සුව දිවිය

දෙමව්පියෝ සිල් බිඳගත්තම දරුවන්ගෙ ඇස් අන්ධ වෙන්න පුළුවන්ද?

අනෝමාත් සමනුත් විවාහ වුණේ පෙම් සබඳතාවයකින්. විවාහ වෙලා ටික කාලෙකින් දරු පැටියෙකුගේ මූණ බලන එකයි හැම ගැහැනියකගේම ප්‍රාර්ථනාව. විවාහයෙන් වසර දෙකක විතර ඉඳලා දරුවෙක් හදන්න උත්සාහ කළත් අනෝමටයි, සමන්ටයි ඒ වාසනාව උදාවු‍​ණේ නැහැ. ඔය විදියට වසර හය හතක්ම ගතවෙලා ගියා. ඒ කාලේ ඇතුළත අනෝමායි සමනුයි නොගිය රෝහලක්, දේවාලයක්, පන්සලක් නැති තරම්.

දරුවන් සම්බන්ධ ගැටලුව තිබුණේ අනෝමාට කියලා දැනගත්තු දවසේ ඉඳලා සමන් අනෝමාට ඇණුම්පද කියන්න විතරක් නෙවේ ටිකෙන් ටික ඇගෙන් ඈත් වෙන්නත් පටන්ගත්තා. කොහොමින් කොහොමහරි කරපු ප්‍රතිකාරවල පිහිටෙන් තවත් අවුරුද්දක් විතර යද්දී අනෝමා අම්මා කෙනෙක් වෙන ලක්ෂණ පෙන්නුම් කළා. ඊටපස්සේ සමනුත් ඉස්සර වගේම ආයෙත් ඇයට ආදරෙන් ළංවුණා.

දරුවා ලැබෙන්න ඉඳපු මාස නවයේ දරුවව පරිස්සම් කරගන්න මේ දෙපළ නොසෑහෙන්න වෙහෙසුණා. අන්තිමට අනෝමට පුතෙක් ලැබුණා. හැබැයි දරුවා ලැබුණු වෙලාවේ දැනුණ සතුට වැඩි වෙලාවක් යනකල් ​අනෝමාගේ හිතේ රැඳුණේ නැහැ.

‘‘අනේ මගේ දරුවගෙ ඇස්වලට මොකක්ද වෙලා ඩොක්ටර්…’’

පුංචි පුතාගේ ඇස්වලින් සැරව පාට ස්‍රාවයක් ගලන බව අනෝමා දැක්කේ අහම්බෙන්. ඒ වෙලාවෙම පුංචි පුතාව පරීක්ෂණවලට යොමු කරන්න වෛද්‍යවරු කටයුතු කළා.

දරුවට ගොනොරියාව කියන ලිංගාශ්‍රිත රෝගය සම්ප්‍රේෂණය වෙලා කියලා වෛද්‍ය පරීක්ෂණවලින් සොයාගත්තා. ඉපදිලා පළමු දවසෙම මේක දැනගත්තු හින්දා පුංචි පුතාට ගැටලුවක් වුණේ නැහැ. හැබැයි දවස් පහ හයක් ගත වුණානම් දරුවා සදාකාලිකව අන්ධභාවයට පත්වෙන්න වුණත් ඉඩ තිබුණා කියලා වෛද්‍යවරු අනෝමාට කිව්වා. ඊටපස්සෙ අනෝමවයි, සමන්වයි ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු කරන්න වෛද්‍යවරු කටයුතු කළා. එතැනදි තමයි මට අනෝමාව මුණගැහුණේ.

විවාහයට පෙරවත් පසුවත් අනෝමා වෙනත් පුද්ගලයන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වලා තිබුණේ නැහැ. ඉතින් රෝගය මුලින්ම බෝවෙලා තියෙන්නේ සමන්ට.

දරුවන් සම්බන්ධයෙන් බිරිඳට ගැටලුවක් තියෙනවා කියලා දැනගත්තු හැටියේ තමන් කාලයක් ඉඳලා දන්න හඳුනන කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන තරමට දුරදිග ගිය සම්බන්ධයක් ඇති කරගන්න සමන් ඉස්සර වෙලා තිබුණා. සමන්ට ගොනොරියා රෝගය සම්ප්‍රේෂණය වෙලා තිබුණෙ ඇගෙන්. පස්සේ අනෝමාටත් මේ රෝගය බෝවෙලා. හැබැයි මේ දෙන්නගෙන් එක් අයෙකුටවත් ​රෝග ලක්ෂණ ඇතිවෙලා නැහැ.

Neisseria Gonorrhoeae කියන බැක්ටීරියාව තමයි අපි මේ කතා කරන ගොනොරියාව ඇති කරන්නේ. අපි සුදු බිංදුම කියලා කියන්නෙත් මේ ලෙඩේටම තමයි. මේ වෙනකොට මේක තරමක් සුලබ ලිංගාශ්‍රිත රෝගයක් බවට පත්වෙලා තියෙනවා.

රෝගය වැළඳෙන කාන්තාවන් 90%කටම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. රෝග ලක්ෂණ පෙන්වන්නේ 10%කට වගේ සුළු පිරිසකට විතරයි. හැබැයි පුරුෂ පාර්ශවයේ තත්ත්වය වෙනස්. පුරුෂයින්ගේ 90%කටම රෝග ලක්ෂණ පෙන්වනවා.

රෝග ලක්ෂණ මතුවුණේ නැහැයි කියලා සංකූලතා නැතිවෙන්නේ නැහැ. නොදැනුවත්කම නිසා කාලයත් එක්ක සංකූලතාත් අයහපත් අතට හැරෙනවා. ඒවගේම ඒ කෙනාගෙන් රෝගය අනිත් අයට බෝවෙන්න ඉඩ තියෙනවා.

මේ බැක්ටීරියාව ආසාදනය කරන්නේ ලිංගාශ්‍රිත පෙදෙස, උගුර නැතිනම් ගුද මාර්ගය. පවත්වන සම්බන්ධතාවයට අනුව ඒ ප්‍රදේශ ආසාදනය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ආසාදිත පුද්ගලයෙක් එක්ක මුඛ සංසර්ගයක් පැවැත්වුවොත් ආසාදනය ඇතිවෙන්නේ උගුර ප්‍රදේශයේ. පසුව එය ශරීරයේ වෙනත් ස්ථානවලට පැතිරෙන්න පුළුවන්. මුඛ සංසර්ගයෙන් ගොනොරියා රෝගයට ගොදුර වීමේ අවධානම වැඩිවෙමින් පවතිනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.

බොහෝදෙනෙක්ට මෙහි රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියලා අපි කිව්වනේ. ඉතින් රෝග ලක්ෂණ ඇතිවෙන කෙනෙක්ට පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද කියන එකත් අපි දැන් බලමු.

ආසාදිත පුද්ගලයෙකු සමඟ අනාරක්ෂිත සම්බන්ධයක් පවත්වලා දින 2-7ක් යද්දී උගුරේ, යෝනි මාර්ගයේ නැතිනම් ගුද මාර්ගයේ තදබල වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වේදනාව ගනන් නොගෙන හිටියොත් කාලයත් එක්ක බැක්ටීරියාව ගැබ්ගෙළ ආසාධනය කරනවා. ඊටපස්සේ ඊට ඉහළින් තිබෙන පැලෝපීය නාල, ඩිම්බකෝෂ, ශ්‍රෝණිය වගේ මේ සියලුම කොටස් ආසාදනයට ලක්වෙනවා. මේ කිව් කොටස් ආසාධනය ලක්වෙද්දී යටි බඩේ දරුණු වේදනාව, සංසර්ගයේදී වේදනාවක් ඇතිවීම, මුත්‍රා දැවිල්ල, අසාමාන්‍ය ​යෝනි ස්‍රාවයන් පිටවීම වගේ ලක්ෂණ ඇතිවෙනවා.

අපි ඔය ඉහතින් කිව් අවයව කාන්තාවකගේ ප්‍රජනන කටයුත්තට ඍජුවම දායකවෙන කොටස්. ඉතින් මේ කොටස් දරුණු ලෙස ආසාදනය වීමේ අවසාන ප්‍රතිඵලය විදියට ඇය වඳභාවයට පත්වෙන්න ඉඩ තියෙනවා.

ඒ වගේම ගොනොරියාව ඇති මවක් ස්වභාවික විදියට දරු උපතක් සිදුකරද්දී ඇයගේ යෝනි මාර්ගයෙන් ස්‍රාවය වෙන ස්‍රාවයන් දරුවගේ ඇස්වල ස්පර්ශ වුණොත් මේ කතාවේ අනෝමාගේ දරුවට මතුවුණා වගේ ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මවගෙන් දරුවාට මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා.

ලිංගික සහකරුවන් කිහිපදෙනෙක් ඇසුරු කරන ඒ වගේම නිතර නිතර ලිංගික සහකරුවන් මාරු කරන අයට මේ රෝගය වැළඳෙන්න තියෙන අවධානම වැඩියි. ඉතින් විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට සීමාවෙන එක තමයි හොඳම දේ. එහෙමත් නැතිනම් අනාරක්ෂිත සබඳතාවයකදී කොණ්ඩමයක් පළඳින එක වැදගත්.

ඒ වගේම අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පස්සේ ‘රෝග ලක්ෂණ නැහැනේ ඒ කියන්නේ මට ලෙඩක් නැහැ’ කියලා හිතන එක නුවණට හුරු නැහැ. එවැනි අවධානම් චර්යාවකට පසු ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවක් සිදුකරගැනීම ඉතාම වැදගත්.

මුත්‍රා සාම්පල, යෝනි මාර්ගයෙන් හෝ උගුරෙන් ලබාගන්නා නියැදි මගින් ගොනොරියාව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ගොනොරියාව කියන්නේ ඉතා පහසුවෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් ලෙඩක්. ඉතින් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන තැනට දිග්ගස්සගන්න අවශ්‍ය නැහැ කියන එකයි මට කියන්න ඕනේ.

ප්‍රගීත් ප්‍රේමදාස

ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි