නවතම ප්‍රවෘත්ති

ඒ පුතා තාත්තාට දැඩි ලෙස වෛර කරන බව දැනගන්න ප්‍රතිකාර සැසි තුනක් කරන්න වුණා

‘රංග කලා මනෝ චිකිත්සාව’ අපේ රටට තරමක් අලුත් සංකල්පයක්. අද අපේ කතානායිකාව වෙන්නේ රංග කලා මනෝ චිකිත්සා විෂය ක්ෂේත‍්‍රයෙන් මෙරට විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැන්නිය. ඇය තමයි කුමුදු ඒකනායක. කලාවේ විධික‍්‍රම භාවිතයෙන් චිත්තවේග සමබර කරන ආකාරය සහ ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ආකාරය ගැන කුමුදු කියන මේ කතාව වැටුණු තැන්වලින් නැගී හිටින්න ඔබටත් අත්වැලක් වෙනු ඇති බව අපිට විශ්වාසයි. 

* වයස අවුරුදු පහේදි ඔබේ මව මිය ගියා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබද්දි වසර හතක් පෙම්කළ ඔබේ පෙම්වතා හදිසි අනතුරකින් මිය ගියා. මේ අවස්ථා දෙකේදිම මනසින් නොවැටී ජීවිතය දරාගත් හැටි කියලා අපි මේ කතාබහ පටන්ගනිමුද? 

හොඳයි. ඔබ කිව්වා වගේම මට අවුරුදු පහේදි මව මිය යනකොට මගේ නංගිට වයස අවුරුදු දෙකයි. අපේ අක්කටත් එතකොට ලොකු වයසක් නැහැ. ඒ වෙලාවෙ අපේ තාත්තා මුහුණ දුන්නු ලොකුම ප‍්‍රශ්නය තමයි පුංචි වයස්වල හිටිය දුවලා තුන්දෙනා රැකබලා ගන්නෙ කොහොමද කියන එක. ඊටපස්සේ තාත්තා තීරණය කළා අපි තුන්දෙනාව කාන්තා පාසලක නේවාසිකාගාරයේ නවත්තන්න. 

තාත්තා ඒකට තෝරාගත්තෙ හලාවත හෝලි ෆැමිලි කොන්වන්ට් එක. එතැන් පටන් උසස් පෙළ විභාගය අවසන් වෙනකන්ම මම හැදුනෙ වැඩුනෙ කන්‍යා සොයුරියන්ගෙ රැකවරණය යටතේ. කන්‍යා සොයුරියන් යටතේ හැදී වැඩීමත් මගේ සොයුරියන් දෙදෙනා ළඟ සිටීමත් අම්මා නැති අඩුව දරාගන්න මට ශක්තියක් වුණා. 

ඔබ අහපු අනෙක් සිදුවීම මගේ පෙම්වතා හදිසි අනතුරකින් මියයෑම. ඒ වෙලාවෙ මාව විශාල කම්පනයකට පත්වුණා. අපේ ප්‍රේම සම්බන්ධය වසර හතක් පුරා බොහෝ බාධක මැද ඉදිරියට ආපු එකක්. ඒත් ඒ බාධකවලට මුහුණ දෙමින් අපි අනාගතය සැලසුම් කරමින් ඉන්න වෙලාවක තමයි ඔහු මියගියේ. ඒ, එක්දහස් නමසිය අනූහත අවුරුද්දේ. ඔහු මියයනකොට අපි විවාහ මංගලෝත්සවයට දිනත් නියම කරගෙනයි හිටියේ. පෙම්වතා මියයෑම නිසා පත්වුණු කම්පනයෙන් මාව මුදාගන්න වැඩි මැදිහත්මක් කළේ මගේ හොඳම මිතුරිය වුණු සිලනි තුමාරා පීරිස්. ඇය මාව වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයට යොමුකළා.

ඒ කියන්නේ ඔබ වේදිකා නාට්‍යවල රඟපෑවා කියන එකද?

ඔව්. මම මුලින්ම සම්බන්ධ වුණේ නීතිඥ මහානාම සිල්වගේ මාතෘ කියන වේදිකා නාට්‍යයට. මාතෘ නාට්‍යයේ ලක්ෂ්මි දමයන්තිත් රඟපෑවා. ඊටපස්සෙ නීතිඥ මහානාම මහත්තයගෙම රත්නාවලී නාට්‍යයේ ප‍්‍රධාන නිළිය ලෙස මම රංගනයෙන් දායක වුණා. රත්නාවලී නාට්‍යයේ දුලීකා මාරපනත් රඟපෑවා. ඉන්පසු 1998 වර්ෂයේ සිට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපාමින් ක‍්‍රමයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයට යොමුවුණා. කලාවට සම්බන්ධ වීම මම පත්වෙලා හිටිය කම්පනය සමනය කරගන්න සෑහෙන්න පිටුවහලක් වුණා. 

 

*පෙම්වතා හදිසියේ මියයෑම නිසා හටගත් කම්පනය ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බාධාවක් වුණේ නැද්ද? 

ඔහු මියගියේ මගෙ විශ්වවිද්‍යාල විභාගයක් ඔන්න මෙන්න කියලා තියෙද්දි. එහෙම වෙලත් මම ඒ විභාගයෙන් අසමත් වුණේ නැහැ. විශාල ඛේදවාචකයකට මුහුණදීලා හිටපු මම විභාගයෙන් සමත් වෙනකොට අපේ කණ්ඩායමේ වෙනත් කිහිපදෙනෙක් එයින් අසමත් වෙලත් තිබුණා. ඒ වෙලාවෙ මට විභාගය හොඳින් සමත් වෙන්න පුළුවන් වුණේ ඕනිම ප‍්‍රශ්නයකට ශක්තිමත්ව මුහුණ දෙන්න මම ජීවිතය පුරුදු පුහුණු කරලා තිබුණු නිසා. 

ප‍්‍රශ්න අස්සෙත් ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න මට ශක්තිය ලැබුණෙ කාරණා දෙකක් නිසා. එයින් එක් කාරණයක් තමයි පාරම්පරිකව ආරෙන් මට ලැබුණු දේ. මගේ තාත්තා ඕනෑම අභියෝගයක් ඉස්සරහා ඉතාම සුබවාදීව ජීවිතය දිහා බලන කෙනෙක්. ඒ ගතිය මටත් ඇවිත් තියෙනවා. 

අනෙක් කාරණය තමයි හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ ගෙවපු කාලෙ ඉගෙනගන්න ලැබුණු දේවල්. ඒ දවස්වල සිස්ටර්ස්ලා නිතර කියපු දෙයක් තමයි ජීවිතේ  ඕනෑම සිදුවීමකදි දෙවියන්ට තවත් සැලැස්මක් තියෙනවා කියන එක. මම දකින විදියට ඒක හොඳ ආකල්පයක්. මොකද ජීවිතේ බිමටම වැටුණු අයෙකුට වුණත් යළි සාර්ථකව නැගී සිටින්න ඒක විශාල ශක්තියක්. 

 

*ඔබ නියැලෙන ‘රංග කලා මනෝ චිකිත්සාව’ අපේ රටට තරමක් අලුත් සංකල්පයක්. ඇත්තටම ‘රංග කලා මනෝ චිකිත්සාව’ කියන්නෙ මොකක්ද කියලා? 

රංග කලා මනෝ චිකිත්සාව කියන එක සරලව මේ විදිහට විස්තර කරන්න පුළුවන්. නාට්‍ය හා රංග කලාව කියන විෂය ක්ෂෙත‍්‍රයේ විවිධ අභ්‍යාස ක‍්‍රම ශිල්ප තියෙනවා. එය සමූහික කලාවන්ගේ එකතුවක්. ඒවා තමයි සංගීතය, චලන, භූමිකා රංගනය, මනස සැහැල්ලු කරන අභ්‍යාස, සතිය, අවධානය එක දිගට තියාගැනීමේ අභ්‍යාස, මනස සහ කය සමබර කරගැනීම, චිත්තවේග, හැඟීම් සමබර කරගැනීමේ විධි ක‍්‍රම වැනි දේවල්. ඔය විධික‍්‍රම ලෝකය හඳුනාගත්තෙ නාට්‍ය කලාව කියන විෂය ක්ෂේත‍්‍රය හරහා. ඔය විධික‍්‍රම ඇතුළෙ ලොකු මනෝ විද්‍යාවක් තියෙනවා. රංග කලා මනෝ චිකිත්සාවෙදි කරන්නෙ වෘත්තිය රංගන කටයුතුවලට භාවිත කරන මේ දේවල් ප‍්‍රතිකාරාත්මක සැලැස්මක් සහිතව මානසික ගැටලුවක් සුවපත් කිරීමට භාවිත කරන එක. ඒ තුළින් මානසික සමබරතාවය තියාගන්න විදිය ගැන මිනිස්සුන්ට මගපෙන්වන එක. 

 

*අපේ රටට තරමක් අලුත් සංකල්පයක් වුණු රංග කලා මනෝ චිකිත්සාව කියන විෂය ඔබට මුලින්ම අහුවුණේ කොතැනදිද? 

මෙහෙමයි. නාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා විවිධ පුහුණු වැඩමුළු කරන කාලයේම ස්ටැන්ස් ලාව්ස්කිගෙ රූපන විධික‍්‍රම පිළිබඳවත් ඒ ඔස්සේ මනෝවිද්‍යා පොත්පත් පරිශිලනයත් මම ආරම්භ කළා. ඒ සමඟම එක්දහස් නමසිය අනූනමයෙදි ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍ය නිර්මාණය කරපු වෙලාවෙ ඔස්ටේ‍්‍රලියාවේ විශේෂ පුහුණුකරුවකු යටතේ අපට මාස හයක විශේෂ පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම අනෝජා වීරසිංහ මහත්මිය චලන හා හඬ චිකිත්සාව පිළිබඳව එංගලන්තයේ විශේෂ පුහුණුවක් ලබා ලංකාවට ආපු කාලෙ මමත් එතුමිය යටතේ ඒ මනෝවිද්‍යාත්මක පදනමක් සහිත හඬ, චලන, භූමිකා රංග පුහුණුවීම් ලබාගත්තා. රංග කලා මනෝ චිකිත්සාව විශාල ගැඹුරක් ඇති විශයක් කියන අවබෝධය මට ලැබුණෙ එතැනදි. ඒ වෙලාවෙ මට ලොකු කැමැත්තක් ඇති වුණා ඒ ගැන වැඩිදුර හදාරන්න. ඒ අනුව දෙදහස් දහය අවුරුද්දෙ ඉඳලා මම මනෝවිද්‍යා විෂය විධිමත්ව හදාරන්නට පටන්ගත්තා. 

ඒ වගේම කොළඔ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පශ්චාත් උපාධිය, මනෝවිද්‍යා උපදේශන පශ්චාත් උපාධිය හා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිය සමත් වූවායින් පසු මම දර්ශනපති පර්යේෂණය ආරම්භ කළා. ඒ තරුණ දරුවන්ගෙ හැසිරීම් ගැටලු එහෙමත් නැත්නම් චිත්ත වේග ගැටලු රංග කලා මනෝ චිකිත්සාව යොදාගෙන සමබර කරන්නෙ කොහොමද කියන එක ගැන. එය ලංකාවෙ එහෙම කරපු පළවැනි පර්යේෂණය. පුනරුත්ථාපන නිවාසවල නේවාසිකව ඉන්න හැසිරීමේ ගැටලු සහිත තරුණ  පිරිසක් යොදාගෙන මම ඔය පර්යේෂණය කළේ. පර්යේෂණයෙන් මූලිකවම කළේ රංග චිකිත්සාවෙ තියෙන විවිධ අභ්‍යාස හා ව්‍යායාම යොදාගෙන ඒ දරුවන් තුළ තිබුණු පුරුදු වෙනස් කරන්න පුළුවන්ද කියලා අධ්‍යයනය කරපු එක. ඒ සඳහා රංග චිත්සාව සමඟ සංගීත හා චලන මෙන්ම චිත‍්‍ර චිකිත්සාමය ක‍්‍රම ශිල්පත් යොදාගත්තා.

 

*ඔය පර්යේෂණයේ ඔබේ ප‍්‍රධානියා විදියට කටයුතු කළේ කවුද? 

ප‍්‍රධාන උපදේශකවරුන් විදියට වැඩ කළේ මාහාචාර්ය ජානකී විජේසේකර සහ ආචාර්ය රවින්ද්‍ර රණසිංහ. ඒ දෙපල මට විශාල ශක්තියක් වුණා. ඒ වගේම එවකට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විදියට කටයුතු කළ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු අතිරේක උපදේශකවරයකු ලෙස ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම විශේෂඥ මනෝ වෛද්‍ය රසිත පෙරේරා හා ඇන්ජලෝ ද සිල්වා වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම් නොමදවම ලැබුණා. මගේ පර්යේෂණය සාර්ථක කර ගන්නට මුල සිටම විශාල මග පෙන්වීමක් කළ මාහාචාර්ය පැට්‍රික් රත්නායක සහ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ප‍්‍රසන්න කමල්සිරි මෙහිදී සිහිපත් කළ යුතුමයි.

අනෙක් කාරණය තමයි මනෝ විද්‍යාඥයින්ගෙ සහාය නැතිව මේ පර්යේෂණය කරන්න බැහැ. මොකද ඔවුන්ගෙ මිනුම් පරිමාවලට දාලා බලලා තමයි මගේ පර්යේෂණයට බඳුන් වුණු දරුවන්ගෙ චිත්තවේග කුමන මට්ටමකට වෙනස් වෙලාද කියලා හඳුනාගන්න පුළුවන්. පර්යේෂණයට බඳුන් වුණු බොහොම ප‍්‍රචණ්ඩ හැසිරීම් රටාවක් තිබුණු තරුණ දරුවන් පහළොස් දෙනෙක් අතරින් නම දෙනෙකුගේ රෝග ලක්ෂණ අවම වුණා. අනෙක් දරුවන් හයදෙනා එහෙම නොවුණේ ඔවුන් ඖෂධ ලබාදිය යුතු මට්ටමට පැමිණ තිබුණු නිසා. ඒ නිසා මනෝ වෛද්‍ය විශේෂඥයන්ගෙ උපදෙස් අනුව ඒ දරුවන් හයදෙනා ඖෂධ ප‍්‍රතිකාරවලට යොමුකළා. 

දරුවන්ගෙ චිත්ත වේග සමබර කිරීම ගැන කරපු ඔය පර්යේෂණය මත පදනම්ව රංග කලා මනෝ චිකිත්සාව පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මම ආචාර්ය උපාධිය ලබා ගත්තා. දෙදහස් දහතුනේදි පර්යේෂණ යෝජනාව විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරලා එය සම්පූර්ණ කළේ දෙදහස් විස්ස අවුරුද්දේ. එය ඒ තරම් දීර්ඝ පර්යේෂණ චාරිකාවක්. ඔය අවුරුදු හතෙන් සැලකිය යුතු කාලයක් පර්යේෂණ කටයුතුවලටත් අනෙක් කාලය පර්යේෂණ නිබන්ධනය ලියන්නත් ගතවුණා. රංග කලා මනෝ චිකිත්සාව පිළිබඳව ලංකාවෙ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගත් පළමු පුද්ගලයා බවට මාව පත්වුණේ ඒ අනුවයි. 

 

*ඔබ දැන් නියැළිලා ඉන්න වෘත්තිය හඳුන්වන්නෙ කොයි විදියටද? 

නිර්මාණාත්මක මනෝ චිකිත්සකවරියක් විදියට මම දැන් කටයුතු කරනවා.   

රංග කලා මනෝ චිකිත්සාව ගැන ලංකාවෙ පළමුවැනි වතාවට ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ සමඟ එක්ව ඩිප්ලෝමා පාඨමාලාවක් දැන් පවත්වනවා. ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ තමයි ඩිප්ලෝමා පාඨමාලාව පවත්වන්නේ. ඊට අමතරව පදනම් ආයතනයේ ළමා සංවර්ධන මනෝවිද්‍යාව සහ මනෝචිකිත්සාව බාහිර කථිකාචාර්යවරියක් ලෙස මම කටයුතු කරනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ අසාමාන්‍ය මනෝවිද්‍යාව හා උපදේශන කුසලතා බාහිර කථිකාචාර්යවරියක ලෙසත් කොළඹ විශ්වවිද්‍යාලයේ රංග කලා මනෝචිකිත්සා බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ආතති කළමනාකරණය හා කෝප කළමනාකරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟත් වැඩ කරනවා. 

 

*රංග කලා මනෝ චිකිත්සාව යොදාගෙන ඔබ කළ මගපෙන්වීම්වලින් මනස සමබර කරගත් අය ගැන සිදුවීමක් දෙකක් අපට කියන්න පුළුවන්ද? 

පාසල් සිසු සිසුවියන් ගැන අත්දැකීම් සෑහෙන්න මට තියෙනවා. ඒ දරුදැරියන්ගෙන් අතිමහත් බහුතරයක් මානසික හා චිත්තවේගික ගැටලුවලින් පීඩා විඳින අය. මෑත කාලයේ අන්තර්ජාල හා දුරකතන ඇබ්බැහිවීම් මෙන්ම කාර්යබහුල මව්පියන්ගේ ඈත්වීම් මත යොවුන් වියේ දරුවන්ගේ ගැටලු වැඩිවෙලා තියෙනවා. වැඩිහිටියන්ගේ ආතතීන් හා පීඩා වක‍්‍රව දරුවන් වෙතට මාරුවීම නිසා ගැටලු මතුවෙනවා. ඒ වගේම අම්මා තාත්තගෙ හැසිරීම් දරුවන්ගෙ ජීවිතයට කරන බලපෑම් විශාලයි. 

මෑතකදි මට මුහුණ දෙන්න වුණු වයස අවුරුදු දාහතක ශිෂ්‍යයෙක් ගැන අත්දැකීමක් මම ඔබට කියන්නම්. උසස් පෙළ පංතියෙ ඉගෙනගන්න මේ පුතා පාසල් පැමිණීම දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරනවා. නිවසේදී ප‍්‍රචණ්ඩකාරීයි, ගොඩක් කේන්ති යනවා. මේ දරුවව මට යොමු කළේ මව. මගේ සැසිවලට පැමිණීමත් මුලදී ප‍්‍රතික්ෂේප කළා. අපි ප‍්‍රථමයෙන් කරන්නේ නිර්මාණාත්මක මෙවලම් ඔස්සේ විශ්වසනීය සබඳතාවය ගොඩනැගීම. දෙවැනි සැසියේදී වැලි තැටි හා දර්ශනතල ක‍්‍රමවේදයෙන් දරුවාගේ ඇතුළාන්ත කතාව දිග හැරෙන්නට පටන්ගත්තා. 

මේ තරුණ දරුවා තමන්ගේ තාත්තාට දැඩි ලෙස වෛර කරනවා. එයට කාරණා තුනක් බලපාලා තිබුණා. ලකුණු අඩුවීමේදී හා පාඩම් වැඩවලදි කාලයක සිටම දරුවාට එල්ල කරන දැඩි පීඩනය, තම මවට නිතර අසභ්‍ය වචනවලින් බැන වදින එක, තාත්තාගේ වෙනත් සබඳතාවයක පණිවිඩ ජංගම දුරකතනය ඔස්සේ දරුවාට දැනගන්නට ලැබීම ඒ කරුණු තුන. සැසි තුනක පමණ චිකිත්සා වලින් පසු මම පෙන්වා දීපු කරුණු ඔස්සේ තරුණ පුතා තීරණය කළා තමාගේ අනාගතය සැලසුම් කරන්න. ඒ සඳහා අවශ්‍ය පුහුණුව වගේම කුසලතා දියුණු කිරීම නිර්මාණාත්මක ක‍්‍රමවේද ඔස්සේ මම ලබා දුන්නා. 

එතකොට ප‍්‍රචණ්ඩකාරී ගති ටිකෙන් ටික අඩුවෙලා තමන්ගෙ අනාගත සිහිනවලට ළඟා වෙන්න අභ්‍යාස කරන්න පටන්ගත්තා. මෙවැනි මනෝ චිකිත්සක සැසිවලදි අපි භූමිකා රංග, ස්වයං කථන පුහුණුව, මනෝ රංග ක‍්‍රම, චිත‍්‍ර, සංගීතය බහුලව යොදා ගන්නවා. අඩුම ගානේ මාස තුන හතරක කාලයක් ගත වෙනවා මානසික ගැටලුවක් අඩු වෙන්න. මෙවැනි යෞවනයින් වගේම විශාදයට පත් කාන්තාවන් අපේ මනෝ චිකිත්සන සැසිවලින් බහුලව සුවපත් වෙනවා.  

 

*ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක්. ඊට අමතරව ඔබ නියැලුණු අධ්‍යාපන කටයුතු මොනවද? 

මහාචාර්ය රෝලන්ඩ් අබේපාල සහ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල යටතේ මම මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ මුල්ම පශ්චාත් උපාධිය කොළඔ විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා. ඒ සමඟම අධ්‍යපන පශ්චාත් උපාධිය, කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශනපති හා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යා පශ්චාත් උපාධිය ඇතුළු උපාධි අටක් දැනට ලබාගෙන තියෙනවා. මේ ක්ෂේත‍්‍රයේ නියැළිලා ඉන්න අයටත් එයට අලුතින් එන අයටත් අපේ දැනුම බෙදාහදා දෙන්න නිර්මාණාත්මක මනෝ චිකිත්සක අධ්‍යයන ආයතනයක් දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ආචාර්යය ලක්ෂ්මන් සිල්වා මෙන්ම විශේෂඥ මනෝ වෛද්‍ය රවිමාල් ගලප්පත්ති යන මිතුරන් එයට ලබාදුන් දායකත්වය මතක් කළ යුතුයි. රංග චිකිත්සකයින්, සංගීත චිකිත්සකයින්, චිත‍්‍ර චිකිත්සකයින් එක්ක අපි එහි පාඨමාලා පවත්වාගෙන යනවා. එහි අධ්‍යක්ෂවරියක ලෙසත් මම කටයුතු කරනවා. 

 

*කාර්යබහුල වෘත්තියක නිරත වෙලා ඉන්න අතරේ ඔබ මවක් බිරිඳක් හැටියටත් වගකීම් ඉටු කරනවා. ඔබේ සැමියා සහ දරුවන් ගැන කියලා අපි මේ සංවාදය අවසන් කරමු? 

මගේ සැමියා සිසිර ඒකනායක. ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක්. මාව හොඳින් තේරුම් අරන් මගේ වෘත්තිය කටයුතුවලට ඔහු විශාල සහායක් ලබා දෙනවා. දුව අමන්දි පෞද්ගලික විශ්වවිද්‍යාලක පළමු වසරේත් පුතා ටොෂිත් නවවැනි ශ්‍රේණියේත් ඉගෙනගන්නවා. මගේ ගමනට විශාල අත්වැලක් වුණු මගේ සහෝදරියන් දෙදෙනා දිනේෂා පෙරේරාත් නාමලී පෙරේරාත් මෙහිදී අමතක කරන්න බැහැ. 

 

හසිත කුරුප්පු 

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන