විශේෂාංග

අම්මලා කවද්ද ඉල්ලලා පීසා කෑවේ

නෙළුම් පුතාලා එනකම් සාලෙට වෙලා බලාගෙන හිටියා. දරුවෝ මොනතරම් රෑ වුණත් නෙළුම් නෙවෙයි නින්දට යන්නෙ. දරුවෝ ඇවිත් ගේට්ටුවේ බෙල් එක ගහන සද්දේ තමන්ට ඇහෙන්නේ නැතිවෙයි කියලා බයට නෙළුම් හැම රෑම සාලෙට වෙලා, ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නවා.

නෙළුම්ගේ මේ පුරුද්ද ඇති වුණේ නන්දලාල් ජීවත් වෙලා හිටි කාලයේ ඉඳලමයි. කන්තෝරුවේ රස්සාවට ගිහින් නන්දලාල් ගෙදර එනකම් ඇය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒ විතරක්ද පුතා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන වෙලාවටත් නෙළුම් පාර දිහා බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්.

බිරිඳක්, මවක් වුණාම බලාගෙන හිඳීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නෙළුම් ඒක විශ්වාස කළා.

ඉස්සර නම් නන්දලාල් ගෙදරට එනකම්ම නෙළුම් ඉන්නෙ බඩගින්නේ. කොච්චර බඩගිනි වුණත් නෙළුම් නන්දලාල් කාලා ඉවර වෙනකම් අඩුපාඩු බෙදමින් බලාගෙන ඉන්නවා. ඊටත් පස්සෙ නන්දලාල් කාලා ඉවර වුණු පිඟානටම බත් ටිකක් බෙදාගෙන කනවා.

හැබැයි දැන් නම් ගොඩක් වෙලාවට පුතායි, ලේලියි එන්නේ මඟින් කාලා. අම්මා තමන් එනකම් නොකා බලාගෙන ඉන්නවට පුතා කැමති නැති නිසා ඔහු කලින්ම ඒ බව කෝල් කරලා අම්මට කියනවා. කොච්චර කිව්වත් තමන් එන්න කලින් කාලා ඉන්න කියලා, අම්මා කවදාවත් ඒ කීම නොඅසන එකම පුතාගේ හිතට බරක් වෙලා කියලා නෙළුම් දැනගෙන හිටියේ නැහැ.

නන්දලාල් රස්සාවට ගිය කාලේ එහෙම කියන්න ෆෝන් තිබු​ණෙත් නැහැ. ඉතින් කොහේ ගිහින් කීයට එනකම් හරි නෙළුම් බලාගෙන හිටියේ උවැසියක් ගානට.

එදත් නෙළුම්ගේ පුතයි ලේලියි වැඩ ඇරිලා ගෙදර ආවේ ටිකක් රෑ වෙලා.

‘‘පුතාලා කාලා නේද එනවා කිව්වේ?’’ නෙළුම් ඇහුවා.

අඳුරු වැටෙන්න මොහොතකට කලින් පුතා කෝල් කරලා එද්දි රෑ වෙන බවත්, කාලා බේත් බොන්න කියපු බවත් අමතක වෙලා නෙවෙයි ඇය එහෙම ඇහුවේ. වෙනදා පුරුද්දට.

‘‘ඔව් අම්මා. අපි පීසා කාලා ආවේ.’’ ලේලි සාරදා කිව්වා.

‘පීසා’ පුතයි ලේලියි නිතරම වගේ කියන කෑමක්. ඒ දෙන්නා නම් හරිම ආසයි පීසා කන්න. රස කර කර පීසා ගැන කතා වෙන විදිහට නෙළුම්ටත් පීසා කියන්නේ මොන වගේ කෑමක්ද කියලා දැනගන්න ආසයි. ඒත් නෙළුම්ට ඔය වගේ දේවල් ගැන අහලා දරුවන්ට කරදර කරලා පුරුද්දක් නැහැ.

‘‘ආ අම්මා.’’ කවදාවත් නැතුව පුතා තමන්ගේ අතට මොකද්දෝ පෙට්ටියක් දෙද්දි නෙළුම්ගේ හිතට අමුතුම සතුටක් දැනුණා.

‘‘පුතා?’’

‘‘පීසා.’’ පුතා කිව්වේ ඔරලෝසුව අතින් මුදවන ගමන්.

නෙළුම් පරිස්සමට පෙට්ටිය ඇරලා බැලුවේ ඒ අතරේ. ලස්සන පාන් රවුමක් උඩ රස පාටට මස්, චීස්, තක්කාලි අතුරලා තියෙන මේ අමුතු කෑමේ සුවඳට නෙළුම්ගේ කටට කෙලත් උනාගෙන ආවා.

පුතාලට දැන් සල්ලි තිබුණට ඉස්සර නන්දලාල්ට ලොකු ආදායමක් ලැබුණේ නැහැ. ඒ වුණත් ඉඳලා හිටලා කඩෙන් කොත්තුවක් දෙකක් ගේන්න ඔහු අමතක කළේ නැහැ.

‘‘නෙළුම්, අද රෑට කන්න කොත්තු දෙකක් ගේන්නද?’’ ඒ දවස්වල නන්දලාල් එහෙම අහද්දි නෙළුම් හැමදාම දුන්නේ එකම උත්තරේ.

‘‘අනේ ඕනෙ නැහැ මහත්තයා. පුතාටයි, මහත්තයටයි විතරක් එකක් ගේන්න. මම ඔය කඩ කෑමවලට ආස නැහැනේ. දවල් ඉතුරු බතුත් තියෙනවා.’’

ඒ විතරක්ද?

‘‘නෙළුම්, අලුතින් ඇඳුමක් ගමුද?’’ කියලා නන්දලාල් අහද්දිත් නෙළුම් ගොඩක් වෙලාවට ඒක ප්‍රතික්ෂේප කළා.

‘‘අනේ මේ ගෙදර ඉන්න මට මොන අලුත් ඇඳුම්ද? මහත්තයා ඕකෙන් වැඩට යන්න කමිසයක් ගන්න.’’ ඇය කියනවා.

අලුත් අවුරුද්දට නෑයන්ගෙන් හම්බුණු චීත්ත රෙදි මූට්ටු කරලා ගෙදරදීම ඇඳුමක් දෙකක් මහ ගන්නවා මිසක් නෙළුම් කවදාවත් කඩෙන් අලුත් ඇඳුමක් ගත්තේ නැහැ. නෙළුම් හැමදාමත් නන්දලාල් ඉස්සරහ රඟපෑවේ කඩේ තියෙන විච්චූරණ ඇඳුම් අඳින්නේ නැති, ගෙදරදීම ඇඳුම් මහගන්න කැමති කෙනෙක් විදිහට.

ඒ අසීරු කාලය මතක් වෙද්දි නෙළුම්ට දැනුණේ ආඩම්බරය මුසු සතුටක්. හොඳ බිරිඳක් වුණාම ස්වාමියාගේ අඟහිඟකම් තේරුම් ගන්න ඕනෙ. පවුල වෙනුවෙන් කැපවීම් කරන්න ඕනෙ. තමන් ඒ යුතුකම අකුරටම ඉශ්ඨ කළ කෙනෙක්.

අද දරුවෝ මේ තරම් හොඳ තැනක ඉන්නේ ඒ නිසා. නන්දලාල්ගේ මහන්සියත්, තමන්ගේ කැපකිරීමුත් නිසා දරුවන්ගේ ජීවිත ලස්සන වුණා කියලා නෙළුම් කවදත් විශ්වාස කළා.

පීසා එක දිහා බලාගෙන නෙළුම් කල්පනා කළේ ඒ අසීරු අතීතයට වඩා මේ සුවපහසු වේගෙන එන වර්තමානය මොනතරම් රසවත්ද කියලා. මෙච්චර කාලයකට නම් පුතාටවත් ලේලිටවත් මේ වගේ කෑම තමන්ට ගේන්න මතක් නොවුණු බව නෙළුම් දන්නවා. ඒත් අද ඉඳන් හැමදේම වෙනස් වෙන හැඩයි.

පුතයි ලේලියි ගිහින් බර ගාණක් වියදම් කරලා අලුත් ඇඳුම් ගන්න අතරේ තමන්ට චීත්ත රෙද්දක් ගෙනත් දෙන්නේ ලෝබකමට නෙවෙයි කියලා නෙළුම් දැනගෙන හිටියා. පුතා තාමත් හිතන් ඉන්නේ අම්මා කැමති චීත්ත ඇඳුම්වලට කියලා.

‘‘අම්මා ඕක ෆ්‍රිජ් එකේ දාලා අරන් තියන්න. කාගන්න බැරුව ඉතුරු වුණා. අපි හෙට උදේට රත් කරලා කන්නම්.’’ ඊළඟ මොහොතේ පුතා කියද්දි නෙළුම් ගැස්සිලා ගියා.

විදුලි සැරයක් වැදුණා වගේ පීසා පෙට්ටියේ ඇරපු පියන වහලා දාපු නෙළුම් ආයාසයෙන් මුවට හිනාවක් අරන් පුතා දිහා බැලුවා.

හැබැයි මේ හැමදේම නෙළුම්ගේ ලේලිගේ උකුසු ඇසට අහුවෙලා තිබුණා.

‘‘දසුන්, අම්මට ඒ ඉතුරු පීසා කෑලි දෙක තුන කන්න කිව්වොත් මොකද?’’ සාරදා දසුන්ට කිව්වේ ඒ නිසාමයි.

‘‘පිස්සුද සාරදා? අපේ අම්මා ඔය විච්චූරණ කෑම කන කෙනෙක් නෙවෙයි. ඒ කාලේ ඉඳන්ම අම්මා කඩ කෑමවලට කැමති නැහැ. ඇඳුමක් වුණත් ගෙදරම මහ ගන්නවා මිසක් කඩෙන් ගන්න කැමති කෙනෙක් නෙවේ අපේ අම්මා. අපේ පරම්පරාවට වඩා එයාල වෙනස් සාරදා.’’ පිළිතුරු දුන් දසුන් වතුර වීදුරුවක් ගෙන පානය කළා.

පුතා ලේලිට දුන්නු උත්තරේ නෙළුම්ට ඇහුනේ යන්තමට වුණත් එහි අරුත නම් නෙළුම්ට නොවැටහී තිබුණේ නැහැ. පීසා එක ෆ්‍රිජ් එකට දාලා නෙළුම් කල්පනා කළේ ඇත්තටම වරද කාගෙද කියලා.

කසාද බැඳපු දවස්වල ඉඳන්ම නෙළුම් හිතුවේ තමන්ගේ සැමියා වුණු නන්දලාල්ට කරදරයක් නොවී ඉන්න. ඒ කඩ කෑම, කඩේ ඇඳුම්වලට පෙන්නපු අකමැත්ත රඟපෑමක් විතරයි කියලා දැනගෙන හිටියේ තමන්ම විතරයිනේ. ඉතින් අදටත් පුතා විශ්වාස කරන්නේ ඒ දේ.

නෙළුම් කල්පනාවට වැටිලා ඉන්න අතරේ ඇගේ ලේලිය ඇවිත් ශීතකරණය විවෘත කරලා පීසා පෙට්ටිය එළියට ගත්තා.

‘‘කාලා ආවට මොකද මට ආයේ බඩගිනි වගේ අම්මා. මේවා හරි රසයි. මාත් එක්ක කෑල්ලක් කමු. මම රත් කරලා ගන්නම්.’’ ඇය ඇහුවා.

‘‘ම්ම්ම්හා දුවේ. එහෙනම් මම තේ ටිකක් හදන්නද අපි දෙන්නට?’’ නෙළුම් අහද්දි දෙබස අහගෙන හිටිය පුතාගේ ඇස්වලට කඳුළු පිරුණා.

‘‘දෙවියනේ.. ඒ කියන්නේ කඩ කෑම කන්න අම්මගේ අකමැත්තක් නෑ. මට අම්මව මෙච්චර කාලෙකට තේරුම් ගන්න බැරි වුණානේ. හෙටත් අම්මට රස කෑම කඩේකින් කෑම එකක් ගෙනත් දෙන්න ඕනෙ. පව් දෙවියනේ මගේ අම්මා.’’ ඔහු කල්පනා කළා.

සමාධි ඩයස්