ප්‍රීතිමත් ජීවිතයකට

ආදරෙන් කියනවනම් ‘ඕයි’ කිව්වත් එකයි ‘මගේ පණ’ කිව්වත් එකයි…

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒ හැඟීම තවත් සුන්දර කරනවා, හිතට දැනෙන්න දෙනවා අපි ආදරේ කරන කෙනාව ආමන්ත්‍රණය කරන විදියෙන්. මගේ අම්මා, මගේ තාත්තාට කියන්නේ ‘ඒයි’ කියලා. තාත්තා කිව්වේ ‘නෝනේ’ කියලා. මගේ අයියා එයාගෙ වයිෆ්ට කතා කරන්නේ ‘පණ’ කියලා. නෑනා අයියාට කතා කරන්නෙත් ‘පණ’ කියලා. කවුරු හිටියත් කොහේ හිටියත් එහෙමයි එයාලව ආමන්ත්‍රණය කරගන්නේ.

ඉතින් මං මම ගැනම කියන්නම්කෝ. මං දහම්ට කතා කරන්නේ ‘අයියා’ කියලා. දහම් මගෙන් කැමැත්ත අහපු දවසේ ඉඳන් මං එයාට කතා කරේ ‘අයියා’ කියලා. මම නමින් එයාට කතා කරන්නේ, කේන්ති ගියාම නැත්නම් දුක හිතුණාම විතරයි. ඒක එයත් දන්නවා. ඒ නිසා එයා කැමතිත් මං නම කියනවට වඩා එයාට අයියා කියලා කතා කරද්දී. අවුරුදු 19 ක් තිස්සේ අපිට හුරු විදිය තමයි ඒ.

ඉතින් ඔය ගෙවිලා ගියපු කාලේ ඇතුළේ මහත්තයාට අයියා කියන්න එපා අයියලා නංගිලා දරුවෝ හදන්නේ නෑ මහත්තයාට නම කියලා කතා කරන්න…’ කියලා කියපු අය හිටියා. ඉතින් මාත් ඒවා ඔළුවට අරගෙන දහම්ට නම කියලා කතා කරන්න දවස් කීපයක් උත්සහ කළා. එදාම දහම් මට කිව්වා එයා කැමති අයියේ කියනවට, නම කියලා කතා කරනකොට හුරු නෑ කියලා. එයාට එහෙම කතා කරද්දි හරිම අපහසුවක් දැනෙනවා කියලා.

ඒ වගේම එයා මට තව දෙයක් කිව්වා. එකට ජීවත් වෙන්නේ අපි දෙන්නා නම්, අපිට අපි දෙන්නා කතා කරන විදිය ඇතුළේ පහසුවක් දැනෙනවා නම්, අනිත් අය කියන දේවල් ඔළුවේ දාගෙන නැති ප්‍රශ්න ඇති කරගන්න එපා රෝසි. ඔයා මට දහම් කියද්දී මට හිතෙන්නේ ඔයා ඉන්නේ මං එක්ක තරහෙන්, නැත්නම් කියාගන්න බැරි ප්‍රශ්නෙකින් කියලා. අපි අපිට හුරු විදියට ඉමු. ඒ හුරුව ඇතුළේ අපිට අපේ ආදරේ තියෙනවා, අපිට අපිව දැනෙනවා. අපි දෙන්නට දෙන්නා කතා කරන විදිය තව කෙනෙකුට අහන් ඉන්න බැරිනම් ඒක එයාලගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා.

ඉතින් එදා ඉඳන් මේ වෙනකන් කේන්තියකින් දුකින් නැති ඕනම වෙලාවක මම එයාට ‘අයියා’ කියලා තමයි කතා කරන්නේ.

මගේ දරුවෝ, විශේෂයෙන් දූලා දෙන්නා දන්නවා එයාලගේ අම්මගෙයි තත්තාගෙයි නම්. ඒ වගේම එයාල දන්නවා අපි දෙන්නා කසාද බැඳලා, ඊටපස්සේ එයාලාව හම්බුණේ කියලා. ඒවා කියලා දෙන එක අපේ වගකීමක්. එහෙම කියලා දුන්නේ නැති වුණාමයි, තාත්තා අම්මාගේ කවුද ඇහුවාම ‘අයියා’ කියලා කියන්නේ.

සමහර අය අම්මි, තාත්ති, සුදුඅම්මි, සුදු තාත්ති, අප්පච්චි කියලත් කතා කරනවා. ඒ එයාලට එයාලව ආමන්ත්‍රණය කරන්න දැනෙන විදිය. ඔය අතරේම ඕයි, තමුසේ කියලා කතා කරන අයත් ඉන්නවා. අනිත් අය තමන්ගේ පිරිමියට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා හොයන අයට වඩා ඕයි, තමුසේ කියල කතා කරගන්න දෙන්නෙක් ඇතුළේ ආදරේ තියෙන්න බැරිද? මං ඒවගේ දේවල් දැකලා තියෙනවා. දෙන්නා හරිම ආදරණීයයි. ඒත් දෙන්නට දෙන්නා කතා කරන්නේ ඕයි කියලා. ඒ එයාලට පහසු විදිය.

හැමෝටම තමන්ගේ මත තියෙන්න පුළුවන්. ඒත් ඒ මතවලින් තව කෙනෙක්ගේ ජීවිතේක හුරු දේවල් වෙනස් කරන්න, බලපෑම් කරන්න කාටවත් බෑ. කරන්නත් එපා. මට අයියා කියන නමේ තියන්නේ ආදරේ මුසුවුණ ගෞරවයක්. මං අයියා කියන හැමවෙලේම දහම්ට ඒක දැනෙනවා කියලා මං දන්නවා.

තව කෙනෙක් තමන්ගේ නෝනට මහත්තයාට කතා කරන විදියේ අඩුපාඩු, නොගැලපීම් සොයනවාට වඩා අපේ ජීවිතවලම කොච්චර දේවල් තියෙනවද හොයලා බලලා අපිටම හදාගන්න. එක එක්කෙනා තමන්ගේ බිරිඳට, සැමියාට, පෙම්වතාට, පෙම්වතියට ආමන්ත්‍රණය කරන විදිය නිසා ඒ අයගේ හිත්වලට දැනෙන ආදරය, පහසුව ගැන දන්නේ ඒ අය මිසක් පිටින් ඉඳලා බලන අය නෙවෙයි. ඒ නිසා පිටස්තර අයට අවශ්‍ය විදියට තමන්ගේ පුද්ගලික ජීවිත හැඩගස්වා ගන්න යන්න කලින් තමන් හුරුවුණු විදිය තමන්ට කොච්චර පහසුද කියල හිතන්න. තමන්ගේ සැමියාට හෝ බිරිඳට ආමන්ත්‍රණය කරන විදියෙන් එයාගේ හිත නොරිදෙනවානම්, එයාට ආදරේ දැනෙනවානම් එච්චරයි.

හෂිණී මනමේන්ද්‍ර