සුව දිවිය

ඔමික්‍රෝන්ද? අයියෝ ඒක මේ පොඩි හෙම්බිරිස්සාවක්නේ….

සඳමිණීගේ පුංචි පුතාට තාම මාස හයයි. හැමතැනම කොවිඩ් නිසා පුංචි පුතාව මලක් වගේ ආරක්ෂා කරගන්න ඇය නිතර වෙහෙසුණා. සඳමිණීගේ ගෙදරට එහා ගෙදර මැගිලින්ලා ගිය සතියේ දුර ට්‍රිප් එකක් ගිහිල්ලා. ඔන්න ඊට පහුවෙනිදම මැගිලින් සඳමිණීලගේ ගෙදරට ආවේ ලොකු දොදොල් පලුවකුත් අරගෙන.

‘‘ශෝක් ට්‍රිප් එක නංගියේ…. අපි ඊයේ රෑ ආවේ. කෝ බබා නිදිද?’’

කොවිඩ් අවදානම එන්න එන්නම වැඩිවෙන මොහොතක මැගිලින්ගේ මේ හැසිරීම ගැන සඳමිණිගේ හිතේ නම් පැහැදීමක් තිබුණේම නෑ.

‘‘අක්කේ මේ දවස්වල ට්‍රිප් යන එකයි, ගෙවල්වලට යන එකයි නම් ඒ තරම් හොඳ දෙයක් නෙවේ. දැන් ගොඩක් දෙනෙකුට තියෙන්නේ අර ඔමික්‍රෝන් කියන කොවිඩ් ප්‍ර​‍භේදයලු…’’

‘‘ඔමික්‍රෝන්දඅයියෝ ඒකට බයවෙන්න දෙයක් නෑඒක ඔය සාමාන්‍ය හෙම්බිරිස්සාවක්ලු.’’

මැගිලින්ට දෙයක් පැහැදිලි කරනවාට වඩා කට බිම උලාගන්න එක හොඳයි කියලා හිතුව සඳමිණී අකමැත්ත පෙන්නලා කොහොමහරි ඇයව ගෙදරින් යවාගත්තා.

මැගිලින්ට විතරක් නෙවේ කොරෝනා කියන ලෙඩේ භයානකකම ගැන දැන් අපේ රටේ බහුතරයකටම අමතක වෙලා. ඒ නිසා ඔමික්‍රෝන්වලට බය වෙන්න දෙයක් නෑ කියලා තමයි හැමෝම කතා වෙන්නේ. ඇත්තටම ඔමික්‍රෝන්වලට බයවෙන්න ඕනෙද නැද්ද කියන කාරණාව ගැන දැනගන්න අපි කන්තලේ මූලික රෝහ​ලේ වෛද්‍ය වෙනුර ජයවර්ධන මහතාට කතා කළා. මේ ඒ සංවාදයේ සටහනයි.

‘‘කොවිඩ්-19 වසංගතය තවම අවසන් නැහැ. මේ වෙනකොටත් සෑම දවසකම ලෝකය දසදෙසින් ආසාදිතයන් ලක්ෂ දහයක් පමණ හමුවෙනවා. ඒ වගේම මරණ 5000-10000 අතර ප්‍රමාණයක් සෑම දිනකම වාර්තා වෙනවා.

ගිය මාසේ අපේ රටේ ආසාදිතයන් අඩු වුණා. ඒත් අලුත් අවුරුද්දෙන් පස්සේ ආසාදිතයන් 40%කින් විතර වර්ධනය වෙලා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ප්‍රමාණයත් වැඩියි. ඒ ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් ආසාදිතයන්. ඒකෙන් අදහස් වෙන්නේ දැන් ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් කියන එකයි.

ගොඩක් අය සෙල්ලමට ගත්තට ඔමික්‍රෝන් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ශ්වසන පද්ධතියේ උඩ කොටසේ තමයි මේ වෛරසය පැතිරෙන්නේ. ඒ නිසා රෝගියෙක්ගෙන් තවත් කෙනෙක්ට ඉතා වේගයෙන් මේ වෛරසය බෝ වෙනවා. ඒ වගේම ඩෙල්ටා වගේ හතර ගුණයක වේගයෙන් ඔමික්‍රෝන් වෛරසය පැතිරෙනවා.

අනික මේකට ඩෙල්ටා වෛරස් එකට වඩා වැඩි වේලාවක් සමේ සහ මතුපිට පෘෂ්ඨවල සජීවීව පැවතීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් නිපදවන ප්‍රතිදේහවලට හසුනොවී ඒවා මගහැරලා යන්න පුළුවන් විශේෂ හැකියාවකුත් මේ ඔමික්‍රොන් වෛරසයට තියෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.

එන්නත් තුනම ගහලා නැති කෙනෙක්ට ඔමික්‍රෝන් හැදුනොත් රෝහල්ගත වෙන්න තියෙන අවධානම සහ කොවිඩ් සංකූලතා වැඩිවීමේ ඉඩ වැඩියි. ඒ වගේම රෝගය සුව වූ පසුවත් දීර්ඝකාලීන හතිය, මහන්සිය, හෘදයාබාධ, අංශබාගය, ලේ කැටි ගැසීම වගේ පශ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

හැබැයි එන්නත් තුනම ලබාගත් අයෙක් නම් තත්ත්වය වෙනස්. එන්නත් තුනම ලබාගත් අයෙකුටත් ඔමික්‍රෝන් හැදෙන්නේ නැහැ කියන්න බැහැ. ප්‍රතිශක්ති පද්ධතිය මගහැර යාමේ හැකියාව නිසා ඕනම කෙනෙක්ට ඔමික්‍රොන් හැදෙන්න පුළුවන්. ඔවුන්ට වියළි කැස්ස, කිවිසුම් යෑම, ශරීර තෙහෙට්ටුව, සාමාන්‍ය හුස්ම ගැනී‍ම් අපහසුතා වගේ සාමාන්‍ය ලක්ෂණ ඇතිවෙනවා. හැබැයි එන්නත්වල බලපෑම නිසා දවස් 3-5 අතර කාලයකින් ඔවුන්ගේ රෝග ලක්ෂණ අඩුවෙලා යනවා. ඒ වගේම ඒ අයට පශ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවෙන්න තියෙන අවධානමත් ඉතාම අවමයි.

ඉතින් හොඳම දේ තමයි එන්නත් ත්‍රිත්වය නිසි ලෙස සම්පූර්ණ කරන එක. අවුරුදු 60ට වැඩි උදවිය, ප්‍රතිශක්තිය දුර්වල අය, දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග තිබෙන අය සහ ගර්භනී මව්වරුන් එන්නත් ලබාගැනීම හරිම වැදගත්. මොකද ඒ කාණ්ඩවල අයට ඔමික්‍රෝන් සංකූලතා වැඩිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

කොවිඩ් එන්නත්වලින් සහ බූස්ටර් එන්නතෙන් විවිධ අතුරු ආබාධ ඇතිවෙනවා, ඒවා මාධ්‍යයට කියන්නේ නැහැ’ කියලා සමාජ මාධ්‍යවල මත පලවෙනවා මම දැක්කා. ඒ කතා බොරු. කිසිම විද්‍යාත්මක පදනමක් නැති මේ වගේ දුර්මත පැතිරවීම නිසා සමහරු එන්නත් ලබාගන්න බයයි.

එන්නත් ගත්තහම ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධවලට වඩා එන්නත් ලබානොගෙන ඉඳලා කොවිඩ් හැදුනම එන අතුරුඵල ඉහළයි. ඉතින් එන්නත් ගහලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්වත් ළඟම ඇති රෝහලට ගිහිල්ලා එන්නත් ලබාගන්න. නැවතත් කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීගෙන එන මේ මොහොතේ ‘කොවිඩ් ඉවරයි, ඔමික්‍රෝන්වලට බයවෙන්න ඕනේ නෑ’ කියලා හිත හිත ඉන්නේ නැතුව සෑමවිටම සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. එතකොට රටක් විදියට අපිට ඉක්මනටම මේ වෛරසය පරාජය කරන්න පුළුවන් වෙයි.’’

වෙනුර ජයවර්ධන

කායික රෝග විශේෂඥ වෛද්‍ය (වැඩ බලන)

මූලික රෝහල කන්තලේ

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි