ප්‍රීතිමත් ජීවිතයකට

ජීවිතේ විඳලා නැති මිනිස්සු එක්ක හැප්පිලා දිනන්න බෑ

තමන්ගේ මානසික සුවය ප්‍රමුඛතා ලැයිස්තුවේ උඩින්ම තියාගන්න කියලා මම කිව්වොත් ඒක ආත්මාර්ථකාමීකමක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඒත් තමන්ගේ මානසික සුවය පිරිහුණු කිසිම වෙලාවක තවත් කෙනෙක්ව සතුටින් තියන්න බැහැ කියන එක, මනස පිළිබඳ විශේෂඥවරියක් නොවුණත් මම වගකීමෙන් කියනවා. ඒ නිසා අම්මා කෙනෙක් විදියටත්, බිරිඳක් විදියටත් මම හැමවෙලේම මගේ මානසික සුවයට මුල්තැනක් දෙනවා. මොකද මම දන්නවා ඒකට පොඩි හරි හානියක් වුණොත් ඒකේ ලොකුම බලපෑම එල්ල වෙන්නේ මට වඩා මගේ පවුලේ සාමාජිකයන්ට කියලා. හිතේ සතුට රැකගෙන සැනසීමෙන් ඉන්න මං හැමවෙලේම උත්සාහ කරන්නේ ඒකයි.

ගෙදර වැඩපළ කරන අතරේ මං මගේ සතුට වෙනුවෙනුත් පුංචි පුංචි දේවල් කරනවා. මගේ අත්දැකීම් ලියනවා, ගෙදර කෑම හදන විදිය වීඩියෝ කරනවා, ඒවාගෙන් මම ලබන තෘප්තිය සාමාජමාධ්‍යවල මගේ මිතුරු මිතුරියන් එක්ක බෙදගන්නවා. එහෙම බෙදාගනිද්දී ඒ දේවල්වල අඩුවක් පාඩුවක් හොයන්නම බලාගෙන ඉන්න අතලොස්සකුත් නැතුවම නෙවෙයි. එහෙම අයගෙන් ගල් මුල් වැදුණු වෙලාවක දහම් හරිම ලස්සන උපදේශයක් දුන්නු හැටි මට මතකයි…

ඔය විවේචන දරාගන්න බැරිනම් ඔයා කරන දේවල් නතර කරන්න. හැමදේමක හොඳ වගේම නරක දකින මිනිස්සු ඉන්නවා. ඔයා කරන දේ ඔයාට හොඳ වුණාට තව කෙනෙක්ට ඒක නරක වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ මිනිස්සු ජීවිතේ ලබලා තියන අත්දැකීම් එක්ක. ඍණාත්මක දේවල් එක්ක පැටලෙන්න ගියාම ඔයත් ඒ ගොඩටම වැටිලා ඔයාගේ වටිනාකම නැති කරගන්නවා. ඔයා හැමවෙලේම කියනවනේ ඔය දේවල් කරන්නේ හිතේ සතුටට කියලා. ඉතින් ඒ සතුටට විතරක් අවධානය දීල අනිත් දේවල් මගාරින්න. අනවශ්‍ය දේට අවධානය දුන්නාම ඔයාට සතුට අමතක වෙනවා. එහෙම කරන්න බැරි නම් හොඳම දේ ඒවා නතර කරලා පාඩුවේ ඉන්න එක. ගැරහුම්වලට උත්තර නොදී ඒ අයට දිනන්න දෙන්න. මොකද, උත්තර දුන්නාම ආපස්සට ඔයාට ලැබෙන්නෙත් ඒවාමයි. ඔය දේවල්වලින් ඔයා ස්ට්‍රෙස් වුණාම ඔයාගේ හිතේ සතුට නැතිවෙනවා. ඊටපස්සේ ඔයාගේ මූණ වෙනස් වෙනවා. ඒක දරුවන්ට දැනෙනවා. ඒකට මං ආස නෑ. එයාලා එක්ක සතුටෙන් ඉන්න, මට වැදගත් එච්චරයි. ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති මිනිස්සු කියන දේවල් අපේ ජීවිත ඇතුළට ගේන්න එපා. කොටින්ම අපි දෙන්නාවත් ඒ ගැන කතා කරන්න කාලේ නාස්ති කරන එක අපරාධයක්. හිතේ සතුටට කරන දේවල් සතුටෙන් කරන්න. ඒක පීඩනයක්නම් දැන්ම නතර කරන්න

සමාජමාධ්‍යවල විතරක් නෙවෙයි අපේ ජීවිතවලත් මෙහෙම පිරිස් ඉන්නවා. යාළුවෝ විදියට, නෑයෝ විදියට, අසල්වාසීන් විදියට වගේම පවුලේ සාමාජිකයන් විදියට පවා ඉන්න පුළුවන්. කරන කියන හැමදේ ගැනම වැරදි අඩුපාඩු හොයන, කියන්න දෙයක් නැත්තම් හදලා හරි කියන අය අපේ ජීවිතේ අපිට මුණගැහෙනවා.

හැබැයි එහෙම වෙලාවල්වලදී, තරහා ගන්න හෝ ප්‍රතිචාර දක්වන්න කලින් අපි මතක් කරගන්න ඕන කාරණාවක් තියනවා. ඒ තමයි ඒ අයගේ ජීවිතවල අත්දැකීම් අපේ අත්දැකීම්වලට වඩා හාත්පසින්ම වෙනස් බව. සමහරවිට ඒ අයගේ ජීවිත හිඩැස්වලින්, කටුක අත්දැකීම්වලින් පිරුණු එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය එක්ක හැප්පිලා, වාද කරලා දිනන්න බෑ කියන එක තේරුම්ගන්න ඕන. මගේ අත්දැකීම්වලින් මම තෙරුම්ගත්තු එකම දේ ඒකයි. ඒ අය එක්ක තර්ක විතර්ක කරන්න ගියොත් අපිට මුලින්ම නැතිවෙන්නේ අපේ මානසික නිදහස. ඒ නිසා අර කෙළ පිඬක් අහක දානවා වගේ එහෙම අයව වෛරයකින් තොරව හිතින් අතහැරලා හිතේ සැනසීම රැකගන්න එක වටිනවා.

ඔයා අම්මෙක්, දුවෙක් නැත්නම් බිරිඳක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රැකියාවක නිරතවෙන වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඒ මොනම පසුබිමක වුණත් ගැටෙන්න එන කිසිම කෙනෙක් එක්ක ගැටෙන්න හෝ පැටලෙන්න යන්න එපා. මම අත්දකින විදියට තමන්ගේ මානසික නිදහස රැකගන්න පුළුවන් ලස්සනම ක්‍රමය ඒකයි. පහර දෙන අය, පහර දීලා ඇතිවුණු දවසක ඒක නතර කරාවි. එදාට ඒ අයට හිතාගන්න බැරි තැනකට ඇවිත් ඔයා ජීවිතේ විඳීවී.

මං තව පුංචි දෙයක් කියන්නම්. ඔයා දුකෙන් ඉන්න වෙලාවක වුණත් වචනෙකින් හරි තවකෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න. පීඩාවකින් හිටියත් තවකෙනෙක්ගේ හිතට සැනසීමක් ලැබෙන දෙයක් කියන්න. ඒක පෙරලා ආපස්සට ලැබෙයි. මං හැමවෙලේම කියනවා වගේ සතුට බෙදන තරමට සතුට ලැබෙනවා.

ජීවිතේ ආශ්චර්යයක් වෙන්න ඕනයි කියලා හිතෙන හැම තැනකදීම, ආදරය දෙන්න… කරුණාව දෙන්න… එතකොට අපේ ජීවිතේ ආශ්චර්යවත් දේවල් සිද්ධවෙන එක නවත්තන්න කාටවත් බෑ.

හෂීණී මනමේන්ද්‍ර