ප්‍රීතිමත් ජීවිතයකට

මහත්තුරුන්ට ‘ඩෝන් ’ ගියාම අපිට ‘පාන්’ ද?

ගොඩක් වෙලාවට පිරිමි හිත් දරදඬුයි වගේ අපට පේන්න තිබුණට ඒ හිත් ඇතුළෙත් පුංචි දරුවෙක් වගේ කෙනෙක් ජීවත්වෙනවා. මම එහෙම කියන්නේ මගේ සංසාරික ගමන් සගයා තුළිනුත් මට සමහර අවස්ථාවල ඒ විදියේ පුංචි දරුවෙක් මුණගැහෙන නිසා. අපි නොහිතන විදියට නොහිතන කාරණාවලදී පිරිමි හිත් ගොඩක් සංවේදී වෙනවා. එහෙම වුණාම සමහරු තරහා පිට කරලා ඒ සංවේදීකම පෙන්වනවා. සමහරු නිහඬවීමෙන් ඒ සංවේදී බව නොපෙන්වා ඉන්න උත්සාහ කරනවා. කොහොමවුණත් තමන්ගේ සහකාරයාගේ හිත කියවන්න පුළුවන් හැකියාවක් තියෙන ඕන ගැහැනියක්ට ඒ නිහඬ බව ඇතුළේ තියෙනන නොරිස්සුම වටහාගන්න අපහසු වෙන්නේ නෑ.

ගෙවුණ සුමානේ සතියේ දවසක ජපානයේ නිවාඩු දවසක් තිබුණා. එදා උදේ දහම්ගේ මං වෙනදා නොදකින නිහඬ බවක් දැක්කා. මං ගුඩ් මෝර්නින් කියද්දි ඒ මූණෙ වෙනදා තියන ලස්සන හිනාව තිබ්බේ නෑ. ප්‍රතිචාරය විදියට මට ලැබුණේ ‘මෝර්නින්ග්’ විතරයි ‘ගුඩ්’ නෑ. ඉතින් මං පන්න පන්න ඇයි කියලා අහන්න ගියේ නෑ. සුපුරුදු විදියටම උදේටත් කන්න හදලා දීලා,  දවල්ට උයන්න පටන්ගත්තා. ඒ හැමදේම කරන ගමන් දහම් ගැනත් විපරමින් හිටියා. දරුවෝ එක්ක ඉන්නකොට මං දකින සුපුරුදු සුන්දර පිරිමියාම ඉන්න බව මට තේරුණා. හැබැයි මං ළඟදි වෙනස්. ඉතින් මේ නෝක්කාඩුව මාත් එක්ක තියන එකක් කියලා තේරුම්ගන්න මට මහ වෙලාවක් ගියේ  නෑ. නෝක්කාඩුවට හේතුවත් මං දන්න හින්දා, සද්ද නැතුව වෙනසක් නොපෙන්වා මං මගේ වැඩ ටික කළා.

වෙනදා වගේ ඇයි අවුලෙන් ඉන්නේ? කතා කරන්නකෝ නිවාඩු දවසේ ඔහොම ඉන්න එපා අනේ මොන පිස්සුවක්ද මේ?” වගේ විකාර කතා කියන්න ගියේ නෑ. මට ඕන වුණා එයාට වෙලාව දෙන්න. මටත් එයාට කතා කරන්න දවසේ හොඳම වෙලාව ලැබෙනකන් ඉන්න. ඉතින් මං දහම්ගේ නිහඬ නෝක්කාඩුව ඔළුවේ පැත්තක තියන් මගේ වැඩ වෙනදා විදියටම රස විඳින ගමන්ම කළා.

ඒ අතරේ කුස්සියට ඇවිත් එබිකම් කරපු දහම් කන්න මොකුත් නැද්ද?” කියලා අහලා ෆ්‍රිජ් එක ඇරලා ඒකේ තිබ්බ කේක් කෑල්ලක් අරන් යන්න හදද්දී, යන්න නොදී අල්ලගෙන තරහා වෙන්න එපා ඉතින් කියලා පොඩි හාද්දක් දුන්නා. එතකොට කට කොනට පොඩි ළා හිනාවක් ආවා. ඒත් ඒක මට නොපෙන්වා එයා ගියා. හාද්ද වැඩ කරනවා වගේ මට දැනුණා. ඒ නිසා දහම් ගේ ඇතුළේ ඉන්න තැන්වලට ගිහින් මං හාද්දක් දුන්නා. ටික ටික සුපුරුදු දහම් විදියට එයා වෙනස් වෙන බව මට දැනුණා. මගේ හිතටත් සතුටුයි. මැජික් හාද්ද වැඩ කරනවා. ඒ හාද්දේ තිබුණේ ආදරේ විතරයි. පිරිමියෙක්ගේ මුරණ්ඩු ගති, දරදඬු ගති වගේම සංවේදී නෝක්කාඩු හෙමින් පිරිමදින්න ආදර හාද්දක් හොඳටම ප්‍රමාණවත් බව මම ආපහු පාරක් තේරුම්ගත්තා.

ඔයා කතා කරනකන් මං කතා කරන්නෙත් නෑ කියන තැන ඉන්නේ නැතුව, පැටලි පැටලි රණ්ඩු කරන්නේ නැතුව ආදර හාදු කීපයකින්, ආදරණීය වැළඳගැනීම් කීපයකින් පුංචි නෝක්කාඩුවක් ඉවර කරන්න ගෑනු අපිට පුළුවන් වෙන්න ඕනේ.

දහම් සුපුරුදු යථා තත්ත්වෙට ආවාම මං කිව්වා, නිවාඩු දවස් අපිට මතක හිටින සුන්දර දවස් වෙන්න ඕන අයියේ, ඒ හින්දා මං නිසා දුක හිතුණොත් ඒක එවලෙම විසඳගමු. අනිත් දවසට අරන් යන්න එපා. අද නිවාඩු දවසෙ ඔයාගේ මූණේ කාටවත් නොතේරුණ මට තේරුණ දේ හින්දා දවසෙන් බාගයක්ම අපි දෙන්නට සතුට නැතිවුණා. ඔයා ගෙදර ඉන්න දවස්වලට ළමයින්ට විතරක් නෙවෙයි මටත් ආසයි. ඒක ඔයා හොඳටම දන්නවනේ. ඒ හින්දා නිවාඩු දවස්වල අපි සතුටෙන් ඉමු කියලා කිව්වා.

එයා මට දේවල් කියලා දෙනවා වගේ, හරි වැරදි පෙන්නනවා වගේ, මටත් දැනෙන දේ එයාට මං කියනවා. හැබැයි ඒ නිවිලා මිසක් ඇවිලිලා නෙවෙයි.

අපේ පුංචි අතපසුවීම් එක්ක අපි නොහිතන දුකක් අපේ සහකාරයාට දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉවසීමෙන්, කල්පනාවෙන් ඒ දුක සතුටකට හරවන දේවල් කරනවා මිසක්, එයත් එහෙමනම් මාත් මෙහෙමයි කියන තැන ඉන්නේ නැතුව එතැනින් ඉස්සරහට ඇවිත් හිතන්න. ඔයා නොහිතන ලස්සන උත්තර ඔයාට ලැබේවි. ආදරේ අලුත් වේවි. පවුල් ජීවිතේ තමයි මේ ලෝකේ සුන්දරම හැඟීම කියලා ඔයාට දැනේවි.

විශ්වාස කරන්න… ගෑනු අපි ඇතුළේ ඇවිලුන, නොරිස්සුමෙන් නෝක්කාඩුවෙන් ඉන්න පිරිමියෙක්ව නිවන්න පුළුවන් පුංචි පුංචි මැජික් ගොඩාක් තියෙනවා. එහෙම අවස්ථාවක ඔයාගේ මැජික් එක හොයාගන්න. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

සැඳෑසමය ගත කරද්දි දෙන්නාට දෙන්නා එක්ක කතා කර කර ඉන්න  ඒවත් සුන්දර මතක ගොඩට එකතු වේවි…

හෂීණි මනමේන්ද්‍ර