විශේෂාංග

වයිෆ් අතට සල්ලි දෙන්නෙ වාහනේට තෙල් ගහන්න විතරයි

අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකළ කමල්ට ඉහළ වේතනයක් සහිත හොඳ රැකියාවක් හොයාගැනීම එතරම් අපහසු කාරියක් නොවීය. රැකියාවට ගොස් වසර දෙක තුනකට පසු නිවසින් ගෙන ආ මංගල යෝජනාවකට අනුව කමල් නදීකා සමඟ විවාහ විය.

විවාහයෙන් මාසයක් දෙකක් ගතවන තැනදී උපක්‍රමශීලීව කමල්ගේ මුළු පඩිපතම තමාගේ අතට ගැනීමට නදීකා කටයුතු කර තිබිණි.

‘‘මුලදි මගේ පඩිය ගන්න රටේ නැති ආලවට්ටම් දැම්මා.’’

පඩි දිනය ළංවත්ම නදීකා කමල්ට දැක්වු සෙනෙහෙවන්තකම්, ඉඟිබිඟිපෑම් වැඩි විය. එපමණක්ද නොව ඒ දිනවලදී ලිංගික ජීවිතය පිළිබඳවද වෙනදා නොදැක්වූ අවධානයක් යොමුකිරීමටද ඈ අමතක නොකළාය.

‘‘මුල්ම කාලේ පඩිය දුන්නේ අතට. පස්සේ තමයි බැංකු පොතට දාන්න පටන්ගත්තේ.’’

ඉබ්බා දියේ දැමූවිට ඇන්නෑවේ කීවා සේ වේතනය බැංකු පොතට දැමීම නදීකාට පහසුවක් විය.

‘‘අදටත් මගේ ATM කාඩ් එක තියෙන්නෙ එයා ගාව. ගිය ආත්මේ මම ඔය ගෑනිගෙන් ණයක් අරන් නොගෙව ඉන්න ඇති. ඒ නිසා තමයි මට මේ ආත්මේ ඕකිට කඹුරන්න වුණේ.’’

නදීකා ද රැකියාවක නියුතු කාන්තාවක වූයෙන් මේ පවුලට මුදල් අතින් හිඟපාඩුවක් තිබුණේද නැත.

‘‘ඉතින් ඔය ගන්න සල්ලිවලට මොකද කරන්නේ?’’ මා ඇසූ විට ඔහු කියා සිටියේ කොටසක් පවුලේ සහ දරුවන්ගේ වැඩකටයුතු සඳහාත්, තවත් කොටසක් ඉතිරිය සඳහාත් වෙන් කරන බවයි.

‘‘පඩිය අතට අරන් වියදම් කරන්නේ එයා. තුන්වේලටම ගෙදරින් කෑම දෙන නිසා වාහනේට තෙල් ගහගන්න විතරක් මට සල්ලි දෙනවා.’’

ඔහු කීවේ සතයට බලා මඟ වියදම් පමණක් ලබාදෙන නිසා කාර්යාලයේ මුදල් එක්කාසු කිරීමකට සම්මාදම් වීමට තබා තමා ආස කරන දෙයක් ගැනීමටවත් ඔහුට හැකියාවක් නැති බවය.

‘‘මම ඉහළ තනතුරක් දරණ කෙනෙක්. ඒත් මරණෙකට, මඟුලකට සල්ලි එකතු කරන්න ආවම දෙන්න රුපියලක් මගේ අතේ නෑ. ඔෆිස් එකේ අය හිතන්නේ මම කුණු ලෝබයෙක් කියලා. ඒ නිසා දැන් එහෙම දේවල්වලට මගෙන් සල්ලි ඉල්ලන්නෙත් නෑ.’’

ඔහු පැවසූ සියලු කරුණු ඇසූ පසු මා නදීකාව හමුවීමට තීරණය කළෙමි.

‘‘ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක්ට එහෙම ඕන ඕන විදියට නාස්ති කරන්න සල්ලි දෙන්නේ කොහොමද? ඕනවට වඩා අතේ පයේ සල්ලි ගැවසෙද්දි තමයි පිරිමි වෙන වෙන විකාර වැඩ කරන්න ගන්නේ.’’

නදීකාගේ කතාබහට අනුව සැමියා මුදල් නාස්ති කරාවි යැයි ඇති බයට වඩා යහමින් මුදල් ඇති විට ඔහු අනියම් ඇසුරක් වෙත යොමු වේ යැයි සිතිවිල්ලක ඇය සිටිනා බව මට දැනුණි. තම අතට ගන්නා සේසතම මත්පැන් වෙනුවෙන් වැය කරනා සැමියන්ද ඇත. නමුත් මේ කතාවේ කතානායකයා මත්පැන්, දුම්වැටිවලට ඇබ්බැහි වූ තැනැත්තෙකුද නොවේ.

විවාහය යන්නෙහි අරුත විවාහ වූ සැනින් සැමියාගේ බිරිඳගේ ස්වාධීනත්වය නැති කර දැමීම නොවේ. අනවශ්‍ය ලෙස ඔහුව පීඩනයට ලක් කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඔහු මත්පැන්වලට හෝ වෙනයම් අයථා සබඳතාවලට යොමුවීමය. සපයන ධනය ආරක්ෂා කිරීම යහපත් බිරිඳකගේ යුතුකමක් බව බුදුරදුන් සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ පවා දේශනා කර ඇත.

එහෙත් සැමියා හරි හම්බකරන සේසතම තමාගේ අතට ගත යුතු යැයි එයින් ඇඟවෙන්නේ නැත. අරපිරිමැස්මෙන් මුදල් පරිහරණය කිරීම, අනාගතය සඳහා මුදල් ඉතිරි කිරීම අඹු-සැමියන් දෙදෙනාගේ එකඟතාවයෙන් කරගත යුතු දෑය. එසේ නොමැතිව පඩි ලැබෙනතුරු බලා හිඳ සැමියාගේ පඩිපත මංකොල්ලකෑමට යාම යහපත් බිරිඳකගේ ලක්ෂණයක් නොවේ.

මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් සැමියාට බිරිඳට යම් ස්වාධීනත්වයක් ලබාදීම දෙදෙනාගේ බැඳීම තව තවත් සවිමත් වීමට හේතුවන බව මම නදීකාට පැහැදිලි කළෙමි. උපදේශනය අවසානයේ නදීකා මා පැහැදිලි කළ කරුණු කාරණා හොඳින් වටහාගත් අතර, ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යුගළ උපදේශනයක් ලබාදී ඔවුන්ගේ බැඳීම සවිමත් කිරීමටද මම කටයුතු කළෙමි.

(මෙය රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද සත්‍ය කතාවකි)

සෙව්වන්දි හෙට්ටිආරච්චි