විශේෂාංග

පවුල් කන්න හිතාගෙන කසාද බැන්දට ළමයෙක් අරන් දරුකමට හදාගන්නවා වගේ වැඩක් වුණේ

කසුන් ධනවත් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර තරමට ඔහුගේ විවාහ ජීවිතය සාර්ථක එකක් නොවූ නිසා ඒ සම්බන්ධයෙන් යම් උපදේශනයක් ලබාගැනීමට ඔහු දිනක් මා ඇමතුවේය.

‘‘මට මගේ වයිෆ් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. මෙහෙම ගියොත් මම පිස්සෙක් වෙලයි නවතින්නේ. ඒකයි මම මිස්ට කතා කළේ.’’

පවුල් උපදේශනය සම්බන්ධයෙන් මා සිදුකර ඇති වැඩසටහන් කිහිපයක් නරඹා ඇතත් ඔහුගේ බිරිඳගේ ගතිසොබාව වෙනස් කිරීමට මට හැකිවේය යන විශ්වාසය ඔහුට නැති බවද ඔහු කීවේය.

‘‘නිකන්ම ඉන්නවට වඩා උත්සාහ කරලා බලන එක හොඳයිනේ. ඒකයි කතා කළේ. එහෙමත් බැරි වුණොත් මට එයාගෙන් අයින් වෙන්න තමයි වෙන්නේ. නැත්නම් මම පිස්සෙක් වෙලයි නවතින්නේ.’’

ඔහු කීවේ ආවේගශීලීවය.

වත්පොහොසත්කම් ඇති පවුලක එකම දියණිය වූ හසිනිව කසුන්ට හමුව තිබුණේ නිවසින් ගෙන ආ මංගල යෝජනාවකිනි. ඒ වනවිටත් ඔවුන්ගේ විවාහ දිවියට වසර දෙකක් පිරී තිබිණි.

‘‘බඳින්න කලින් දවස් දෙක තුනක්ම මම එයාව බලන්න ගියා. එයා ටිකක් වෙනස් කෙනෙක් කියලා එතකොටත් මට තේරුණා. ඒත් ඒවා එච්චර ලොකුවට ගනන් ගත්තේ නෑ.’’

ඔහු දුටුවා යැයි කියන ඒ වෙනස්කම් මොනවාදැයි මම විමසීමි.

‘‘මාව දැක්ක ගමන් එයා දොර රෙද්දක් අස්සේ හැංගුණා. පළවෙනි දවසේ මාත් එක්ක කතා කළේම නැහැ. ඇඹරි ඇඹරි හිටියා. ගෑනු ඉතින් කොහොමත් ඔය වගේ දේවලදී ලැජ්ජයිනේ. ඒ නිසා ඉතින් මම ඒක වැඩිය ගනන් ගත්තේ නැහැ.’’

කසුන් පවසන්නේ විවාහ වූ පසුත් හසිනිගේ මේ ගතිසොබා පහව නොගිය බවයි.

‘‘මගේ නෑයෙක්ගේ, යාළුවෙක්ගේ මූණක් බලලා කතා කරන්න ලැජ්ජයි. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බැහැ අඬාගත්ත ගමන්මයි. ඇත්තමයි ඒ බබාහුකුන් පාට් මට දැන් නම් අප්පිරියයි.’’

කසුන්ගේ නිවසේ වැඩපළට සේවිකාවන් කිහිපදෙනෙකුම සිටි නිසා නිවසේ කිසිඳු කටයුත්තක් ඇයට පැවරී නොතිබුණි. හොඳ උගත්කමක් තිබුණත් රැකියාවක් කිරීමටද ඈ තුළ ආශාවක් නොමැති බව ඔහු කියයි.

‘‘උදේ ඉඳන් ටීවි එකේ යන ළාමක ටෙලිනාට්ටියි, ළඳ බොළඳ නවකතායි බල බල අඬන එක ඇරෙන්න එයාට වෙන වැඩක් නැහැ. දවසක් ලූනු ගෙඩියක් කපන්න ගිහින් අත කපාගෙන මරලතෝනි දුන්නා. කොටින්ම කිව්​වොත් එයාට තමන්ගේ වැඩක්වත් තනියම කරගන්න බැහැ.’’

බිරිඳගේ වැඩි ළඳබොළඳ ස්වභාවය කසුන්ගේ සිතට පීඩාවක්ව තිබිණි.

‘‘මම ටිකක් ගෙදර එන්න පරක්කු වුණ ගමන් කෝල් කර කර අඬනවා. නැහිලා නැහිලා ගෙදරට ගිය වෙලේ ඉඳලම හුරතල් වෙන්නයි කරේ යන්නයි එනවා. මිස් වුණත් මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. ඒත් ඒක මට මහ හිසරදයක්.’’

ඕනම දෙයක් සීමාව ඉක්මවා යන විට එය කරදරකාරී දෙයක් වන බව සැබෑය. හසිනිගේ මේ අමුතු හැසිරීම් රටාව නිසාම ඇය සමඟ ලිංගිකව එක්වීමට පවා තමාගේ සිතේ ආශාවක් නැති බව ඔහු කියයි.

‘‘කසාදයක් බැඳලා පවුල් කන්න හිතුව මට අන්තිමට වුණේ පොඩි ළමයෙක්ව දරුකමට හදාගන්නවා වගේ වැඩක්.’’

ඔහුට සවන් දුන් මා ඔහුගෙන් අසා සිටියේ මේ ගැටලුව ගැන හසිනිගේ දෙමාපියන් සමඟ පැවසුවාද යන්නයි.

‘‘ඉවසලා ඉවසලා බැරිම තැන එයාලටත් කිව්වා. ​‘අනේ පුතේ අපි ඔය දරුවව රෝස මලක් වගේ හදාගත්තේ. දරුවෙක් ලැබුණම ඕවා ඇරිලා යයි’ කියලා තමයි එයාලා කිව්වේ. ’’

බිරිඳගේ මේ හැසිරීම් රටාව වෙනස් කිරීමට මට සහාය විය හැකි බව කසුන්ට පැවසූ අතර, පසුදිනක බිරිඳ සමඟ පැමිණ මා හමුවන ලෙසත් ඔහුට යෝජනා කළෙමි.

දින කිහිපයකට පසු කසුන් ඔහුගේ බිරිඳ හසිනිව මට හමුවීමට සැලැස්සුවේය.

වරක් දුටු විට තවත් වරක් හැරී බැලීමට සිතෙන තරම් සුන්දර කාන්තාවක් වූ හසිනි මා ඉදිරියේ අසුන් ගත්තේද තරමක් ලැජ්ජාශීලීවය.

ඇයගෙන් එක්වර පවුල් ජීවිතයේ ගැටලු පිළිබඳව අසනවා වෙනුවට සුහදව කතාබස් කොට ඇයට මා පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමට මම කටයුතු කළෙමි.

හසිනි මා සමඟ කතාබහ කළේද තොඳොල් වාග් විලාශයකිනි. කසුන් මා සමඟ ඇය පිළිබඳව පැවසූ කාරණා පැවසූ විගස ඇය ඉකිගසා හඬා වැටෙන්නට පටන්ගත්තාය.

‘‘අනේ ඇයි එයා මට එහෙම කියන්නේ.. එයා මට ආදරේ නැද්ද?’’

ඔහු මෙවැනි උපදේශනයකින් සියල්ල නිවැරදි කරගැනීමට උත්සාහ කරන්නේ ඇයට ඇති ආදරය නිසා නොවේදැයි මම ඇයගෙන් විමසීමි. ඇයගේ මේ හැසිරීම් රටාව වෙනස් කරගතහොත් තව තවත් ඔහුගේ ආදරය දිනාගත හැකි බව මම ඇයට පැහැදිලි කළෙමි.

වේදනාකාරී හැඟීමකදී හැඬීමෙන් මනසට යම් සහනයක් ලබාගත හැකි බව සැබෑය. නමුත් ඕනෑ දෙයටයි එපා දෙයටයි නිතර නිතර හඬා වැළපෙන්නට යාම මානසික සෞඛ්‍ය පිරිහීමට හේතුවන බව මම ඇයට පැවසුවෙමි. එමෙන්ම මෙවන් හැසිරීම්වලින් ඇයගේ පෞරුෂය පිළිබඳව වැරදි චිත්‍රයක් සමාජගත වන බවත් මම හසිනිට කීවෙමි.

රුවින් අගතැන්පත් වුවත් ඕනෑවට වඩා ළඳ බොළඳ ගැහැනුන්ට බහුතරයක් පිරිමින්ගේ එතරම් කැමැත්තක් නැත.

තමා ආර්ථිකව ස්ථාවර යැයි උදම් අනනා ඇතැම් කාන්තාවන්ට පිරිමි පුළුටක් නැතිව තනිව ගමනක් බිමනක් යාමටත් අපහසුය. එමනිසා යැපුම් මානසිකත්වය යනු මිල මුදල් අතින් ස්ථාවර වීමම නොවන බව මෙවන් කාන්තාවන් නොදන්නවා විය හැකිය.

තමන්ගේ වැඩ කටයුතුවලටත් සහාය දෙමින් පවුලේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවෙන යකඩ ගැහැනුන්ද ඕනෑතරම් ඇත.

තමාට ශක්තියක් වන එවන් බිරිඳක් ලැබීම සැමියෙකුගේ සැනසීම වන අතර එවන් බිරිඳක කෙරේ ඔහුගේ සිතේ ඇති ආදරය, ගෞරවය දිනෙන් දින දළුලා වැඩෙන බවත් කිව යුතුය.

හසිනිට තිබුණේ පෞරුෂ අඩුපාඩුවකි. ඈ තුළ වූ ශක්තිය හඳුනාගනිමින් ඇයගේ දුර්වලතා ක්‍රමයෙන් සකසාගැනීමට මම ඇයට සහාය වුණෙමි.

මෙවැනි පෞරුෂ අඩුපාඩු මානසිකමය සහ චර්යාමය වෙනස්කම්වලින් ඉතා පහසුවෙන් යටපත් කළ හැකි නිසා මෙවැනි දේ හේතු කරගෙන දික්කසාද වීමට ඉක්මන් නොවිය යුතුය.

හසිනිට මෙවන් ඉරණමක් අත්ව තිබුණේ ඇයගේ දෙමාපියන් කුඩා කල සිට ඇයගේ පෞරුෂය ගොඩනැගීමට කටයුතු කර නොතිබූ නිසාය.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ඔබ රෝස මල් සැදීමට කැමති නම් රෝස ගසක් සිටුවා වතුර දැමීම වඩා හොඳ බවයි. දරුවන් රෝස මල් මෙන් සැදීමට යාමේ අවසාන ප්‍රතිඵලය, දිනක ඔවුන් විවාහ කරගන්නා අයවළුන්ගෙන් ‘අම්මලා තාත්තලා හදලා තියෙන හැටිනේ’ ලෙස හොඳවැයින් අසාගන්නට වීමය.

(මෙය මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරිමහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද සත්‍ය කතාවකි)

සෙව්වන්දි හෙට්ටිආරච්චි