නවතම ප්‍රවෘත්ති

මානසික ආතතිය නැති කරගන්න හොඳම දේ ව්‍යායාම කරන එක

අමාරු වැඩ කරන හැටි කතා කර කර කල්මරන්න කැමති මිනිස්සු සුලබ වුණාට කතා පැත්තක තියලා ඒ වැඩේ කරලා පෙන්වන මිනිස්සු දුලබයි. ඉන්දියාවේ බෙන්ගලුරු ප්රාන්තේ ජීවත්වෙන සකීනා ඛාතූන් අයත් වෙන්නේ ඔතැනින් දෙවැනි කාණ්ඩෙට. සකීනා, පෝලියෝ නිසා පුංචි සන්ධියේදිම ආබාධිත වෙච්චි තරුණියක්. ආබාධිතකම පැත්තක තියලා රට වෙනුවෙන් දෙයක් කරන එකයි ඇගේ එකම හීනේ වුණේ. ඒකට ඇය තෝරගත්තේ සවි එසැවීම (Powerlifting) කියන ක්රීඩාව.
“ඔයා ආබාධිතයි… ඕක කරන්න ඔයාට ශක්තිය මදි” හැමෝම එහෙම කිව්වට කායික ශක්තියට මානසික ශක්තිය පරාද කරන්න බැහැයි කියලා සකීනා දැනගෙන හිටියා. ආබාධිතකමට අමතරව ඇගේ ගමනට හරස් වුණා ඇගේ ආගම. “ඉස්ලාම් ගෑනු කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ” කියලා ගෙදර ඈයෝ ගෝරනාඩු කරද්දි ඈ බලෙන්ම වාගේ සවි එසැවීමේ තරඟවලට සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි පළවැනි වතාවට සවි එසැවීමේ තරඟ ඉසව්වෙන් ඉන්දියාවට පැරාඔලිම්පික් පදක්කමක් දිනලා දෙන්නත් ඇයට පුළුවන් වුණා. ඉතින් අද සකීනා තමයි ඉන්දියාවේ ජනප්රියම සවි එසැවීමේ ක්රීඩිකාව.
“ගෑනුන්ට බර උස්සන්න හොඳ නැහැ…, ඇඟේ හැඩේ වෙනස් වෙනවා…, පස්සේ බබාලා හදන්න බැරිවෙයි…”
ඉන්දියාවේ සකීනාට එහෙම කියද්දි අපේ රටේ රශිතාටත් මිනිස්සු කිව්වේ මෙහෙම. ඇයත් ලංකාවට ජාත්යන්තර ජයග්රහණ ගෙනල්ලා දීපූ සවි එසැවීමේ ක්රීඩිකාවක්. ඉස්සර පිරිමින්ට විතරක් කරන්න පුළුවන් වැඩ කියලා වෙන් කරාපු දේවල් කාන්තාවෝ කරද්දි මේ වගේ කතා ඇහෙන එක සාමාන්යයි කියලයි ඇය නම් කිව්වේ. ඔය වගේ හිත් රිදීම්, අභියෝග මැද ජයග්රහණ කරා ගියපු හැටි රශිතා ද සිල්වා අපිත් එක්ක කතා කළේ අද ‘ධරණී’ කවරයත් හැඩ කරන ගමන්.
සවි එසැවීම (Powerlifting) කියන්නේ බර එසැවීමට (Weightlifting) නෙමෙයි. මේක තවමත් අපේ රටේ හරි හැටියට ප්රචලිත නැති ක්රීඩාවක්. ඒ නිසාම තවමත් මේ ක්රීඩාවට වැඩි පිරිසක් යොමු වෙලා නැතිලු.
“බර එසැවීමේදී කරන්නේ ක්රීඩකයා උස්සන බරේ එකතුව බලලා ජයග්රාහකයා තෝරන එක. සවි එසැවීමේදී ස්කොට්, බෙන්ච් ප්රෙස්, ඩෙඩ් ලිෆ්ට් කියන ආකාර තුනෙන් බර උස්සලා ඒ මුළු බර එකතු කරලා තමයි ජයග්රාහකයා තෝරන්නේ.”
රශිතා කතාව පටන්ගත්තේ සවි එසැවීම ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලයි.
“මගේ ගම කුරූණෑගල. ඉස්​කෝලෙ ගියෙත් එහේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම එක එක ක්රීඩා කළා. මමයි, අක්කලා දෙන්නයි, අම්මයි, තාත්තයි තමයි පවුලේ ඉන්නේ. තාත්තා​ ඩොක්ටර් කෙනෙක්. ඉතින් මාත් ඒ පැත්තෙන් යනවා දකින්න තාත්තා කැමති වුණා. ඒ නිසා උසස් පෙළ කළේ ජීව විද්යා අංශෙන්. ඒලෙවල්වලින් පස්සේ අපි කොළඹ පදිංචියට ආවා. ඒ ඇවිල්ලා ව්යාපාර කළමනාකරණ අංශයෙන් උසස් අධ්යාපනය හැදෑරුවා.”
ඔය අතරේ රශිතා කාය වර්ධන මධ්යස්ථානයකට සම්බන්ධ වුණේ ශරීරේ නිරෝගිකම ගැන හිතලලු.
“පාසල් අධ්යාපනය ඉවර වුණාට පස්සෙත් මොකක් හරි ක්රීඩාවක් කරනවා කියන අදහස ඒ කාලේ ඉඳලම මගේ ඔලුවේ තිබුණා. හැබැයි තෝරගන්න ක්රීඩාව මොකක්ද කියලා අදහසක් තිබුණේ නැහැ. සවි එසැවීම ගැන දැනගත්තේ ජිම් එකෙන්. ජිම් යන අය සාමාන්ය ව්යායාමයක් විදියටත් මේක කරනවා. ඒ වගේම මේක ලෝකේ ඉන්න ප්රසිද්ධ කායවර්ධන නිරූපිකාවන්ගේ අංක එකේ ව්යායාමයක්. පස්සේ මම සවි එසැවීම ගැන විස්තර හෙව්වා. මේ ඉසව්වෙන් ලංකාවේ තරඟ පවා පවත්වනවා කියලා දැනගත්තේ එතකොට.”
සවි එසැවීමේදී කරන්නෙත් බරක් උස්සන එකමනේ. ඉතින් රශිතා මේ වගේ ක්රීඩාවක් තෝරගන්නවට ඇගේ දෙමාපියෝ මුලදි වැඩි කැමැත්තක් දැක්වුවේ නැතිලු.
“ගෑනු ළමයි බර උස්සනවා කියන එක සමාජයට ටිකක් අමුතුයිනේ. ඒ නිසා අම්මයි තාත්තයිත් මුලදි මම පවර්ලිෆ්ටින් කරනවට කැමති වුණේ නැහැ. ක්රීඩාවකට ගෑනු/පිරිමි භේදයක් නෑ කියලා හැබැයි පස්සේ එයාලා තේරුම්ගත්තා. 2021 මුලදි මම ක්ලබ් එකකට ජොයින් වෙලා පුහුණුවීම් පටන්ගත්තා. මගේ පුහුණුකරු රන්සිළු ජයතිලක.”
රශිතා සවි එසැවීම කරනවා කියලා කියාපුවාම අදටත් සමහරු පුදුම වෙනවලු.
“බර ඉස්සුවාම ඇඟේ හැඩ වෙනස් වෙලා පිරිමි වගේ වෙනවා කියනවනේ. ඒ කතාව සම්පූර්ණ බොරුවක්. බර උස්සද්දි ඇඟ තවත් හැඩ වෙනවා.”
රශිතා කියාපු ඒ කතාව ඇත්තක් කියන එකට හොඳම උදාහරණය ඇය. මොකද ඇගේ සිරුර ඒ තරම් හැඩකාරයි.
“මුලින්ම පුහුණුවීම් කරද්දි මට මේක කරගන්න පුළුවන් වෙයිද කියන බය නොතිබුණාම නෙමෙයි. මුල් දවස්වල පොඩි පොඩි ඉන්ජරීස් වුණා. ක්රීඩාවක් මුලදි පුරුදු වෙද්දි තුවාල වෙන එක හරි සාමාන්යයයි. හරියට ටෙක්නික්ස් ටික අල්ලගත්තාම හරි. මේකෙදි වැදගත්ම දේ මානසික ශක්තිය. සවි එසැවීම, බර එසැවීම වගේ ක්රීඩාවලට අතපයේ ශක්තිය වඩා වැදගත් මානසික ශක්තිය. මොකද මේක මෙන්ටල් ගේම් එකක්. මානසික ඒකාග්රතාව වැඩිවෙද්දි බරට අවධානය දීලා ඒක උස්සන්න ලේසියි. ඉතින් මේ වගේ ක්රීඩාවක් කරන කෙනෙක් මානසික සුවතාවය අංක එකේ තියාගන්න ඕනේ.”
මානසික සුවතාවය කියන්නේ දැන් කාලේ මිනිස්සුන්ට නැතිම දේ. රශිතා මානසික සුවතාවය රැකගන්නේ කොහොමද කියලා එකෙනෙහිම අපි ඇගෙන් ඇහුවේ මාතෘකාවෙනුත් පොඩ්ඩක් පිටට පැනලයි.
“මානසික ආතතිය නැති කරගන්න හොඳම දේ ව්යායාම කරන එක. මුලදි ව්යායාම කරන්න පටන්ගත්ත කෙනෙක්ට කම්මැලි හිතෙන්න පුළුවන්. හැබැයි ව්යායාම කරද්දි අපේ මොළෙන් වැඩිපුර ඩොපමීන් ස්රාවය වෙනවා. එතකොට දිගටම ව්යායාම කරන්න ආස හිතෙනවා. ව්යායාම කරන්න ජිම් එකකටම යන්න ඕනේ නැහැ. ගෙදරදි විනාඩි 30-45ක් ව්යායාම කරන්න පුළුවන් නම් ඇත්තටම මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්.”
ඒ අතුරු කතාවෙන් පස්සේ අපි ඇහැව්වේ රශිතගේ තරඟ ජයග්රහණ ගැන.
“මම තරඟ කරන්නේ කි.ග්රෑම් 52 බර පංතියෙන්. 2021දී සවි එසැවීම් සංවිධානයකින් පැවැත්වූ තරඟයකින් සමස්ත ලංකා ජයග්රහණයක් ලබාගත්තා. 2022 ජාතික සවි එසැවීමේ තරඟාවලියේ 52 කි.ග්රෑම් කාන්තා ඉසව්වේ පළමු ස්ථානය ලැබුණා. ඒක තමයි මගේ ජාතික මට්ටමේ ජයග්රහණය. මේ අවුරුද්දේ අගොස්තුවල තිබුණු ආසියා පැසිපික් සවි එසැවීමේ තරඟාවලියෙන් ස්කොට්, ඩෙඩ් ලිෆ්ට් හා බෙන්ච් ප්රෙස් ඉසව් තුනෙනුත් සමස්ත ඉසව්වෙනුත් රිදී පදක්කම බැගින් රිදී පදක්කම් හතරක් දිනුවා. ඒ වගේම ඒ ඉසව් හතරෙන්ම ලංකා වාර්තා හතරක් තියන්නත් පුළුවන් වුණා.”
සවි එසැවීමේ ක්රීඩාවට යොමුවෙලා ඒ තරම් කාලයක් යන්නත් කලින් ඇය ලංකාවට මේ වගේ ජයග්රහණ රාශියක් උරුම කරලා දුන්නෙ අභියෝග රාශියක් මැද කියන එක සඳහන් නොකර බැහැ.
“මේ ක්රීඩාවට රජයෙන් වුණත් ලොකු අවධානයක් යොමු වෙලා නැහැ. ඉතින් තරඟවලට විදෙස්ගත වෙන්නේ වුණත් අපේ පෞද්ගලික වියදමෙන්. සවි එසැවීම කියන්නේ රටක් විදියට ජයග්රහණවලට යන්න පුළුවන් ක්රීඩාවක්. ක්රීඩක ක්රීඩිකාවන්ට රාජ්ය මට්ටමෙන් අනුග්රහයක් ලැබෙනවා නම් මේ ක්රීඩාව තවත් දියුණු කරන්න පුළුවන්.”
සවියක් දුන්නොත් සවි ඔසවලා රටට ජයග්රහණ ගේන්න ලේසියි කියලයි ඇය කිව්වේ. ඒ වගේම දැනට මේ ක්රීඩාව ව්යාප්තව තියෙන්නේ කොළඹ පළාතේ විතරයිලු. ඉස්සරහට ග්රාමීය මට්ටමටත් සවි එසැවීම විවෘත වෙයි කියලලු ඇය හිතන්නේ.
රශිතා කියන්නේ රැකියාවක් කරන කාන්තාවක්. ක්රීඩාවයි, වෘත්තියයි සමබර කරගන්න එකත් ඇයට අභියෝගයක්.
“සතියට දවස් පහක් පැය තුන ගාණේ පුහුණුවීම් කරන්න ඕනේ. ඉතින් ෆුල් ටයිම් රැකියාවත් කරන් ගමන් බොහොම අමාරුවෙන් ඒ දේවල් සමබර කරගන්නවා. උනන්දුව, උවමනාව තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ. ඉතින් මම අනිත් අයටත් කියන්නේ මේ වගේ ක්රීඩාවක් කළා කියලා යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ කතා අහලා බයවෙලා තමන්ගේ ආසාවන් අමතක කරන්න එපා.”
‘ධරණී’ කියවන උදවිය වෙනුවෙන් ඇය දුන්නු පණිවිඩය ඒක. අවසාන වශයෙන් අපි රශිතාගෙන් තව එක ප්රශ්නයක් ඇහුවා. ඒ බර උස්සන්න ඉගෙනගත්තු එක සාමාන්ය ජීවිතේටත් වැදගත් වෙනවද කියන එක.
“අපොයි මොකද නැත්තේ. අපේ ගෙදර ඉන්නේ ගෑනු ළමයින්ම තුන්දෙනෙක්නේ. ඉතින් බර උස්සන වැඩ සේරම පැවරෙන්නේ මට තමයි. ගෙදර වතුර ඩිස්පෙන්සර්වලට වතුර බෝතල් දාන්නෙත් මමයි.”
රශිතා එහෙම කිව්වේ හිනාවෙන ගමන්.