News

දෙයියන්දර ජාතික පාසලේ ‘Genius Minds’ වෙතින් ගෘහිණියන්ට හිතකර වැඩපිළිවෙලක්

මාතර/දෙයියන්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් පැවති ‘බුද්ධි ප්‍රභා 2023’ (Genius Minds 2023) අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 01 සිට 03 වැනිදා දක්වා දින තුනක් පුරාවට එම පාසලේදී පැවැත්විනි. එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය එම්.ඩී.ළමාවංශගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ පාසලේ විදුහල්පති එච්.බී.චම්ලි ප්‍රියංකර මහතා, ගුරු මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.

එසේම දෙයියන්දර ජාතික පාසලේ ආදී සිසුන් වන ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ, ධරණී පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක ඇතුළු කථිකාචාර්ය අනුර අරඹගේ, දෙයියන්දර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පී.ගමගේ, වෛද්‍ය චමින්ද කුමාර, දෙයියන්දර පොලිස් ස්ථානාධිපති ශිරන්ත ස්වාරිස්, නීතීඥ ටෙක්ලා රත්නායක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙම ප්‍රදර්ශනය සඳහා විදුහලේ ඉංජිනේරු, විද්‍යා, ජෛව පද්ධති හා තාක්ෂණ අංශවල සිසු සිසුවියන්ගේ නව නිපැයුම් සහ නිර්මාණාත්මක කුසලතා ඇතුළත් නිර්මාණ කුටි 25ක් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කුටි 30ක් පමණ ඉදිරිපත්කර තිබුණි. ඒ අතරින් පැමිණ සිටි කාගේත් විශේෂ අවධානයක් පාසලේ ජෛව පද්ධති තාක්ෂණවේද අංශයේ ප්‍රදර්ශන කුටිය වෙත යොමුවිය. ගෘහිණියන්ට අමතර ආදායමක් උපයාගතහැකි ලාභදායී ආහාරමය නිෂ්පාදන මෙන්ම ආහාර කල්තබාගන්නා නවීන විදි ගැන දැනුවත් කර තිබීම ඊට හේතුවයි. ඒ අතරින් ආහාර කල්තබාගන්නා නවීන විදි කීපයක් මෙසේ ගෙනහැර දක්වන අතර අප වෙත තොරතුරු ලබාදුන්නේ පාසලේ ජෛව පද්ධති තාක්ෂණවේදිය සහ කෘෂිවිද්‍යා විෂයභාර දුමින්ද පතිරණ මහතා විසිනි.

 

*බිත්තර කල්තියාගන්න හැටි

(01) බිත්තර කඩා බඳුනකට දමා විනාඩි දෙකක් විතර බීට් (Beat) කරගන්න.

(02) බීට් කරගත් බිත්තර ස්ටීමරයක තබා සෙල්සියස් අංශක 70 ක පමණ උෂ්ණත්වයේ පිසගන්න.

(03) එසේ පිසින අතරතුර හැන්දකින් බිත්තර කොටස් කුඩාවට කඩාගන්න.

(04) අනතුරුව එය ගැඹුරු අඩු තැටියක තුනීයට අතුරා වියැළීමේ උඳුනක (අවන් එකක) තබා සෙල්සියස් අංශක 57 – 63 ක් පමණ උෂ්ණත්වයේ වියළාගන්න.

(05) එය අතේ ඇලෙන සුළු, ඇදෙන සුළු ස්වාභාවය නොමැති වෙනතෙක් හොඳින් වියළාගන්න.

(06) වියළාගත් බිත්තර ග්‍රයින්ඩර් (Grinder) එකකින් කුඩුකරගන්න.

(07) අවසානයේදි කුඩුකරගත් බිත්තර කුඩු සුළං නොවදින ලෙස පිරිසිදු වීදුරු බෝතලයකට දමාගන්න.

මෙම බිත්තර පවුඩර් කේක්, බිස්කට්,රසකැවිලි මෙන්ම කුඩා දරුවන්ගේ ආහාර සඳහාද ඉතා පහසුවෙන් එකතු කරගත හැකිය. කෘත්‍රිම වර්ණකාරක, රසකාරක හෝ කල්තබාගන්නා ද්‍රව්‍ය කිසිවක් නොමැති නිසා ශරීරයට අහිතකරද නැත. බිත්තර පවුඩර්වල ලොකුම වාසිය වන්නේ එය මාසයක පමණ කාලයක් කල්තබාගත හැකිවීමයි.

 

*අමු මාළු කල්තියාගන්න හැටි

(01) අලුත් මාළු ගෙන ඒවායේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න.

(02) පසුව ගලායන ජලයෙන් පමණක් මාළු සෝදගන්න.

(03) ගොරකා අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් අඹරාගන්න. ලුණුත් ඊට එකතු කරගන්න.

(04) ඒ මිශ්‍රණය මාළුවලට එකතු කර හොඳින් කලවම් කරන්න.

(05) පසුව මැටි භාජනයක් ගෙන මාළු ස්තර ලෙස අසුරගන්න.

(06) අවසානයේදී සුළං නොවදින සේ භාජනයේ කට වසන්න.

(07) සති තුනක් පමණ එකදිගට වසා තබා අවශ්‍ය වූ විට පිස කෑමට ගන්න.

මාස හය හතක කාලයක් වුවද මෙලෙසින් මාළු කල්තබාගත හැකිය.