විශේෂාංග

නාකි විසේ ගෙටත් උසේ

කුසුමලතාට වයස අවුරුදු පනස්අටකි. දරු දෙදෙනා විවාහ වී විදේශගතව සිටියෙන් ඇය ජීවත් වූයේ සැමියා සෝමපාල සමඟය.

දරුවන්ට සෙනෙහෙවන්ත මවක වූ කුසුමලතා තමාටද ආදරණීය බිරිඳක වූ බව සෝමපාලට මතකය. එහෙත් දැන් අවුරුදු තුන හතරක සිට ඔහු අපේක්ෂා කළ කායික ඇසුර ඇගෙන් නොලැබීම නිසා ඔහු සිටියේ නොසතුටින්ය.

‘‘වයිෆ් ඉස්සර වගේ මාත් එක්ක එකට ඉන්න කැමති නැහැ… ඒ මාතෘකාව ගැන කතා කළොත් එයා යකින්නියක් වගේ මගේ ඇඟට කඩාපනිනවා.’’

තම බිරිඳ කුසුමලතා වෙනත් අයෙකු සමඟ සබඳතාවක් ඇති කරගෙන ඇත්දැයි යන සැකයද ඔහුගේ සිත තුළ මෝදුවෙමින් පවතින බවද සෝමපාලගේ කතාවලින් පැහැදිලි විය.

සායනයේදී මේ තත්ත්වය පිළිබඳව කුසුමලතා සමඟ තනිව කතාබහ කිරීමට මම කටයුතු කළෙමි.

සැමියා සමඟ යම් අමනාපයක් හෝ ලිංගිකව එක්වීමට අකමැත්තක් ඇද්දැයි මම ඇසූ විට ඈ කීවේ මෙවැන්නකි.

‘‘යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්න ඕන කාලෙත් මේ මිනිහට නාකි විසේ ඩොක්ටර්.’’

ඇතැම් සමාජීය, සංස්කෘතික, කායික හේතු කාරණා නිසා මැදිවිය එළැඹි පසු සැමියා සමඟ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරන බිරියන් සුලබය.

ආර්ථවහරණයෙන් පසු කාන්තාවකගේ ලිංගික ජීවිතය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි කතාබහ කිරීමට මා සිතුවේ ඒ නිසාය.

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ගැහැනුකමේ අනන්‍යතාව පවත්වාගන්නා කාන්තා හොර්මෝන වර්ගයි. ආර්ථවහරණයෙන් පසුව මේ හොර්මෝන ක්‍රමයෙන් අඩුවන අතර, ඒ සමඟ කාන්තා අවයව යම් හැකිළීමකට ලක්වේ. එහිදී ඇතැම්විට ඇගේ පියයුරුවල සහ ලිංගාශ්‍රිත අවයවවල යම් යම් වෙනස්කම් ඇතිවිය හැකිය. මැදිවිය ගතකරන ඇතැම් කාන්තාවන් ලිංගික එක්වීම ප්‍රතික්ෂේප කරන්නේ තම ශරීරය ප්‍රතිරූපය ගැන සහකරු වරදවා වටහාගනීවී යැයි සිතනා නිසාය.

සබඳතා ප්‍රතික්ෂේප කිරීමට මුල්වන තවත් ප්‍රධානම කරුණක් වන්නේ මැදිවියේ පවත්වන සබඳතා ඇතැම් කාන්තාවන්ට වේදනාකාරී වීමය. යෝනි මාර්ගයේ ආශ්‍රිත පටකවල තෙත් සවභාවය පවත්වාගැනීමට හෝර්මෝන ප්‍රමාණවත් නොවන නිසා ලිංගික එක්වීම් වේදනාකාරී බව බොහෝ කාන්තාවන්ගේ මතයයි.

එයට අමතරව ආර්ථවහරණයෙන් පසු කාන්තාවකට වැඩිපුර දහඩිය දැමීම, රාත්‍රියට නින්ද නොයාම වැනි ගැටළුද මතුවේ. එමෙන්ම වෙනදාට වඩා ආවේගශීලී වීම, උද්යෝගය අඩුවීම සහ නිතර මනෝභාවයන් (moods) වෙනස්වීමද ආර්ථවහරණයෙන් පසු කාන්තාවකට මුහුණදීමට සිදුවන ගැටළුය.

කාන්තාවකගේ ලිංගික ආශාව අවම වීමට මේ සියලු කරුණු කාරණා බලපානු ලබයි.

තම දරුමල්ලන් ලොකු නිසා ලිංගික සබඳතා පැවැත්විම නුසුදුසුයි සිතා ආගමික හෝ වෙනත් ආධ්‍යාත්මික කටයුතවලට යොමුවන බිරියන් ඇත.

ලිංගික තෘප්තිය පුද්ගලයෙකුගේ කායික හා මානසික සෞඛ්‍යයට ඍජුවම බලපෑම් ඇතිකරන සාධකයි. ඉදින් දීර්ඝ කාලයක් ලිංගික තෘප්තිය නොලැබීම නිසා ආදළ කාන්තාවද යම් ආතතියකට පත්වීමට ඉඩ ඇත.

කාලය සමඟ කාන්තාවගේ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු මතුවුවත්, පිරිමියෙකුගේ ලිංගික හැඟීම් වියපත්වීම සමඟ වියපත් වන්නේ නැත. තම බිරිඳ ලිංගික එක්වීම් මඟහැරීම නිසා ඔහු අනාරක්ෂිත ලිංගික සබඳතාවලට යොමුවීමට ඉඩ ඇති අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සංකීර්ණ පවුල් ආරවුල් ඇතිවීමය. ලිංගික ආශාව අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස නොසලකා ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වන්නේ ඒ නිසාය.

තම දූ දරුවන්ට උපත දෙන ගැහැනියකගේ සිරුරේ වෙනස්වීම පිළිබඳ සැමියෙකු නිතර ගෞරවනීය සිතකින් බැලිය යුතුයැයි සිතමි.

මැදිවිය ගතකරන බිරිඳ ලිංගික සබඳතා මඟහැරි පමණින් වෙනත් සබඳතා වෙත යොමු නොවී ඇයව උපදේශන සහ ප්‍රතිකාර වෙත යොමු කිරීම ආදරණීය සැමියෙකුගේ වගකීමයි.

ප්‍රතිකාර වෙත යොමු වූ විට යුවළ උපදේශන මගින් බිරිඳගේ සහ සැමියාගේ බැඳීම සවිමත් කරනා අතර අවශ්‍ය නම් පිටතින් හෝර්මෝන ලබාදීමේ ප්‍රතිකාර වෙතද අදාළ කාන්තාව යොමු කරයි.

මැදිවිය එළැඹි පමණින් ජීවිතයේ අවසානය එළැඹී ඇතැයි ජීවිතයේ සතුට අත්හැර දැමිය යුතු නැත.

ගැබ්ගැනීමේ අවධානමක්ද නොමැති නිසා සැමියා සමඟ සැහැල්ලුවෙන් අලුත් ජීවිතයක් පටන්ගැනීමට හොඳම කාලය මැදිවියයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි