විශේෂාංග

හාම්පුතුට හොරෙන් කැළණි ගඟේ පීනන බෙන්

‘‘ගඟට පැන්නම ‘බෙන්’ කාටවත් අල්ලන්න බැරි වේගෙකින් වතුරෙ පීනගෙන පහළට යනවා. අපිත් එතකොට බෙන් බෙන් කියලා කෑගගහ මෙගොඩින් ගඟ දිගේ යනවා. එයා අපිව තඹේකට ගණන්ගන්නෙ නැතුව කිලෝමීටර් ගණන් පීනනවා. අන්තිමට ගොඩට ගන්නෙ ඒ පැත්තෙ ඉන්න පිහිණුම් ශිල්පීන්ගෙ හරි පොලිස් ජීවිතාරක්ෂක බෝට්ටුවේ හරි උදව්වෙන්. ඊටපස්සෙ කඹ දාලා ගාඩ් කරගෙන ගෙදර ගේනවා. එතකොට ඉතින් සුපර් ස්ටාර් දිනලා සුපිරි තරුව ගමට එනවා වගේ තමයි. වටේ පිටේ මිනිස්සු එයා එන හැටි පාර අයිනට වෙලා බලන් ඉන්නවා….’’

අර්ජුනී රණතුංග මේ කියන්නේ ඇගේ ගෙදර සිටින දඩබ්බරම බලු පෝතකයා ගැනයි. බෙන්ට වයස අවුරුදු හතරකි. දඩබ්බර වැඩ කළාට බෙන් ලැබ්‍රඩෝ පරම්පරාවට අයත් කෙනෙකි.

‘‘අපේ තාත්තා බෙන්ව ගෙදරට ගෙනාවෙ අවුරුදු එකහමාරෙන්. තාත්තා කතා කරලා ඇහුවා ලැබ්‍රඩෝ වර්ගයේ බල්ලෙක් විකුණන්න දාලා තියෙනවා. එයාව ගන්නද කියලා. එතකොට මම ලංකාවෙ හිටියෙ නෑ. ඉතින් තාත්තා ඒ දැන්වීම දාලා තිබ්බ කෙනාගෙ කඩුවෙල ගෙදරට ගියාම මෙයාව දැක්ක ගමන් තාත්තට ආස හිතුනාලු. අයිතිකාරයා කිව්වලු සල්ලිත් එපා ගෙනියන්න කියලා. හැබැයි තාත්තා සල්ලි දීලා තමයි ගෙනල්ලා තියෙන්නේ.’’
හුරතල් පාටට හිටියාට බෙන් හිතුවක්කාරයෙකු බව දැනගන්නේ ගෙදරට ආ විටය.

‘‘දැක්ක ගමන් ආස හිතිලා ගෙනාවට ඊටපස්සේ තමයි දැනගත්තෙ එයා කොහොම කෙනෙක්ද කියලා. බෙන් කියන්නේ හරිම හිතුවක්කාර දරුවෙක්. කියන දේ චුට්ටක්වත් අහන්නේ නෑ. එයා අකමැති දෙයක් කළොත් පුදුමාකාර විදිහට කේන්ති යනවා. අනික එයා එනකොට කන්න පුරුදු වෙලා හිටියෙ කඩ කෑම. එයාව හදපු කෙනා කඩෙන් කාලා තියෙන්නේ. ඒ හින්දා මුල් දවස්වල කාලා තියෙන්නේ තෝසෙ, පාන්, බනිස් වගේ කෑම. බත් කටේ තියලා නෑ. දැන් නම් හාල් කිලෝ එකක බත් කනවා දවසකට. බෙන් හිතුවක්කාර වුණාට හරියට හොඳ නරක තේරෙනවා. ඉදල දැක්කම එයාට හරියට තරහ යනවා. ඒ වගේම ආදරෙන් බෙන් කියලා කතා කරද්දි එයා අපිටත් හරිම ආදරෙයි. සැරෙන් කතා කරනකොට දත් විලිස්සගෙන එක පාරට වෙනස් වෙනවා.’’
අර්ජුනී අංගොඩ සෑදූ නිවස ඇත්තේ කැලණි ගඟ සමීපයේය.

නිවසේ සියලු වැඩ අවසන් වනතුරු බෙන් සිටියේ එහි උඩු මහලේය. අවශ්‍යතාවයන්ට බිමට කැඳවාගෙන යද්දී නිවසේ අනෙක් සාමාජිකාව වූ ලිලී සමඟ කැලණි ගඟට බැස වතුරේ සෙල්ලම් කරන්නට බෙන් හුරු වුණේය. මුල් දිනවල ඈතට පිහිනුවේ නැති මුත් ටික ටික ගඟ හුරුවද්දී බෙන් පිහිනන දුරද ටික ටික වෙනස් කරන්නට ගත්තේය.

‘‘එයාගේ එකම ආසාව ගඟට බහින එක. පීනගෙන ගිහින් අහුවෙන කෝටු කෑලි පොල් ලෙලි වගේ ඒවත් කටින් අරන් එනවා. මුල් දවස්වල එහෙම ගඟ දෙබෑ කරගෙන පීනගෙන ගිහින් ළඟම තොටුපළවල්වලින් ගොඩට එනවා. ඒත් දැන් හති වැටෙනකල් කිලෝමීටර් දෙක තුනක් හරි පීනනවා. එයාට තේරෙන්නෙ නෑ මේ වැඩේ භයානකයි කියලා. කිඹුල්ලු පස් හය දෙනෙක් මේ හරියෙ ඉන්නවලු. එහෙම ගියාම ජීවිතාරක්ෂකයන්ගේ සහ පිහිණුම්කරුවන්ගේ උදව්වෙන් තමයි ගොඩට ගන්නෙ. ඔය හින්දා බෙන්ව කූඩු කළා. එහෙම වෙලාවට අවධානෙන් හිටියේ නැත්නම් කෙලින්ම දුවන්නෙ ගඟ පැත්තට. මේ කොහොම ආරක්ෂා කළත් සමහර වෙලාවට අපි දන්නෙත් නෑ කූඩුවත් කඩාගෙන ගඟට පැනලා පීනනවා.’’

එවන් එක් දිනක අර්ජුනීලාද නොදැන බෙන් කැලණි ගඟේ පිහිනා යමින් සිටිනු දුටු පුද්ගලයෙක් ඒ පුවත මුහුණුපොතේ පළකර තිබුණි.
‘බල්ලෙක් කැලණි ගඟේ ගහගෙන යනවා. පුළුවන් කෙනෙක් බේරාගන්න.’
පණිවිඩය පළකළ තැනැත්තා ඒ අදාල ප්‍රදේශය ද සටහන් කර තිබුණි.

‘‘කවුරු හරි ඒ පෝස්ට් එකේ මාවත් මෙන්ෂන් කරලා තිබුණා. බලනකොට ඒ බෙන්. එතෙන්ට මං කමෙන්ට් එකක් දැම්මා එයා ගහගෙන යනවා නෙවේ, පීනනවා කියලා. ඒත් එක්කම තව කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා පොලිසියේ ජීවිතාරක්ෂක බෝට්ටුවෙන් උදව් ඉල්ලන්න කියලා නොම්මරේ එක්ක. මං ඒ නොම්මරේට කතා කළා. වෙලාවට ඒ ගොල්ලො වෙන රාජකාරියක නොසිටි නිසා ආවා. ඊටපස්සෙත් තව අවස්ථා ගණනාවකදීම පොලිස් ජීවිතාරක්ෂක බෝට්ටුවේ උදව් ලැබුණා බෙන්ව ගොඩට ගන්න.’’

බෙන් පීනා යද්දී එසේ බෝට්ටුවෙන් මිසක් සාමාන්‍ය පිහිනුම්කරුවෙකුට පසුපස ගොස් අල්ලාගන්නට නොහැකිය. ඒ තරමට දැන් මේ පිහිනුම් ශූරයාගේ වේගය වැඩිය.
‘‘එයා පීනන්න ආස නිසා ළඟදි දවසක අපේ මහත්තයයි මල්ලි කෙනෙකුයි දිග කඹ දෙකක් දාලා අල්ලගෙන පුළුවන් තරම් පීනන්න දීලා කඹේ අල්ලගෙන ඉඳලා. එයා කඹ කටට අරන් තමයි පීන පීන ඉඳලා තියෙන්නේ. අන්තිමට බෙන් කඹ දෙකම කටට දාගෙන හපලා හපලා කඩාගෙන ගිහින්. පහුගිය දවසක තව හපන්කමක් කළා. උදේ වරුවක ලිලීගෙ කූඩුවට නයෙක් රිංගලා, ලිලී නයාව කටින් අල්ලගෙන දඟලනවා. ලිලී කියන දේ අහන නිසා නයාව අතාරින්න කිව්වම අතෑරියා. ඊළඟට නයා බෙන්ගෙ කූඩුවට රිංගුවම අපිටත් ගොරව ගොරව බෙන් නයාව කෑලි කෑලිවලට ඉරුවා. අපි බෙන්ගෙ කූඩුව ඇරියා. ලිලීගෙ දිවට නයා දෂ්ට කරලා තිබුණ නිසා අපි එයාව රෝහලට ගෙනිච්චා. ඒ අතරේ බෙන් ගඟට පැනලා කියලා මට පණිවිඩ එනවා. එයාව කවුරුහරි බේරගනියි කියලා අපි උත්සාහ කළේ ලිලී බේරගන්න. ඒත් ලිලී බේරගන්න බැරිවුණා. ඒ වෙනකොට ගඟේ පීනමින් හිටපු බෙන්වත් කට්ටිය ගොඩ අරන් තිබුණා. එයාගෙ මූණත් හිපපොටේමස් කෙනෙක් වගේ වෙලා තිබ්බෙ නයි විෂට. එයාවත් හොස්පිට්ල් අරන් ඇවිත් ප්‍රතිකාර කළා. දැන් හොඳයි.’’

නයි විෂ ශරීරගතව තිබියදීත් ගඟේ පිහිනූ බෙන් ආයෙත් අවසරයක් ලදොත් ඒ මොහොතේම කැලණි ගඟට පනිනු ඇත. ඒත් අර්ජුනී කීවේ මේ දිනවල බෙන්ට ගඟට පනින්නට බැරිවන ලෙස වැටක් ඉදිකරමින් සිටින බවයි. ඒ නිසා සමහර විට යළි හිතුමතේට නම් බෙන්ට කැලණි ගඟේ දිය දෙබෑකරගෙන පීනන්නට නොලැබෙනු ඇත.

 

බියංකා නානායක්කාර