විශේෂාංග

පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා

මා අද තෝරාගත්තේ අඹු-සැමියන්ගේ මෙන්ම දරු-දැරියන්ගේ අභිවෘද්ධිය සඳහාත් හේතු පාදක වන මාතෘකාවක්ය.

‘‘අවුරුදු ගානක් මේ ප්‍රශ්නය ඉවසගෙන හිටියා. හැබැයි දැන් නම් මටත් මේ වේලිච්චි ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.’’

මා සමඟ එසේ පැවසූ පුද්ගලයාගේ නම සමන්තය.

ඔහුගේ බිරිඳ නිල්මිණීය. සමන්තගේත්, නිල්මිණීගේත් විවාහ ජීවිතයට වසර දහහතක් පමණ වන බවත්, ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් සමන්ත පැවසුවේ මළානිකවය.

‘‘මම මගේ පවුලට ගොඩක් ආදරෙයි. ඉතින් මම මගේ දරුවන්ව සතුටින් තියන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා.’’

පවුල වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කළත් තමා ගෙවන්නේ හිස් ජීවිතයක් බව ඔහු කියයි.

‘‘මතක ඇති කාලෙකින් වයිෆ් මාත් එක්ක එකට ඉඳලා නෑ (ලිංගිකව එක්වී නැත). ඒ විතරක් නෙවෙයි එයා දැන් ඉස්සර වගේ මට ආදරෙන් කතා කරන්නෙත් නැහැ.’’

ඒ කතාවෙන් පසු මට ඔහුගෙන් නොඅසා බැරි ප්‍රශ්නයක් තිබිණි. ඒ ලිංගිකව එක්වීමට බිරිඳ අකමැතිද යන පැනයයි.

‘‘එහෙම අකමැත්තකුත් නෙවෙයි. ඒත් ඉතින් එයාට ඒකට වෙලාවක් නැහැනේ…’’

සමන්තත් නිල්මිණීත් රාත්‍රිය ගත කරන්නේ එකම කාමරයක නොවේදැයි මා ඊළඟට ඇසවෙමි.

‘‘එක කාමරේක තමයි මිස්. ඒත් අපේ ළමයි තුන්දෙනත් අපි එක්කමනේ ඉන්නේ. ළමයි තුන්දෙනාගෙ දෙපැත්තේ තමයි අපි දෙන්නා නිදාගන්නේ.’’

ඔහු කියන්නේ දරුවන් ඔවුන් සමඟම සිටිනා නිසා ගතින් ළංවීමට තබා අඹු-සැමියන් වශයෙන් ගැටළුවක් සාකච්ඡා කිරීමටවත් අවස්ථාවක් නැති බවයි.

‘‘ලොකු පුතාට දාසයයි. දෙවැනි දුවට අවුරුදු නවයයි. එතකොට බාලම පුතාට අවුරුදු හතයි. ළමයි දැන් ලොකු නිසා එයාලට තනි කාමර දෙමු කියලා මම නිල්මිණීට කිව්වා. ‘අනේ මට ළමයි නැතිව නිදාගන්න බැහැ’ කියලා තමයි එයා කියන්නේ.’’

මේ ගැටළුව විසඳීමට නම් බිරිඳ සමඟ පැමිණ මා හමුවන ලෙස මම සමන්තට යෝජනා කළෙමි.

ඉන් සතියකට පමණ පසු සමන්ත නිල්මිණී ද කැටුව මා හමුවීමට ආවේය.

සමන්ත මා සමඟ පැවසූ ගැටළුව නිල්මිණීට පවසා ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බැලුවෙමි.

‘‘අනේ ම​ගේ පැටව් ටික නිදාගන්නේ මාව බදාගෙන. මට මගේ දරුවො නැතුව නම් නිදාගන්න බැහැ. ඒ තරමට මම මගේ දරුවන්ට ආදරෙයි.’’

නිල්මිණී ඒ වදන් පැවසූ විගස සමන්තද ඔහුගේ හඬ අවදි කරමින් නිල්මිණීට ප්‍රශ්න වැලක්ම ඉදිරිපත් කළේය.

‘‘ඇයි එතකොට මම මගේ දරුවන්ට ආදරේ නැද්ද? මම දවස තිස්සේ හරකෙක් වගේ වැඩ කරන්නෙ ඔයාලට ආදරේ නිසා නෙවේද? එතකොට ඔයාට මං ගැන පොඩි කැක්කුමක්වත් නැද්ද?’’

සමන්ත තරමක ආවේගයකින් සිටිනා බව වටහාගත් නිසා ප්‍රථමයෙන් ඔහුව අස්වසාලීමට මම කටයුතු කළෙමි.

දරුවන්ට ඇති ආදරය යනුවෙන් ඈ අදහස් කරන්නේ සැමියා සමඟ ඇති ආදර බැඳීම අහිමි කරගැනීමදැයි මම නිල්මිණීගෙන් විමසා සිටියෙමි.

‘‘නෑ එහෙම නෙවෙයිඒත් දරුවො මම නැතුව ඉන්නෙ කොහොමද?’’

දරුවන්ට දක්වන සෙනෙහස, සැමියාට අවධානය නොදීමට නිදහසට කාරණාවක් නොවන බව මම ඇයට පැහැදිලි කළෙමි.

ඔවුන්ට සිටින්නේ ළදරු වියේ පසුවන දරුවන් නොවූයෙන් ඔවුන්ට ස්වාධීනව තම ජීවිතය ඇරඹීමට ඉඩදිය යුතු බවත් මම ඇයට පැවසුවෙමි.

බොහෝ සැමියන්ගේ චෝදනාව වන්නේ විවාහයට පෙර ආදර බස් දෙඩූ තම ආදරණීය බිරිඳ දරුවන් ලැබුණු පසු තමා පිළිබඳ නොසොයා දරුවන් පිළිබඳ පමණක් සොයා බලන බවයි.

විවාහ වී ටික කාලෙකින් දෙන්නා තුන්දෙනා හතරදෙනා වූ පසු නිවසේ තිබෙන විශාල ඇඳන් දෙකක් එකට මූට්ටු කරනා දෙමාපියන් දරුවන්වද සිය උණුහුමට ගුලි කරගනියි.

බොහෝ දෙමාපියන් දරුවන්ව සිය තුරුලේම තබාගන්නේ ඔවුන් කෙරේ ඇති දාරක ස්නේහය නිසාය. යමක් කමක් නොතේරුම් වියේදී දරුවන් තමා ළඟින්ම තබා ගැනීමේ වරදක් මා නොදකිමි. නමුත් කරදඬු ​මේරූ දරුවන් එසේ ළඟ තබාගැනී‍මෙන් දෙමාපියන්ගේ විවාහ ජීවිතයටත්, දරුවන්ගේ පෞරුෂයටත් හානිවන බව අවබෝධ කරගත යුතුය.

සාර්ථක යුග දිවියක් සඳහා දෙදෙනාගේ මනා සන්නිවේදනය ඉතා වැදගත්ය. එදිනෙදා අත්දැකීම් හුවමාරුවට, දරුවන්ගේ ප්‍රශ්න ගැටළු කතාබහට සහ දෙදෙනාගේ ලිංගික ජීවිතය පිළිබඳව සුහද කතාබහක් ඇති කරගැනීමට හොඳම තැන නිදි යහනය. නිදි යහන තුළ ශක්තිමත් බැඳීමක් නැති බොහෝ අඹු-සැමියන්ගේ බැඳීම සොඳුරු නැති බව වසර ගණනක වෘත්තීය පළපුරුද්දෙන් මට පැවසිය හැකිය.

නිදි යහන රසවත් කරගැනීමට බිරිඳක් දක්ෂ විය යුතුය. දරුවන්ට දක්වන ආදරය තුළ සැමියාට ඍණාත්මක බලපෑමක් වන්නේ නම් ඔහු වෙනත් සුවයක් සොයා යාමටද බැරි නැත.

සැමියාගේ සහ බිරිඳගේ සම්බන්ධය පළුදු වූ තැන්හිදී දරුවන්ගේ සතුට සහ මානසිකත්වය නිතැතින්ම වාගේ බිඳවැටෙන බව බුද්ධිමත්ව වටහාගත යුතුය.

මා මීළඟට මතුකරනා කාරණය වන්නේ වයසින් වැඩි දරුවන් මව පියා සමඟ නිදි කරවා ගැනීමෙන් දරුවන්ට සිදුවන අයහපත ගැනය. වයසින් වැඩෙත්ම දරුවාට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ඉඩ දීම සෑම මවකගේම පියෙකුගේම වගකීමයි. දිනක සිය පුතු විවාහ කරගන්නා ලේලිය දෙස පවා ඊර්ෂ්‍යාසහගතව බලන්නේ දරුවන්ට ස්වාධීන වීමට නොදෙන දරුවන්ට ලෝබ කරනා මෙවැනි මව්වරුන්ය.

මේ කරුණු සටහන් කිරීමේදී එසේ මතකයට නැගෙන්නේ වයස අවුරුදු දහහතක පමණ දියණියක් මා හමුවට පැමිණ කියූ කතාවක්ය.

‘‘අනේ මිස් මට නම් දැන් අම්මයි තාත්තයි මැද්දෙ නිදාගෙන ඇතිවෙලා තියෙන්නෙ. ඇත්තමයි මම නම් කිසිම නිදහසක් නැති ළමයෙක්.’’

තේරුම් බේරුම් වයසට පත් දුවා දරුවන් අනවශ්‍ය ලෙස තො​​ඳොල් කිරීමේත්, ස්වාධීන වීමට ඉඩ නොදීමේත් අවසාන ප්‍රතිඵලය වන්නේ එම දරුවන්ගේ පෞරුෂය හීන වීමයි. මෙවැනි දේ නිසා ඉදිරියේදී ඔවුන්ගේ පවුල් ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට පවා බලපෑම් ඇති විය හැකිය.

කෙසේ වෙතත් මේ කතාවට පාදක වූ බිරිඳ උපදේශනයට පසු ඇයගේ වැරදි නිවැරදි කරගනිමින් සැමියා සමඟ ආදරණීය පවුල් ජීවිතයක් ගත කිරීමට යොමු වූ බවත් අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

(මෙය රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද කතාවකි.)

සෙව්වන්දි හෙට්ටිආරච්චි