නවතම ප්‍රවෘත්ති

සිංහල වගේම දමිළ රසික පිරිසකුත් ඉන්න එක මට සතුටක්

සුරූපී ඉන්දියානු නිළි අයිශ්වර්යා රායිගෙන් නිවේදකයෙක් දවසක් මෙහෙම අහනවා.

‘‘අයිශ් ඔයාට ඉස්කොලේ යන කාලේ හොඳට ඉගෙනගන්න පුළුවන් කියන්නේ ඇත්තද?’’

‘‘ඔව්, මම තමයි මගේ පංතියේ හිටි දක්ෂම ශිෂ්‍යාව. ලස්සන අයට වෙනත් හැකියාවන් නැහැ කියලා ගොඩක් අය හිතනවා. එහෙම නැහැ. ලස්සන, බුද්ධිමත්කම, හැකියාවන් මේ සේරම එකම තැනක පිහිටන්න පුළුවන්.’’

අද කවරය හැඩ කරන රූබර යුවතියගේ ආගිය තොරතුරු කතා කරද්දි අ‍යිශ් කිව්ව ඒ කතාව මට මතක් වුණා. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් තියෙනවනේ. හැබැයි ඒ කතාව ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරපු මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. මැයත් ඒ කුලකයේම කෙනෙක්. ලස්සන, හැකියාවන්, දක්ෂතාවයන් එක්ක කලා ලොවේ ලස්සන ගමනක් යන ඇය වෙන කවුරුත් නෙමෙයි, මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වෙන ‘රාජිනි’ ටෙලි නාට්‍යයේ ආදරණීය ‘අභී’ නැත්තම් හර්ෂි අංජුමාලා.

*අභී කියන්නද අංජුමාලා කියන්නද?

‘‘දෙකෙන් මොකක් කිව්වත් කමක් නෑ. මේ දවස්වල ගොඩක් අය මට කතා කරන්නේ අභී කියලා. ඒ තරමට ඒ චරිතය ජනප්‍රියයි. මේ ළඟකදි මම ටිකක් දුර බැහැර පළාතක දමිළ කඩයකට ගියා. මම මාස්ක් එක ගැලෙව්වා විතරයි එතැන හිටි දමිළ තරුණයෝ කීපදෙනෙක් ඇවිල්ලා ඔයා අභී නේද කියලා මගෙන් සිංහලෙන්ම ඇහුවා. සිංහල ප්‍රේක්ෂකයෝ විතරක් නෙමේ දමිළ ප්‍රේක්ෂකයිනුත් ඉන්නවනේ කියලා හිතද්දි හරිම සතුටුයි.’’

ඇය එහෙම කිව්වේ සුන්දර සිනහවකුත් මුවේ රඳවගෙනමයි. ප්‍රේක්ෂකයන් අංජුමාලව මුලින්ම හඳුනගත්තේ දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයෙන්. එතකොට ඇය අවුරුදු දොළහක පුංචි දියණියක්.

‘‘නර්ථන අංශයෙන් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 2 තරඟයට සහභාගී වුණා. එතැනදි මට අවුරුදු 12න් පහළ ජනප්‍රියම තරුව කිරුළ දිනාගන්න ලැබුණා.’’

*එතකොට නර්ථනය ඉගෙනගත්තේ කොයි කාලෙද?

‘‘තුන වසරේ ඉඳලම නැටුම් ඉගෙනගත්තා. මගේ ගම රත්නපුර, නිවිතිගල. ඉතින් මම මුලින්ම නැටුම් ඉගෙනගත්තේ රත්නපුරේ ප්‍රියංගිකා සෝමරත්න මිස්ගෙන්. ලිට්ල් ස්ටාර් ජයග්‍රහණය එක්ක චන්දන සර්, ප්‍රදීපා මිස්, චන්න සර්, රැජිණි සෙල්වනායගම් මිස් වගේ ලංකාවේ ප්‍රසිද්ධම නර්ථන ගුරුවරුන්ගෙන් නැටුම් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා.’’

මේ වෙනකොට අංජුමාලාව බොහෝදෙනා අඳුරන්නේ රංගන ශිල්පිනියක් විදිහටනේ. ඉතින් ඇයගෙන් කලා ගමනේ ප්‍රවිශ්ඨය ගැන නොඅසා ඉන්න එක අඩුපාඩුවක්.

‘‘මම කලා ක්ෂෙත්‍රයේ ගමනක් යනවා දකින්න අම්මගේ ලොකු හීනයක් තිබුණා. ඉතින් පුංචි කාලේ ඉඳලම ඇය විවිධ වැඩසටහන්වලට මගේ අයැදුම්පත් යොමු කළා. මම හය වසරේදි මට ඒකාංගික ටෙලිනාට්‍යක රගපාන්න අවස්ථාවක් ලැබුණා. ලිට්ල් ස්ටාර් තරඟයෙන් කාලයකට පස්සේ මට දෙරණ ‘සිදූ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේත් ටෙලි නාට්‍ය කිහිපයකට වගේම චිත්‍රපටි කිහිපයකටත් මම සම්බන්ධ වුණා. ඇත්තටම රංගන ක්ෂේත්‍රය කියන්නේ හරි සුන්දර ක්ෂේත්‍රයක්. රඟපාන එක හරි ලේසි වැඩක් කියලත් සමහරු කියනවනේ. හැබැයි එහෙම නැහැ. මේ ක්ෂේත්‍රයේදිත් අපිට ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා.

එක පාරක් මම රිවස්ටන් කන්දේ රූගතකිරීමකට ගියා. කන්ද උඩ සුළඟ හරි සැරයි. ඉතින් බැලන්ස් නැතුව එකපාර මාව කන්දෙන් වැටෙන්නත් ගියා. එදා නම් මම ගොඩක් බය වුණා. තව දවසක් කැකිරාවේ තිබුණු ශූටින් එකකදි අලි කුලප්පු වෙලා කියලා අපිට ආරංචියක් ආවා. එතැන හිටපු හැමෝම හොඳටම බය වුණා. ඒ පාර රූගතකිරීම් එහෙමත් නවත්තලා ගිනිමැලයක් ගහගෙන කට්ටියම ඒක ළඟට වෙලා හිටියා. ඒ ශූටින් එකේදිම තව දවසක් මාව ලොකු කන්දකින් වැටිලා අතයි ඔලුවයි එහෙමත් තුවාල වුණා. දැන් හිතනකොට ඒවා හරිම සුන්දර අත්දැකීම්. මේක අවදානම් එක්කම දේවල් ඉගෙනගනිමින් යන ගමනක්. ඉතින් ඒක පේන තරම්ම ලේසිත් නැහැ.’’

අංජුමාලට තවත් හැකියාවක් කිහිපයක්ම තියෙනවා කියලා කිව්වනේ. ඉතින් මේ වෙනකොටත් ඇය රංගනයට අමතරව නිවේදන සහ හඬකැවීම් කටයුතුත් කරනවා. ඒ වගේම කියන්න ඕනේ ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්.

‘‘කලා අංශයෙන් තමයි උපාධිය කළේ. එතැනදි මම සිනමා කලාව අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය වගේ බොහෝ දේ ඉගෙනගත්තා. හැබැයි රංගනය ගැන ලොකුවට හදාරන්න අවස්ථාව ලැබුණේ නැහැ. රංගනය හදාරන්න විදේශගත වෙන්න අදහසක් තියෙනවා. ඉගෙනගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැහැනේ. හොඳ හැදෑරීමක් කරලා කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් යන එක තමයි බලාපොරොත්තුව.’’

ඇගේ ගමනට සහාය වුණු පිරිස ගැනත් ඇය අපිත් එක්ක මතක් කළා.

‘‘මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි. ඒ අයගෙන් ලැබෙන සහාය ගැන කියන්න වචන නැහැ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුංචි කාලේ ඉඳලම හරි පාර පෙන්නනවා නම් දරුවෙක්ට ජීවිතේ දිනන්න අමාරු නැහැ. හැබැයි සමහර ළමයි ඉන්නවා ගෙදර අයව අමතක කරලා දුරකතනයටම ඇබ්බැහි වෙලා. දෙමව්පියෝ දරුවෙක්ට කවදාවත් වැරදි පාරක් පෙන්නන්නේ නෑ. අනික මොන දේ වුණත් අන්තිමට අපිට ඉතුරු වෙන්නෙත් ඒ අය විතරයි. ඒ නිසා මම මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ ගෙදරට. ඒ අයට අමතරව මම දෙරණ නාළිකාවටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. වෙනත් නාළිකාවල තරඟ ජයග්‍රාහකයෝ මාසෙන් දෙකෙන් මිනිස්සුන්ට අමතකයි. හැබැයි දෙරණ නාළිකාව කවදාවත් මිනිස්සුන්ට අපිව අමතක වෙන්න දෙන්නේ නෑ. අපිට නිතරම අවස්ථා දෙනවා. ඊට අමතරව මට වචනයකින් හරි උදව් උපකාර කරපු හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා.

වගේම අවසාන වශයෙන් මම හැමකෙනාටම කියන්නේ හිත ඇතුළේ හැමවෙලාවෙම හීනයක් තියාගන්න. නිතරම ඒක හැබෑ කරගන්න උත්සාහ කරන්න. හැබැයි කෙටි මාර්ග හොයාගෙන හීනවලට යන්න හදන අයත් ඉන්නවා. හැබැයි ඉක්මන් ගමන් හරිම කෙටියි. හරි වැරදි හදාගෙන ඉගෙනගන්න ගමන් දුර ගමනක් යන්න උත්සාහ කරන්න.’’

ඇගේ වයසෙම තරුණ පරපුරට ඇය දුන්නු උපදෙස තමයි ඒ. කලා ක්ෂේත්‍රයෙන් දිගු දුර ගමනක් යන්න මේ සොඳුරු රුවැත්තියට ආසිරි පතන්න ‘ධරණී’ අපිත් අමතක කළේ නැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප : සමන් අබේසිරිවර්ධන