විශේෂාංග

‘‘එදා මම හෝටලෙන් එළියට එනකන් රැකගෙන ඉඳලා රන්බණ්ඩා මහත්තයා ඇහුවා ඇයි මේ රස්සාව කරන්නේ කියලා’’

ළඳුනේළඳුනේ

ඔබේ දෑස දැක ගත්තෙමි

සැඳෑ කලෙක ළඳුනේ…. ළඳුනේ

මේ ගීතය ලිව්වේ නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරීන්ය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට, විශාරද අමරසිරි පීරිස් ගයන මේ ගීතය අපිට නුහුරු නුපුරුදු හෝ ආගන්තුක එකක් නොවේ. ඒත් අද මගේ කතාවේ ප්‍රස්තුථය වන්නේ ‘ළඳුනේ’ ගීතය ලියන්නට රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට කමටහන් දුන් කාන්තාවගේ කතාවයි.

ඇයව බොහෝදෙනා දන්නේ මහනුවර ප්‍රසිද්ධ හෝටලයක නම සමඟින් ________ අක්කා කියූ විටය. නමුත් ඇගේ ඉල්ලීම පිට ඒ නම භාවිත නොකර ඇගේ නමේම කොටසක් වූ ධම්මි ලෙසින් මා ඇයව හඳුන්වමි.

මේ වනවිට 68 හැවිරිදි වියේ පසුවන ධම්මි දැන් පදිංචිව සිටින්නේ නුවර වත්තේගෙදර ප්‍රදේශයේය. ඉතාමත් අඩු වයසින් ප්‍රේම සම්බන්ධයක පැටළුණු ඇය මුළු ජීවිතේම ඔහු වෙනුවෙන් කැපකර අවසානයේ දරු දෙදෙනෙක් ද සමඟින් තනි වන්නීය.

‘‘මගේ ළමා කාලයත්, තරුණ කාලයත් ගැන වැඩිය කතා කරන්න මම කැමති නැහැ. ඒත් මගේ ජීවිතේ මහමෙරක් තරම් බලාපොරොත්තු තිබුණා. පෝරුවේ නැගලා, මාල හතක් දාලා, උඩරට මැණිකේ කෙනෙක් වගේ දීග යන්න මටත් හීනයක් තිබුණා. ඒත් තනි තීරණේට කසාද බඳිද්දී ඒ හීන හැබෑ කරගන්න බැරි වුණා. ටික කාලයක් යද්දී එයා මාවයි දරුවන්වයි අතඇරලා වෙන කසාදයක් කරගත්තා.’’

ජීවිතයේ යටගියාව මතක් කරන්නට ඇය තුළ වැඩි කැමැත්තක් තිබුණේ නැත.

‘‘ඊටපස්සෙ මගෙ නංගියි, එයාගෙ මහත්තයයි එකතුවෙලා අපේ දේපල ලියා ගන්න හොර ඔප්පුවක් හැදුවා. වේලක් ඇර වේලක් දරු දෙන්නට බත් කටක් කන්න දෙන්නවත් අතේ සතයක් නැතුව හිටපු මට අන්තිමට ගේයි ඉඩමයි බේරගන්න නඩු කියන්න සිද්ධ වුණා.’’

පසුව ඇය තම දේපල අයිතිය ලබාගැනීමට නැගණියට විරුද්ධව නුවර උසාවියේ නඩුවක් ගොනු කරන්නීය.

‘‘අන්තිමට නංගියි මමයි එකම වහල යට ඉඳගෙන උපන් ගෙදරට නඩු කියාගත්තා. ඒක නිසා නංගිගෙ මහත්තයා කොයිවෙලාවෙත් කැත්තට පොල්ල වගේ මාත් එක්ක ගහමරාගන්න ආවා.’’

ධම්මිගේ නැගණිය විසින් ඇගේ ඡායාරූපයක් නුවර පොලිසියට ලබාදී, ධම්මි ගණිකා වෘත්තියේ නියැලෙන බවට ව්‍යාජ ඔත්තුවක් ලබාදෙන්නේ ඔය අතරවාරයේදීය.

‘‘අන්තිමට මම එළවලු, මාළු ටිකක් ගන්න පාරට බැස්සත් පොලිස් ජීප් එක ඇවිත් මාව දාගෙන ගියා. රෑ එළිවෙනකල් පොලිස් කූඩුවේ නිදාගන්න සිද්ධ වෙච්ච දවසුත් තිබුණා. දවසක් එහෙම පොලිස් කූඩුවේ ඉඳලා ආපු දවසක ගෙදර ලොකු රණ්ඩුවක් ඇතිවුණා. පස්සේ නංගියි මහත්තයයි එකතු වෙලා මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා. මට ඒ වෙලාවෙ දරු දෙන්නව අරන් යන්න විදියක් තිබුණෙ නෑ. ඒ දෙන්නව බලාගන්න අම්මා හරි ඉන්නවනේ කියලා හිතලා එවලේ මම හිත හදාගත්තා.’’

යාමට ඒමට තැනක් නැතිව අසරණ වූ ඇය එදින රාත්‍රිය ගෙවා දැමුවේ නුවර බස් නැවතුමේය. පසුව ඇයට උදව් කිරීමට ඉදිරිපත් වූයේ නන්නාඳුනන්නියක් වූ ශ්‍රියාණිය.

‘‘එදා බස් හෝල්ට් එකේදි තමයි මම ශ්‍රියාණිව මුලින්ම දැක්කේ. ඒ වෙලාවෙ එයා මට කිව්වා එයාත් මහත්තයා නැතුව තනියම ඉන්න කෙනෙක් කියලා. පස්සෙ අපි දෙන්නා කතාබහ කරලා දැන හඳුනගත්තට පස්සෙ ශ්‍රියාණි මාව එයා නැවතිලා ඉන්න ගෙදරට එක්කගෙන ගියා.’’

නවාතැන් පහසුකම්වලට අමතරව සති දෙක තුනක් යනතුරුම ධම්මිට කෑමබීම ටික පවා සපයා දුන්නේ ශ්‍රියාණිය.

‘‘එක දවසක් ශ්‍රියාණි මට කිව්වා නුවර ටවුමට යන්න එන්න කියලා. එදා මාව තනියම තියලා ඉක්මනට එන්නම් කියලා ශ්‍රියාණි කොහෙටද ගියා. ටික වෙලාවකින් පිරිමි කෙනෙක් ඇවිත් මට කිව්වා ශ්‍රියාණි මාව නුවර හෝටලේ ඇතුළට එක්කන් එන්න කිව්වා කියලා. ඒ ගියාට පස්සේ තමයි මම දැනගත්තේ ශ්‍රියාණි මාව ඒ මිනිහට විකුණලා සල්ලි අරන් කියලා. එදා මම කොච්චර බය වුණාද කිව්වොත් මට හෝටලේදි සිහි නැතිවෙලා තිබුණා. අන්තිමට ඒ පිරිමි කෙනා මට දෙන්න කියලා හෝටලේ කවුන්ටරෙන් රුපියල් 4000ක් තියලා යන්න ගිහින් තිබුණා. ඒ වෙලාවෙ මගේ අතේ සතයක්වත් තිබුණේ නැති නිසා මම ඒ රුපියල් හාරදාහ අරගෙන මගේ අම්මටයි, දරුවන්ටයි කෑමබීම ටිකක් අරන් අපේ ගෙදරට ගියා. එතකොට තමයි දැනගත්තේ මම ගෙදරින් ආවට පස්සේ අම්මට සිහිකල්පනාව නැතිවෙලා එක්තැන් වෙලා කියලා. දොස්තරලගෙන් ඇහුවම කිව්වා කාලයක් බෙහෙත් කළොත් අම්මව ගොඩගන්න පුළුවන් කියලා.

නඩු කියන්නයි දරුවෝ ජීවත් කරන්නයි සල්ලි හොයාගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු මට අම්මට බෙහෙත් කරන්නත් සල්ලි හොයන්න සිද්ධ වුණා. ’’

මුදල් උවමනාව තදින්ම දැනෙද්දී මුදලට තමන්ව විකිණූ ශ්‍රියාණි ගැන ඇගේ හිතේ තිබූ තරහව පහව ගියාය. තම මවගේ අසනීප තත්ත්වය හමුවේ කුමක් කරන්නදැයි සිතමින් නැවතත් ශ්‍රියාණිගේ නිවසට ගිය ධම්මි සියල්ල ඇයට කියා සිටියාය. අකමැත්තෙන් වුවද ඇය ශ්‍රියාණි කියන ආකාරයට තම ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්නට සිතාගත්තේ එතැන් සිටය.

‘‘රස්සාවක් කරොත් මාසෙට ලැබෙන සොච්චම අම්මගෙ බේත්වලටයි, ළමයින්ට උගන්වන්නයි, උසාවිවලට ගෙවන්න හැරෙන්නත් මදි වෙනවා කියලා මට තේරුණා. එතන ඉඳලා තමයි පෙරලුණු පිට හොඳයි කියලා මම සල්ලිවලට විකිණෙන්න පටන්ගත්තෙ.’’

පෙර සඳහන් කළ පරිදි ඇයට පටබැඳි අන්වර්ථ නාමයක් ඇතත්, ඇගේ ඉල්ලීම මත එය සඳහන් නොකරමි.

‘‘දවස්වල හවස හතරෙන් පස්සේ ගමේ කවුරුත් පාරවල්වල බස්වල යන්නෙ නෑ. ඒක නිසා මට හිතුනා මම හවස් වෙන්න හෝටලේ ගාවට ගියොත් කවුරුත් දකින එකක් නෑ කියලා. මම හැමදාම හවස 4.30ට ගෙදරින් ගිහිල්ලා 6.30 වෙද්දි හෝටලේ ළඟ හිටගත්තා. හෝටලේට ආපු ගොඩක් ප්‍රභූවරු, විදේශිකයෝ මාව සල්ලිවලට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මාස දෙකෙන් දෙකට සංචාරක ට්‍රිප් ආපු ගොඩක් ඩ්‍රයිවර්ස්ලාත් මාත් එක්ක ඉඳලා තියෙනවා. මාත් එක්ක හෝටල් කාමරේ හිටපු ගොඩක් පිරිමි එයාලගේ නෝනලා එක්ක පාරේ යද්දි අනන්තවත් මට රවලා ගිහිල්ලා තියෙනවා. නෝනලාට පේන්න මහත්මා ලීලාවෙන් අහක බලන් ගිහිල්ලා තියෙනවා. මට මං ගැනම දුකක් ඇතිවුණු ඒ වගේ වෙලාවට නුවර පන්සලට ගිහිල්ලා වරු ගණන් අඬලා තියෙනවා.’’

ඇය කියන්නේ වේදනාවෙනි.

‘‘දවසක් මම තනියම අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා. එදා මම ඇඳලා ගියේ සුදු ඔසරියක්. ඒ වෙලාවේ අඳුරන් නැති මහත්තයෙක් මගේ ළඟට ඇවිත් කිව්වා ‘නෝනා මට ඔයාව නුවර උසාවියේදි හොඳට දැකලා පුරුදුයි’ කියලා. මමත් ගෙදර නඩුවට නුවර උසාවියට නිතරම වගේ ගියා ආවා නිසා මම ඒ විස්තරේ එයාට කිව්වා. ඊටපස්සේ තමයි එයා මට කිව්වේ එයා තමයි නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න කියලා. කතාබහ කරලා යද්දි ඒ මහත්තයා මට කිව්වා ‘නෝනා ඔයා ඔසරියට නියම උඩරට මැණිකේ කෙනෙක් වගේ පේනවා’ කියලා. ඒ වෙලාවෙ මට හිතුනා මම හෝටලේට යනකොටත් ඔසරියක් ඇඳලා ගියොත් දකින මිනිස්සු කැත විදියට බලන්නෙ නැතිවෙයි කියලා.’’

පිටව යද්දී නඩුවට අවශ්‍ය නම් තමා අමතන ලෙස කියා ඇයට දුරකතන අංකය ලබාදී යන්නටද රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අමතක නොකළේය.

‘‘ඊටපස්සෙ දවසක රන්බණ්ඩා මහත්තයා එයාගෙ හිතවතෙකුගේ වෙඩින් එකකට මම යන එන නුවර හෝටලේට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ මම හෝටලේ දොරකඩින් කස්ටමර් කෙනෙක්ගේ කාර් එකකට නගිනවා දැකලා රන්බණ්ඩා මහත්තයා සිකුරුටිගෙන් ඒ ගැන අහලා තියෙනවා. මම සල්ලිවලට පිරිමිත් එක්ක හෝටලේට එනවා යනවා කියලා සිකුරුටි කියලා තියෙනවා. පස්සේ මම හෝටලෙන් එළියට එනකල් රැකගෙන ඉඳලා රන්බණ්ඩා මහත්තයා මගෙන් ඇහුවා ඇයි මෙහෙම රස්සාවක් කරන්නෙ කියලා. එදා තමයි රන්බණ්ඩා මහත්තයට මං මගේ ජීවිත කතාව කිව්වේ.

කතාව අතුරතුරදී මොහොතක් නිහඬ වුණු ඇය යළිත් හඬ අවදි කළාය.

‘‘එදයින් පස්සෙ මට ආපහු එතුමාව හම්බුණේ නැහැ. පස්සෙ කාලෙකදී ‘නීතීඥ රණ්බන්ඩා සෙනෙවිරත්න’ මැරුණා කියලා ආරංචියට මම එතුමාගේ අනුරාධපුරේ ගෙදර හොයාගෙන ගියා. ඒ වෙලාවේ එයාට ගොඩක් හිතවත් නීතීඥ මහත්මයෙක් මගෙන් ඇහුවා ‘ඔයා නේද නුවර හෝටලේ ළඟ ඉන්න ධම්මි?’ කියලා. මම ‘ඔව්’ කිව්වා. ඊටපස්සෙ ඒ නීතීඥ මහත්මයා මට කිව්වා රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ‘ළඳුනේ’ සිංදුව ලිව්වෙ ඔයාට කියලා. ඒක අහපු ගමන් මගේ ඇස්වලට කඳුළු පිරුණා. ඒත් ඒ මහත්තයාගේ නෝනයි, දරුවොයි ඉස්සරහා මං වගේ ගෑනු කෙනෙක්ගේ ඇස්වලින් කඳුළක් වැටුණොත් එතුමාට අපහාසයක් වෙයි කියලා මං මගේ කඳුළු හංගගෙන එතනින් එළියට ආවා.’’

ඈ සමඟ කළ සංවාදය නිමා කරද්දී මට හිතුනේ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ගී පද සංකල්පනා තුළ ඇයට පිරිමියෙකුගෙන් ජීවිතයේ ලද හැකි උපරිම ගෞරවය හිමි වී ඇති බවය.

අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ

ළැම පමණක් ලොවට පෙනෙන

ළය නොපෙනෙන ළඳුනේ

කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

ලිහිණි මධුෂිකා