විශේෂාංග

කොවිඩ් හොඳ වුණාට පස්සේ එන බඩේ කැක්කුම නම් හොඳ එකක් නෙවෙයි

පනස්හතර වියැති ගුණපාලට කොවිඩ් සුව වී නිවසට පැමිණ සති දෙකක් පමණ ගත වූවාට පසු තදබල උදරාබාධයක් ඇතිවිය. ඒ උදරාබාධය නිසා ගුණපාතට දැනුණ වේදනාව නම් එසේ මෙසේ එකක් නෙවෙයි.

‘‘මේක නිකන් බලාගෙන ඉන්න හොඳ නෑ. ඉක්මනටම බෙහෙත් ටිකක් ගන්න යමු.’’

එ​සේ කීවේ ගුණපාලගේ බිරිඳ.

‘‘ආපහු නම් ඉස්පිරිතාල ගානේ යන්න බෑ. මේක මේ නිකන් බඩේ අමාරුවක් වෙන්න ඇති.’’

මුලින්ම ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කළත් හන්දියේ ඩිස්පැන්සරියේ වෛද්‍යවරයා වෙත යාමට ඔහු කැමැත්ත පළ කළේ පවුලේ උදවියගේ දැඩි පෙරැත්තය නිසාමයි.

කරුණු කාරණා සලකා බැලූ වෛද්‍යවරයා තහවුරු කළේ පශ්චාත් කොවිඩ් සංකූලතාවක් ලෙස ගුණපාලගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව යම් ගැටළුවක් මතු වී ඇති බවය.

ඒ නිසා හැකි ඉක්මනින් ගූණපාලව රෝහල්ගත කිරීමටත් වෛද්‍යවරයා කටයුතු කළා.

කොවිඩ් වෛරසය නිසා ආහාර ජීර්ණ පද්ධතියට බරපතළ බලපෑම් ඇති විය හැකි බව තවම බොහෝදෙනා දන්නේ නෑ.

මේ තත්ත්වය පිළිබඳව කන්තලේ මූලික රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යූ.ඩී.එන්.ප්‍රසාද් මහතාගෙන් කරුණු විමසීමට අප සිතුවේ ඒ නිසා.

‘‘කොවිඩ්-19 වෛරසය වැළඳෙන රෝගීන් තුනෙන් එකකට ආන්ත්‍රික රෝග ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු ඇති වෙනවා. ඒ වගේම බරපතළ ලෙස කොවිඩ් වැළඳෙන රෝගීන්ට මෙවැනි ආබාධ ඇතිවෙන්න තියෙන අවධානම වැඩියි.’’

ඔහු කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ ආමාශය, අක්මාව, පිත්තාශය, බඩවැල් වැනි ඉන්ද්‍රීන් රැසකට කොවිඩ් වෛරසයේ අයහපත් බලපෑම එල්ල විය හැකි බවය. කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන්ගේ අක්මාවේ එන්සයිම වැඩිවීමේ අවධානමක් ද ඇත.

‘‘අක්මාවේ එන්සයිම වැඩි වෙලා අක්මාවේ යම් ප්‍රදාහය තත්ත්වයක් ඇතිවෙනවා. මේ තත්ත්වයට අපි යාකෘතික ප්‍රදාහය කියලත් කියනවා. මේ මගින් ආහාර මාර්ගයේ තිබෙන අතුණුබහන් සහ බඩවැල්වලටත් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඒ එන්සයිම රුධිරයට මිශ්‍රවෙලා රුධිරයේ එන්සයිම වැඩිවෙන්නත් පුළුවන්. මෙවැනි තත්ත්වයකදී රෝගියා මිය යන්න හෝ අක්මාවට බරපතළ හානි ඇතිවෙන්න පවා බැරි නැහැ.’’

ඉහත කී තත්ත්වයට අමතරව බඩවැල් අකර්මණ්‍ය වීමද සිදුවිය හැකිය. කොවිඩ් වෛරසය මෙන්ම කොවිඩ් ඖෂධත් මේ තත්ත්වය කෙරෙහි බලපානු ලබයි.

‘‘බඩවැල් අකර්මණ්‍ය වෙනවා කියන්නේ බඩවැල අජීවී වෙනවා කියන එකයි. එවැනි තත්ත්වයකදී ආහාර මාර්ගයට, ආහාර දරාගැනීමට අපහසුයි. එවිට වමනය යෑම, කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දේ හඳුනාගෙන ඉතා ඉක්මනින් රෝගියාව ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත්.’’

බඩවැල් අකර්මණ්‍ය වූ අවස්ථාවකදී සැත්කමක් මගින් බඩවැල ඉවත් කිරීම හෝ වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට සිදුවන බව වෛද්‍යවරයා කියයි.

‘‘බඩවැල් අකර්මණ්‍ය වීම විතරක් නෙවෙයි කොරෝනා නිසා බඩවැල එහෙම්පිටින්ම නරක් වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවට තමයි දරාගත නොහැකි උදර වේදනාවක් දැනෙන්නේ. එවිට සැත්කමකින් ඉතා ඉක්මනින් නරක් වූ බඩවැල ඉවත් කරන්න ඕනේ. නැතිනම් වෙන්නේ එහි අපිරිසිදු දෑ රුධිරයට එකතු වෙලා තත්ත්වය තවත් සංකීර්ණ වෙන එකයි.’’

කොරෝනා ආසාදනයකදී පුද්ගලයෙකුගේ රුධිරයේ ඝනත්වය ඉහළ යන නිසා රුධිරය කැටි ගැසීමට ඇති ඉඩද වැඩිය.

‘‘ඔය විදිහට කැටිගැහෙන රුධිරය බඩවැල්වලට රුධිරය සපයන නාල අවහිර කරන්නත් ඉඩ තියෙනවා. එතැනදී රෝගියාට උදරයේ වේදනාව, ආහාර ගැනීමේ අපහසුතා, වමනය යාම වගේ ලක්ෂණ ඇතිවෙනවා. මෙවැනි තත්ත්වයකදී රෝගියා මිය යන්නත් පුළුවන්.’’

කොවිඩ් සංකූලතා සඳහා ලබාදෙන ඖෂධවලින් ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඇතිවිය හැකි තවත් සංකීර්ණ තත්ත්වයක් පිළිබඳවද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

‘‘කොවිඩ් ප්‍රතිජීවක ඖෂධ නිසා Pseudomembranous Colitis කියන බැක්ටීරියාවේ අයහපත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මෙය ඉතා ඉක්මනින් හඳුනා නොගත්තොත් රෝගියා මියයාමට ති​බෙන ඉඩකඩ වැඩියි. මේ කතා කළ සංකූලතාවලට අමතරව ආමාශයික ප්‍රදාහය, ගැස්ට්‍රයිටීස්, ආහාර උගුරට ඒම වගේ සංකූලතාත් කොවිඩ් ​රෝගීන් අතර සුලබයි.

උදරයේ ඇතිවෙන වේදනාව, බඩ බුරුල් කර යාම, පාචනය, කෑම අරුචිය, කෑම දරාගැනීමට අපහසු වීම, බඩ පිපීම වගේ ලක්ෂණ අපි ඉහත කිව් රෝග තත්ත්වයන්වල පෙරනිමිති වෙන්න පුළුවන්. ඉතින් කොවිඩ් ආසාදිත කෙනෙක් නම් රෝහලේ ඉන්නකොට මෙවැනි රෝග ලක්ෂණයන් ඇතිවූ වහාම වෛද්‍යවරුන් දැනුවත් කරන්න. දරුණු කොවිඩ් සංකූලතා මතුවන ඇතැම් රෝගීන් සිටින්නේ ශ්වසනාධාර මත එහෙමත් නැතිනම් නිර්වින්දන තත්ත්වයෙන්. එවැනි අවස්ථාවක ඔවුන්ට මෙවැනි දේ පැවසීමට පවා අවස්ථාවක් නැහැ. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්.’’

කොවිඩ් සුව වී නිවසට පැමිණි පසු ද මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි බව විශේෂයෙන්ම සටහන් කළ යුතුය.

‘‘ගෙදර ඇවිල්ලා සතියක්, මාසයක් යද්දී වුණත් මේ ගැටළු මතුවෙන්න පුළුවන්. ඉතින් කොවිච් හොඳවෙලා ගෙදර ආවට පස්සෙ අපි ඉහත කිව් සංකූලතා මතු වුණොත් ගෙදරට වෙලා නිකන් බලාගෙන ඉන්න නම් එපා.’’

එසේම ඇතැම් කුඩා දරුවන්ට කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ ලෙස ද උදරාබාධ, පාචනය ඇතිවිය හැකිය.

‘‘ඇතැම් දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණ විදිහට හෙම්බිරිස්සාව, කැස්ස වගේ කිසිම ලක්ෂණයක් නැතුව බඩේ වේදනාව, බඩ බුරුලට යාම වගේ රෝග ලක්ෂණ විතරක් ඇතිවෙනවා. වැඩිහිටියන්ටත් ඉතාම කලාතුරකින් මේ තත්ත්වය ඇති වෙන්නත් බැරි නැහැ.

වගේම තමයි කුඩා දරුවන්ට කොවිඩ් නිසා උණ්ඩුක පුච්ච ප්‍රදාහයේදී ඇතිවෙන වේදනාවට සමාන වේදනාවක් ඇතිවෙනවා. ඉතින් මෙය උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා ඇති කරගන්න වරදවා වැටහීම නිසා දරුවා අනවශ්‍ය ශල්‍යකර්මයකට භාජනය වෙන්නත් පුළුවන්.’’

ඔහු කියන්නේ කුඩා දරුවන්ට උදරය ආශ්‍රිතව ඇතිවන ගැටළු පිළිබඳවත් වෙනදාටත් වඩා සැලකිලිමත් වීම වඩා හොඳ බවයි.

‘‘වගේම කියන්න ඕනේ කොරෝනා වෛරසය මළපහ මගිනුත් බෝවෙනවා. කෙළ බිඳිති මගින් ව්‍යාප්ත වෙන වෛරස පැය කිහිපයකින් අක්‍රිය වුණත් මළපහ මගින් පරිසරයට එකතුවන වෛරසය දින 30ක් පමණ පරිසරයේ ක්‍රියාකාරීව පවතිනවා. ඉතින් වැසිකිළි ගිය පසු හොඳින් අත් සේදීමට වගේම දරුවන්ව හොඳින් පිරිසිදු කිරීමටත් අමතක කරන්න එපා කියන පණිවිඩය අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.’’

කායික රෝග විශේෂඥ වෛද්‍ය

යූ.ඩී.එන්. ප්‍රසාද්

කන්තලේ මූලික රෝහල

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි