත්තේ. වෙන කෙනෙක්ට ඔවුන් ඉදිරියේදී ප්‍රශංසා කරනකොට මේ අයගේ හිත්වල ඊර්ෂ්‍යාවක් කෝපයක් ඇතිවෙනවා. එතකොට ඉතින් අන් අයගේ අවධානය බලාපොරොත්තුවෙන් ඒ අය තව තවත් නැති දේ මවාපානවා. කාලාන්තරයක ඉඳලා මේ දේ කරද්දි මොළය මේ ක්‍රියාවෙන් සතුටක් ලබනවා. එතකොට එය පුරුද්දක් බවට පත්වෙනවා.

තව සමහරු ඉන්නවා තමන් ළඟ තියෙන ඇතැම් දේ අනිත් අයට පෙන්නලා, ඒ අයත් එක්ක ඒ ගැන ලොකුවට කියවලා සතුටක් ලබන. නොදන්නා කෙනෙක්ට හරි ඔය දේවල් කියලා සතුටු වෙන්න ඒ අයට පුළුවන්.

නන්නාඳුනන අයට පුරසාරම් දෙඩවීම කෙසේ වෙතත් තමන් එක්ක එකට ජීවත් වෙන සැමියා එක්ක බිරිඳ එක්ක පුරසාරම් කියවන්න යන එක විවාහ ජීවිතේට ලොකු තර්ජනයක්. මේ වගේ හැසිරීම්වලදි කෙනෙක්ට තමන්ගේ සහකරුගේ පෞරුෂය ගැන වැරදි අදහසක් මතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔහු/ඇය තමන්ගේ සහකරු විදිහට සමාජයට හඳුන්වා දෙන්න මැලි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ බොරු පුරාජේරු නිසා පවුලට නැති ප්‍රශ්න වුණත් ඇති වෙන්න බැරි නැහැ.

ඒ නිසා තමන් බොරු පුරාජේරු ගහන බව තමන්ටම තේරෙනවා නම් ඒ හැසිරීමෙන් ඈත් වෙන්න බලන්න. යමක් කමක් තියෙන කෙනෙක් වුණත් නැති බැරි අය ඉස්සරහා ඒ දේවල් කියවන එක කැත පුරුද්දක්. අනික මේ පුරුදු අම්මා තාත්තගෙන් දරුවන්ට යන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.

මම මේ කිව්ව කරුණු කාරණා සේරම නිමාලිටත් පැහැදිලි කළා. වාහනයක් නැත්තම් බොරුවට වාහනයක් තියෙනවා කියලා කයිවාරු නොගහා මහන්සිවෙලා වාහනයක් ගන්න උත්සාහ කරන එක වටින බව මම ඇයට පැහැදිලි කළා. අධ්‍යාපනය ප්‍රමාණවත් නැති නම් මම මෙච්චරක් ඉගෙනගෙන  තියෙනවා කියලා බොරු නොකියා ඒ සුදුසුකම් හදාගන්න කියලත්, ඉගෙනගන්න එකට වයසක් අදාළ නැති බවත් නිමාලිට මම හොඳින් පැහැදිලි කළා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි