දිරිය දිනූ කතුන්

“පෘතුගීසිකාරයො පිස්සු වැටුණය කියන ජාතියේ කැවුමක් හදන්නයි මට ඕන වුණේ. ඉතින් මම ඒක කළා” – මංජුලා සජීවනී

අපිට වැඩිපුරම කැවුම් මතක් වෙන්නේ අලුත් අවුරුදු කාලෙට විතරක් වුණාට ඒ කාලෙ රජවරු රට රාජ්‍ය අල්ලගන්න යුද්දෙට ගියෙත් කැවුම් මල්ලක් අරගෙනලු. ඔය දුටුගැමුණු රජතුමා එළාර රජතුමා එක්ක විජිතපුර සටනට යද්දි ලොකු කැවුම් මල්ලකුත් අරගෙන ගියා කියලා කතාවක් තියනවනේ. එහෙම අරන් ගියා කියන්නේ සටන අතරතුරේ කාටහරි තුවාල වුණොත් කැවුමක් තුවාලෙට තියලා බඳින්නලු. මොකද කැවුම්වලට තුවාල සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙන බව ඒ කාලෙ පටන් අපේ පැරැන්නෝ දැනගෙන ඉඳලා. 

එහෙම බලද්දී කැවුම්වලට තියෙන ඉතිහාස කතාව බොහොම පරණයි. අද අපි දන්නේ කැවුම් වර්ග පහ හයක් වුණාට ඒ කාලේ කොණ්ඩ කැවුම්, හැඳි කැවුම්, මුං කැවුම්, උළුඳු කැවුම්, උටුපු කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී වශයෙන් කැවුම් වර්ග 18ක් තිබුණා කියලයි සද්ධර්මරත්නාවලියේ සඳහන් වෙන්නේ.

ඒ කාලෙ රජු බැහැදකින්න එන අයගේ අතෙත් කැවුම් මල්ලක් වැරදුනේ නෑ කියනවනේ. එහෙම බලද්දී කැවුම් කියන්නේ අතීතයේ රාජ්‍ය වටිනාකමක් තිබුණු රසකැවිල්ලක්. හැබැයි රජෝ ඉස්සර කැවුම් උයලා තියෙන්නේ අද වගේ හාල්පිටියි, සීනියි, පැණියි දාලා නෙවෙයි. ඒ වෙනුවෙන් ගත්තේ ඉස්තරම්ම කිතුල් පිටි, සුවඳැල් සහල්, කිතුල් පැණි වගේ දේවල්ලු. ඒක හින්ද අද අපි කන කැවුම්වලට වඩා ඒ කැවුම් රසයෙනුත් වෙනස් වෙන්න ඇති. ඒකනේ පෘතුගීසින් ලංකාවට ආවට පස්සේ අපේ කැවුමට සෑහෙන්න වහවැටුණා කියලා කියන්නේ.

ඉතින් අලුත් අවුරුදු කාලේ අර කියපු පරණ තාලෙට කැවුම් හදන කාන්තාවක් අපට මුණගැහුනා. ඇය තමයි ‘කැවුම’ රසකැවිලි ආයතනයේ හිමිකාරිනී මංජුලා සජීවනී.

මේ රසකැවිලි වැඩේට අත ගහද්දි මංජුලාට ඕනෑ වුණේ අර පෘතුගීසිකාරයො වහ වැටුනාය කියන ජාතියේ කැවුමක් හදන්නලු. 

“ඇත්තටම මට ඕනවුණේ අර රජකාලේ තිබුණයි කියන, රජවරු ආසාවෙන් කෑවයි කියන, අපේ රටට ආපු පෘතුගීසි රසයට පිස්සු වැටුණා කියන කැවුම හදන්න. හැබැයි ඒක ලේසි වැඩක් වුණේ නෑ. මට ඒ කැවුම හදන්න කලින් ඒ ගැන එක්තරා විදියකට පර්යේෂණයක් කරන්න වුණා කිව්වොත් හරි.”

දේශීය රස කැවිලි ගැන ලියැවුණු පැරණි පොතපත කියවලා ප්‍රමාණවත් නොවුණු තැන ඇය ඒ රසකැවිලි වෙනුවෙන් එදා රටේ ප්‍රසිද්ධවෙලා තිබුණු ගම්බිම්වලට පවා ගිහින්. ඔය අතරේ තමා ඇයට සිංහරාජ වනාන්තරය පැත්තේ ජීවත්වුණු සිංහල වෙදමහත්තයෙක් මුණගැහිලා තියෙන්නේ. වාසනාවකට වගේ මංජුලාට දැනගන්න ඕන වුණු හැම කරුණක්ම වගේ ඔහුගේ මතකයේ තිබුණාලු.

“ඒ වෙදමහත්තයා මට හරියට කැවුම් හදන හැටි ඉගැන්වුවා. ඒ කියපු විදියට කැවුම් හදන්න හාල්පිටි ගන්නේ නෑ. කැවුම බදින්න ගන්නෙත් පොල්තෙල් නෙවෙයි. ඔහු කියපු දේවල් එක්ක අපි කැවුම් කියලා කන්නේ මොනවද කියලා මට හිතුණා. පස්සේ මං ගෙදර ඇවිදින් ඒ කියපු විදියට කැවුම් හදලා බැලුවා. දෙවියනේ… ඒක දිව්‍යලෝක රහයි. හැබැයි ඒකට ගන්න දේවල් එක්ක බැලුවම ඒ කැවුම් විකුණන්න බෑ. මොකද ඒ විදියට හැදුවම එක කැවුමක් රුපියල් පන්සීයකටත් එහා වටිනවා.”

එහෙමයි කියලා ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න මංජුලාට හිතිලා නෑ. ඒක නිසා ඇය ඒ වෙදමහත්තයා කීව විදියට වෙනත් කැවුම් වර්ග කීපයක්ම අත්හදා බලලා. ඒ අතරේ මිනිස්සුන්ට සාධාරණ මිලකට දෙන්න පුළුවන් කැවුම් වර්ග කීපයකුත් තිබිලා. ඒ සුවදැල් සහල් කොටලා අරන් හදන සුවඳැල් කොණ්ඩ කැවුම සහ කුරක්කන් පිටියෙන් හදන කුරක්කම් කොණ්ඩ කැවුම. ඒ අතරේ ඇය අනෙක් රසකැවිලිත් හදන්න පටන් අරන්. ඇය මේ සියලු දේ කරන්න පටන් ගත්තේ ඒ සඳහා කිසිම පසුබිමක් ඇති කෙනෙක් විදියට නම් නෙවෙයි. මේ කියන අමෘත රස කැවුම වගේම අපි මංජුලාත් විශේෂ කෙනෙක් විදියට දකින්න ඒකයි.  

“මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරපු කෙනෙක්. දවසෙන් වැඩි කාලයක් කැප කළේ ඒ වෙනුවෙන්. මට දුවල තුන්දෙනෙක් ඉන්නවා. රැකියාවත් එක්ක මට තේරුනා මගේ දරුවෝ වෙනුවෙන් මං වෙන්කරන කාලය මදි කියලා. මොකද ඒ වෙනකොට දරුවො වැඩි කාලයක් හිටියේ ආච්චී සීයා එක්ක. අපේ අම්මලා තාත්තලා වැඩිපුර කරන්නේ රූපවාහිනයේ ටෙලිනාට්‍ය වගේ දේවල් බලන එකනේ. හැබැයි එයාල එක්ක ඉන්න ගමන් දරුවොත් ඒ විදියට හැඩ ගැහෙනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා දෙපාරක් නොහිතා මං රැකියාවෙන් අයින් වුණා. ඊටපස්සේ ගෙදර ඉන්නකොට හස්බන්ඩ් යෝජනාවක් කළා මම දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක රසකැවිලි වගේ දෙයක් හදලා විකුණමු කියලා.”

රසකැවිලි ගත්තම වෙළඳපොළේ නොයෙක් ජාතියේ රසකැවිලි විකුණන්න තියෙන නිසා මංජුලාට හිතුණලු රසකැවිලි හදලා හරියන්නේ නෑ වෙන දෙයක් කරමු කියලා. නමුත් ඇගේ සැමියාගේ යෝජනාව වෙලා තියෙන්නේ අපේ දේශීය රසකැවිලි පැරණි රසයෙන් සහ ප්‍රමිතියෙන් යුක්තව හදමු කියන එක. 

“මුලින් මං ස්වයං රැකියාවක් විදියට ඒක කරගෙන ගියා. ඒක හිතුවට වඩා සාර්ථකත් වුණා. පස්සේ 2017 අවුරුද්දේ නොවැම්බර්වල මං ඒක ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කළා. ඒ ‘කැවුම’ කියන නමින්. දේශීය රසකැවිලි හැමඑකක්ම වගේ නිවැරදිම අමුද්‍රව්‍ය දාලා සැබෑ රසය එන්න ප්‍රමිතියට හැදුවා. ඊළඟ ප්‍රශ්නය වුණේ කැවුමට වෙළඳපොළක් හදාගන්න එක. මට ඒකට කොළඹ ගුඩ් මාකට් එක හරහා ඉඩක් ලැබුණා. ඒ අතරවාරයේ සමාජමාධ්‍යවලිනුත් කැවුම රසකැවිලි මිනිසුන් අතරට අරන් යන්න අපි කටයුතු කළා.”

කැවුමේ හදන හැම රසකැවිල්ලම හැදෙන්නේ මංජුලාගේ අතින්. ඒ ඇගේ ගෙදරමයි. මුල් දවස්වල ඕඩර් ආවම විශාල රසකැවිලි ප්‍රමාණයක් එකවර හදන එක අභියෝගයක් වුණත් මංජුලා ඒ අභියෝගය බාරඅරන්. හැබැයි වැඩේ අමාරු වුණත් ප්‍රමිතිය නම් බාලවෙන්න දෙන්නේ නෑ කියලයි ඇය අපිත් එක්ක කිව්වේ.

“අපි හිතමු කොණ්ඩ කැවුම් 1000ක් හදනවා කියලා. ඒ හදද්දි ප‍ළවැනි කැවුම, 500 වැනි කැවුම වගේම 1000 වැනි කැවුමත් රසෙන් එක සමාන වෙන්න ඕනේ. ඒ රසේ වෙනසක් වෙයි කියන බයටයි කාටවත් නොදී මමම තනියම රසකැවිලි හදන්නේ. මං හරියට රසකැවිලි හදන නිසා ඒවා ටිකක් මිලෙන් වැඩියි. ඉතින් සමහරු කියනවා ඔය මොනවා හරි ලාබෙට තියෙන දෙයක් දාලා අඩුවට දෙන්න කියලා. ඒත් මං ඒ වැඩේ කරන්නේ නෑ.”

මේ වෙනකොට මංජුලාගේ කැවුම රසකැවිලිවලට ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවලු. තරුපහේ හෝටල්වලින් වගේම ලොකු ලොකු ආයතනවලිනුත් ඇයට ඕඩර්ස් එනවලු. ඒ වගේම විදෙස් රටවලිනුත් ඕඩර්ස් එනවලු. නමුත් ඇය කලින් සඳහන් කරපු විදියට රැකියාවෙන් අයින්වුණේ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්න නම් මෙච්චර වැඩ ගොඩක් අස්සෙ කොහොමද ඒකට කාලය හොයාගන්නේ? අපේ ඒ පැනයට ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්

“මං මූලිකව දැන් රසකැවිලි හදන්නේ ජනවාරි 01 ඉලක්ක කරලා දෙසැම්බර් අවසාන සතියෙයි සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරලා අප්‍රේල් මාසේ පළවැනි සති දෙකෙයි විතරයි. ඉතින් ඕන තරම් දරුවොත් එක්ක ඉන්න මට කාලේ තියෙනවා. මෙහෙම හිතන්න. මං ජොබ් එක කරන කාලේ මාසෙට ගත්තේ 50000යි කියමුකෝ. ඒ කියන්නේ මට මුළු අවුරුද්දටම ලැබෙන්නේ ලක්ෂ හයයි. ඒ වුණාට අර සති තුන ඇතුළේ මං ඒ වගේ හතර ගුණයක් විතර හොයනවා.”

 

*එතකොට ඒ අතරතුර කාලේ ඕඩර්ස් එන්නේ නැද්ද?

“ඒ කාලෙට ඕඩර්ස් එන්නත් පුළුවන්. ඒ වගේම නැතිවෙන්නත් පුළුවන්. ඒත් අර කාලෙට ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරම් ඕඩර්ස් එනවා. ඒ සතිවල මට නිදාගන්න වෙලාවක් නැති තරම්. ඒකට හේතුව මං කිසිම රසකැවිල්ලක් ගබඩා කරලා තියාගෙන නෑ. ඕඩර් එක දෙන්න දවස් දෙකකට කලින් තමයි ඒවා හදන්නේ.”

සීදූවේ ඉන්න මංජුලාගේ වයස අවුරුදු 36යි. අවුරුදු 26න් පටන්ගත්ත ඇගේ රසකැවිලි ව්‍යාපාරයට දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ කාලයේ ඇය කොයිතරම් සාර්ථක වෙලාද කියලා ඇගේ කතාව කියවද්දි ඔබට තේරුම් යයි. එදා ඇය සාමාන්‍ය විදියට රසකැවිලි හදලා කඩවලට අලෙවි කළා නම් අදටත් ඇය ගමේ ගොඩේ කියන විදියට කඩයප්පන් හදන කාන්තාවක්. හැබැයි එතැනින් ඇය වෙනස්වුණු නිසා දැන් මංජුලා කියන්නේ උසස් රසකැවිලි ව්‍යාපාරයක සාඩම්බර හිමිකාරිනියක්. ඉතින් ලොකු පොඩි කාට වුණත් ජීවිතේට වැදගත් කියලා හිතලා ඇගේ ඒ සාර්ථකත්වය ගැන අහලම අපි මංජුලාට සමුදුන්නා.

“මුලින්ම කියන්න ඕනේ අපිට බෑ කියලා දෙයක් නෑ. උත්සාහ කළොත් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් කැපවීම කියන දේ අංක එකට තියෙන්න ඕන. අපි හිතමු ඔයා පොඩියට වඩේ කරත්තයක් කරන්න ගත්තා කියලා. හැබැයි එහෙම දේවල් තව අය කරනවා. ඉතින් ඔයාට ඒ අය අතරින් ඉස්මතුවෙන්න අවශ්‍ය නම් ඒක අලුත් විදියකට කරන්න ඕන. ඒකට කැපවෙන්න ඕනේ. සාර්ථකත්වය කියන දේ ලේසියෙන් ළඟාකරගන්න බෑ. ඒකට කැපකිරීමක් කරන්න ඕනේ. කතාවකුත් තියෙන්නේ සාර්ථකත්වයට ළඟ පාරවල් නෑ කියලා.”

රුවන් එස්.සෙනවිරත්න