නවතම ප්‍රවෘත්ති

මම වතුරට ආස කළේ පුංචි කාලේ ඉඳලයි -සිව්වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ ගලීනා බස්නායක

‘‘ජාත්‍යන්තර තරඟයකට සහභාගී වුණු පළමු අවස්ථාවේම පදක්කම් හතරක් ලංකාවට දිනා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ තැනට එන්න ගොඩක් කැපවීමෙන් මම පුහුණුවීම් කළා.’’

ඒ ගලීනා බස්නායකයි. පසුගියදා බහරේන්, මනාමා නුවර පැවති සිව්වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට එක්ව රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් දිනා ගනිමින් ලක්මව රනින් සැරසුවේ ඇයයි. ගලීනා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනා එම ගමනේදී විවිධ තරඟ ඉසව්වලින් පදක්කම් දොළහක් දිනූ අතර, ඉන් හතරක්ම තම නාමය ඉදිරියේ සනිටුහන් කරගන්නට ගලීනාට හැකිවීම විශේෂත්වයකි. එම ජයග්‍රහණය තමන් මුහුණදුන් පළමු ජාත්‍යන්තර තරඟයෙන්ම ලබාගන්නට හැකිවීම ගැන ඇයට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

ගලීනා රන් පදක්කම් තුනක් දිනාගත්තේ නිදහස් ආර පිහිනුම් තරඟ ඉසව්වෙනි. ඒ මීටර් හාරසීය, මීටර් සියය සහ මිටර් පනහ ඉසව් නියෝජනය කරමිනි. රිදී පදක්කම දිනාගත්තේ සමනළ ආර පිහිනුම් ඉසව්ව සඳහායි. ඇය නියෝජනය කළේ පාදයේ මාංශ පේශි ආබාධ සහිත කාණ්ඩයයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව අපට ගලීනා හමුවූයේ නාරාහේන්පිට NCC ස්පෝට්ස් ක්ලබ්හි පුහුණුවීම්වලට එක්ව සිටි හිමිදිරි උදෑසනකයි.

‘‘ස්විමිංවලින් ලොකු ජයග්‍රහණ ලබනවා කියලා හිතාගෙන හිටියේ නෑ. පුංචි කාලෙම තමයි මම වතුරට පුරුදු වුණේ. පුංචි දවස්වල ඉඳලම මුහුදෙත් පිහිනලා තියෙනවා. ඒකට හේතුව තමයි මගේ අයියා පිහිනුම් ක්‍රීඩාවට යොමුවුණු අයෙක් වීම. අයියා පීනද්දී මමත් වතුරට ආස කළා. ඊටපස්සේ ඉස්කෝලෙ හතර පහ පන්තිවලට එනකොට ඒ සම්බන්ධ තරඟවලටත් ඉදිරිපත් වුණා. ජයග්‍රහණ ලැබුවා. මගේ අම්මා තාත්තා මගේ දක්ෂකම් දැකලා මාව ධෛර්යමත් කළා. ​මේ තැනට එන්න එයාලගේ උදව් වගේම පුහුණුකරුවන්ගේ උදව් ගොඩක් බලපෑවා.’’

ගලීනා තවමත් දාසය වියැතිය. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ හදාරන ඇය ඉගෙනුම් විෂයන්ට අමතරව චිත්‍ර අඳින්නටද දක්ෂය. ග්‍රැෆික් නිර්මාණකරණයටද ඇය කාලය යොදවන්නේ සතුටිනි. පවු​ලේ එකම දියණිය වන්නේ ගලීනායි. ඇයට වැඩිමහල් සොයුරෙක් හා බාල සොයුරෙක් සිටින අතර, ඔවුන් ඉගෙනුම ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේය. ඒ දෙදෙනාද පිහිනුම් ක්‍රීඩාවට දක්ෂයන්ය. ගලීනාගේ මව ආන්‍යා බස්නායකයි. ඇය රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ භාෂා පරිවර්තිකාවක් ලෙස සේවයේ නියැලෙන්නීය. NCC ක්ලබ් මෙන්ම ලයිසියම් පාසලේත් ගලීනා පුහුණුවට යන්නේ මව සමඟය. ගලීනාගේ මුල්ම පුහුණුකරු වන්නේ හිටපු පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාය. NCCහි ඇගේ පුහුණුකරු වන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් පිහිනුම් ශූර ජුලියන් බෝලිං මහතායි.

ගලීනා බහරේන්හිදී පදක්කමක් දිනා ගනිද්දී ඇයගේ පියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය රවීන්ද්‍ර බස්නායක මහතාද දියණියගේ ජයග්‍රහණයන් සියැසින් දුටුවේය. ඒ ඔහු ලංකාවෙන් ගිය 13 දෙනාගෙන් යුත් මෙම කණ්ඩායම භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කළ බැවිනි.

‘‘ඇත්තටම සෞඛ්‍ය නීතිරීති ගොඩක් එක්ක කොරෝනා ටෙස්ට්වලට මුහුණ දෙමින් තමයි මේ ජයග්‍රහණ අත්කරගත් සියලු දෙනා කටයුතු කළේ. දුව පළමුවෙන්ම මුහුණ දුන්නේ මීටර් හාරසීය නිදහස් ආර ඉසව්වටයි. එයා තරඟය නිමා කළේ විනාඩි පහයි තත්පර 25.27කිනුයි. බහරේන්වලදී දෙවැනි ඉවෙන්ට් එක විදිහට තමයි ඒ තරඟය තිබුණේ. තරඟය ජයග්‍රහණය කරලා බොහොම සතුටින් ඇය ඒ ගැන කතා කළා. ඒ මොහොත මටත් සතුටු අවස්ථාවක්.’’

ඒ දියණියගේ ජයග්‍රහණය ගැන පියාගේ හිතේ ඇති සතුට වදන් වූ හැටිය.

ගලීනා මාංශ පේෂි ආබාධයට ලක්ව ඇත්තේ උපතිනි. එය හඳුනාගත් පසුව එම දෙමාපියන්ට ඕනෑ වූයේ ඒ ගැන සිතා කණගාටු වන්නට නොව ඇයව ජයග්‍රහණයේ මාවතක් වෙත යොමු කරන්නටය. වෙනත් ක්‍රීඩාවකට වඩා ඒ සඳහා සුදුසුම ක්‍රීඩා ඉසව්ව පිහිනුමය. ඇය වයස අවුරුදු දහය දොළහ වනවිට පිහිනුම් ඉසව්වලින් ජයග්‍රහණ ලබාගන්නට සමත් වූවාය. ඒ වාගේම විවිධ පදක්කම්ද දිනුවාය. 2019 වසරේ පැවති ජාතික කණිෂ්ඨ පැරා තරඟාවලියේදී දැක්වූ දක්ෂතා අනුව ගලීනා ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවාය. ඇය අද මෙම පදක්කම් ලැබුවේ ඒ අනුව ලද සුදුසුකම් නිසාමය.

‘‘දැන් මම 2022 අවුරුද්දේ චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉගෙනුම් කටයුතු අතරේ වුණත් ඒ සඳහා ඕනෑකරන පුහුණුවීම් කටයුතු ගොඩක් කැපවීමෙන් කරගෙන යනවා. ඒ වගේම ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් රටට සේවයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.’’

ඇය කියන්නේ සිනා මුහුණිනි. කුමන ආබාධ තිබුණත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට ගොස් ජීවිතය දිනාගත හැකි මග කවරාකාර එකක්ද යන වග මේ සරල සුන්දර දැරිය ක්‍රියාවෙන් ඔප්පුකොට පෙන්වන්නීය. උත්සාහයෙන්, කැපවීමෙන් ඇය යන ගමනේදී තව තවත් ලක්මව රනින් සරසන්නට ඇයට භාග්‍ය ලැබේවායි ‘ධරණී’ අප සුභාශිංෂණ එක්කළෙමු.

දීපා වසන්ති එදිරිසිංහ

ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්