නවතම ප්‍රවෘත්ති

අම්මා විදුහල්පති දුව නියෝජ්‍ය විදුහල්පති එකම ඉස්කෝලේ

‘අම්මයි – දුවයි ’ එකම පාසලේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වීම ටිකක් විපරම් කර බලන්නට තරම් රසවත් සිද්දියකි. ඒ නිසාම මේ විදුහල්පති මව වන ආචාර්ය තුෂාරි කෝරලගේ සහ නිජෝජ්‍ය විදුහල්පති දියණිය සචිනි තෙන්නකෝන් සිටින ඒෂියන් ග්‍රැමර් පාසැල සහ ගිග්ල්ස් ජාත්‍යන්තර පෙර පාසල තරමක් විශේෂය. මේ අපූරු විදුහල්පති සුසංයෝගයට මෙවර ධරණී කවරය දරා සිටින්නට අපි ආරාධනා කලේත් ඒ නිසාමයි.

රජයේ සේවකයින් වූ දෙමාපියන් ඇසුරේ හැදී වැඩුණු  තුෂාරි කෝරලගේ ගේ ළමා කාලය විවිධ අභියෝග වලින් පිරි එකකි. ඈ නිවසට යම් යම් දේ මිල දී ගැනීමට  තනිවම කොළඹ පිටකොටුවට යනවිට වයස අවුරුදු දහය පිරුනා විතරය.

මගෙ අම්මා ඉගැන්නුවේ ගොතටුව මහා විද්‍යාලයේඅම්මලාගේ පාසලේ ස්පෝර්ට්ස් මීට් එකකට කලින් දවසෙ අම්මා මට චැලේන්ජ් එකක් දුන්නාමට කිව්වා තනියම පිටකොටුවට ගිහින් ටෙන්ට් එකක් ගේන්න කියලා. මම අයි ඩී එච් හන්දියට පයින් ගිහින් 152 බස් එකක නැගලා පිටකොටුවට ගියා. තනියෙන් ගියේ. මොකද යාලුවෙක් ගෙනියන්නත් බැහැනේ. අම්මා යන්න කිව්වෙත් තනියෙන්. අනික වයසෙ ළමයෙක්ව වෙන කවුරුත් පිටකොටුවට යන්න එවන්නෙ නැහැනෙ. මං ගිහින් වැඩේ කරගෙන ආවා. පිටකොටුවෙදි මට අපේ මාමාගෙ යාලුවෙක් හමුවුණාඔහු මාමාට මං තනියෙන් ඉන්න බව කියා තිබුණා. ඉතින් මාමා අපේ ගෙදරත් ආවා ගැන අහන්න. ඒත් අම්මා දීපු උත්තරේ තමයි අම්මා දරුවන් හදන්නෙ විදියටයි කියන එක.”

කුඩා කාලයේ සිටම තුෂාරි කෝරලගේ සිහින දුටුවේ ගුරුවරියක වීමටයි. ඒ නිසාම දියණියගේ ඉංග්‍රීසි භාෂා දැනීම මුවහත් කිරීමට මව සැමවිට වෙහෙස වූවාය.  මියුසියස් විද්‍යාලයට දියණිය ඇතුළත් කළේද ඒ අරමුණෙනි. ඉන්පසු ඈ තමන්ගේ සහ ඥාතී නිවෙස් වල අත් උදව්වට සිටි කාන්තාවන් තිදෙනෙකුට ඉංග්‍රීසි උගැන්වීමට පටන් ගත්තාය. ඒ වනවිට තුෂාරිට  වයස අවුරුදු අටකි.

මෙසේ කාලය ගතවෙද්දී සවස් වරුවේ ගමේ දරුවන් වෙනුවෙන් අමතර පන්තියක් පැවැත්වීමට සුනන්දා කෝරලගේ මෑණිය තීරණය කළාය. ඒ සවස පන්තියට නම වැටුනේ “චින්තන” ලෙසිනි.  තුෂාරි කෝරලගේටද එතැන අර්ධකාලීන රැකියාවක් හිමිවිය. ඒ ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරියක ලෙසයි. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට නොමිලේ ඉගැන්වුව ද ඇති හැකි අයගෙන් පන්ති ගාස්තු අය කල නිසා ඒ වනවිට පාසල් සිසුවියක වූ තුෂාරිගේ ද අත මිට සරුවන්නට විය.

“මං පුංචි කාලේ ඉඳලම කියපු දෙයක් තමා මේ ගමේ හොඳටම ඉංග්‍රීසි ඉගෙනගන්නෙ මම කියන එක. ඒ කාලෙ අපේ ගෙදර පත්තර ගන්නෙ නෑ. ඉතින් මම සුනන්දා ගුණසේකර ඇන්ටිගෙ ගෙදර ගිහින් සන්ඩේ ඔබ්සර්වර්  පත්තරේ ජූනියර් ඔබ්සර්වර් කොටස කියවනවා. අදටත් ඒ පුරුද්ද තියෙනවා. ඉංග්‍රීසි භාෂාව කැමැත්තෙන් හොඳින් ඉගෙනගත් නිසා මට පුළුවන් වුණා අම්මගේ පන්තියේ උගන්වන්න. සමහර දවසට ඉස්කෝලෙ ඇරිලා, අතිරේක පන්ති ගිහින් ඇවිත් පාසල් ගවුමෙන්මයි උගන්වන්නෙ. මගෙ මුල්ම කණ්ඩායම සාමාන්‍ය පෙළට ලියද්දිත් මම හිටියෙ එයාලට වඩා පහළ පන්තියක. මුලින්ම මට ඉගැන්වීම වෙනුවෙන් ලැබුණෙ සත පහක්. පස්සෙ සත දහය, විසි පහ, පනහ, රුපියල සහ රුපියල් දෙකේ නෝට්ටුව පහේ දහයේ නෝට්ටු විදියට ටිකින් ටික වැඩි වුණා. කාලයක් යද්දි රුපියල් පනහ, සියය නෝට්ටුත් ලැබුණා. ඒවා මම පොත් අස්සෙ දාලා තියාගන්නවා. ඉතින් ඉස්කෝලෙ යද්දිම මම පෝසත්. ඒ සල්ලිවලින් බුල්ටො වගේ දේවල් ගත්තා.”

සියලු දේ අත්දැකීම් සමග හැඩ වැඩ කරගත් තුෂාරි කෝරලගේ තමාගේම ඉගැන්වීම් ක්‍රම අනුගමනය කළාය.  ඒ, බී, සී, ඩී වෙනුවට ශබ්ද කෙරෙන විදිය අනුව ඇ, බ, ක, ඩ යනුවෙන් අකුරු හඳුන්වා දී කියවීම පහසු කරන ක්‍රමය ඈ යොදාගත්තේ වයස අවුරුදු දහහතේ පමණ සිටය.

කෙසේ වෙතත් ගුරිවරියක වීමේ සිහිනයක් මිස පාසලක් ඇරඹීමේ අපේක්ෂාවක් ඇයට නොවීය. ඒ අනුව උසස් පෙළ කරද්දීම තුෂාරි කෝරලගේ ගුරු විභාගයට පෙනී සිටියාය. එය ඉහළින්ම සමත් වුව ද දේශපාලන බලපෑම් මත ඇයට අවස්ථාව අහිමි විය. ඒ අනුව නැවත රජයේ කිසිදු විභාගයකට පෙනී නොසිටින බවට අදිටන් කරගෙන සිටියත් මවගේ දැඩි පෙරැත්තය නිසාම තුෂාරි නැවත ගුරු විභාගයට පෙනී සිටියාය.  එවර ඈ ඉන් සමත් විය.  ඒ වනවිට ඇය සිටියේ හෝටල් ක්ෂේත්‍රයෙහි රුපියල් හත්දහසකට අධික වැටුපක් ලබන රැකියාවකය.  එහෙත් වතුර යට ගිල්වූ රබර් බෝලයක් මෙන් නිරායාසයෙන් ඉහළට එන ගුරු සිහිනය විසින් ඒ විශාල වැටුප පසෙකින් තබනු ලැබීය.  ඒ අනුව රුපියල් 1760 ක වැටුපට ඈ ගුරු වෘත්තියට පිවිසුණාය.  පළමු පත්වීම මාතර, හක්මන කැබලියපොල ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයටයි.  සඳුදා පාන්දර දෙකේ බසයෙන් පිටත්වන තුෂාරි කෝරලගේ නැවත නිවසට එන්නේ සිකුරාදා මැදියම් රැයට ආසන්නවය.  එසේ පැමිණ අතිරේක පන්තිවල ඉගැන්වීම් ද අඛණ්‌ඩව කළාය. වයස අවුරුදු 29 ක් වෙද්දී එවකට ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුරු උපදේශිකාව වීමට ද තුෂාරි කෝරලගේ සමත් විය.

කෙසේ වෙතත් තමා බලාපොරොත්තු වන ඇතැම් දේ ඉටු කිරීම අපහසු නිසාම විශ්‍රාම වැටුප ලැබීමට මාස හතරක් ඉතිරිව තිබිය දී ඇය රජයේ ගුරු සේවයට සමු දුන්නාය. ඒ වනවිට ද ඈ සිය මව යටතේ ගිග්ල්ස් පෙර පාසල් අරඹා තිබිණ.  එහි පළමු ශිෂ්‍යාව වූයේ දෙවැනි දියණිය මන්දානි තෙන්නකෝන් ය.  රජයේ රැකියාවට සමුදුන් ඇය පෙර පාසලේ කටයුතුවලට එක්වූවාය.  පාසලක් පිළිබඳ අදහස මතුවූයේ ඒ අතරදීය.  එය ද ඇගේ අවශ්‍යතාව මත නොවේ. රජයේ පාසල් නොලද දරුවන් කිහිප දෙනෙකුගේ දෙමාපියන් ගේ ඉල්ලීම මතයි. අද වනවිට ඒ පාසල උසස් පෙළ පන්ති දක්වා පමණක් නොව මාතර ශාඛාව තෙක් පුළුල් වී ඇත. කෙසේ වෙතත් තම පාසලේදී විශේෂ සැලකීමක් ඇතිවිය හැකි බැවින් ඇය තම දියණියන් තිදෙනා බිෂොප් විද්‍යාලයට ඇතුළත් කළායමේ සියලු කටයුතු වලට  දයාබර සැමියා සුමිත් තෙන්නකෝන් ගේ සහය ද සුවිසල් ශක්තියක් විය. විදුහල්පතිනියක ලෙස අවශ්‍ය සියලු අධ්‍යාපන සුදුසුකම් සපුරාගැනීමට ද තුෂාරි කෝරලගේ පසුබට නොවුනාය. අද වන විට ඇය විදුහල්පතිනියක ලෙස පමණක් නොව, ග්‍රන්ථකරණය, ගීත රචනය, දේශන පැවැත්වීම යන අංශ වලටද දායකත්වය දී ඇත. සවිනි, මන්දානි සහ විහානි දියණියන් තිදෙනා ද ඒ මග යමින් සිටිති.

වැඩිමහල් දියණිය සවිනි තෙන්නකෝන් ගේ  සිහිනය වූයේ ද ගුරුවරියක වීමයි. අද ඇය සිය මවගේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියයි.

“මගෙ අම්මා ප්‍රින්සිපල් කෙනෙක්.  අම්මගේ අම්මා ටීචර් කෙනෙක්. මගෙ තාත්තාගෙ තාත්තා ප්‍රින්සිපල්  කෙනෙක්. එතකොට තාත්තාගෙ අම්මා ටීචර් කෙනෙක්.  මම පොඩි කාලෙ ටීචර් කෙනෙක් වගේ ඇඳගෙන සෙල්ලනුත් කරනවා නිතර. ඉතින් මම හිතනවා මම හරි ලකී කියලා. ඒකට හේතුව මම ටීචිංවලට ආස කළා වගේම ඒකට අදාළ පරිසරයත් තිබුණ නිසා. මං ඉගැන්වීම පටන් ගත්තෙ අවුරුදු 16න්. අම්මා නැති වෙලාවට මම අම්මගෙ ක්ලාස්වල ඉගැන්නුවා.  ඒ වගේම ඒෂියන් ග්‍රැමර් පාසලට මුලින්ම ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය ඉගැන්වුවෙත් මම. මට ඉගැන්වීමට ආසාව වගේම හැකියාවත් තිබුණා. ඒත් අම්මා මට කියපු දේ තමා පාසලට එන්න ඕනෙනං සුදුසුකම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි කියන එක. අපේ රටේ උපාධිය සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන නිසා මම ඕස්ට්‍රේලියාවට ගියා. එහෙදී මම ද්විත්ව උපාධි හැදෑරුවා. කලා උපාධිය සහ අධ්‍යාපනවේදී උපාධිය.  ඒ වගේම එහෙට ගිහින් මාසයක් ඇතුළත උගන්වන්න තියෙන ආසාව නිසාම ටියුෂන් දෙන්නත් පටන් ගත්තා.  මොකද ස්ටුඩන්ට්ස්ලට පූර්ණකාලීනව රැකියා කරන්න බැහැනෙ. විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිටම අපට පාසල්වල උගන්වන්නත් ඉඩ ලැබෙනවා. මට මෙල්බර්න්වල ගොඩක් පාසල්වල උගන්වන්න අවස්ථාව ලැබුණා. ඒ හැම දේම මට වටිනා අත්දැකීම් වුණා. ඒ වගේම ඒ හැම තැනකදීම මම ඒ ආයතන සමග සම්බන්ධතා ගොඩ නගා ගත්තා. ගුරුවරියක ලෙස ඕස්ට්‍රේලියාවේ රැකියාව ලබාගැනීම පහසු නැහැ. එහෙත් චකිතයක් තිබුණත් දෙසැම්බරයේ උපාධිය නිමවන විටම මම ටීචිංවලට අයදුම් කළා. මට ජනවාරිවලම ඉංග්‍රීසි ගුරුවරියක ලෙස එරට උසස් පාසලක පත්වීම ලැබුණා.  මට ලැබුණෙ 11, 12 ශ්‍රේණි පන්ති. ඒක මම අභියෝගයක් විදියට බාරගත්තා වගේම ඒකෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ අතරෙම මම ශාස්ත්‍රපති උපාධියත් පටන් ගත්තා.  ඒ මම ප්‍රථම උපාධිය කරපු ඩීකින් විශ්ව විද්‍යාලයේමයි.. මේ හැම දේම මම කළේ ලංකාවට එන අරමුණ ඇතිව. මොකද අම්මා මට කිව්වා ඒෂියන් ග්‍රැමර් පාසලට එන්නනං වෙන පාසලක උගන්වා තියෙන්න ඕනෙ කියලා. ඒ අනුව අධ්‍යාපන වගේම ප්‍රායෝගික සුදුසුකම් සම්පූර්ණ කරගෙනයි මම මේ විද්‍යාලයට ආවෙ.”

මවගෙන් මෙන්ම පියාණන්ගෙන් ද  දියණියන්ගේ අරමුණු කෙරෙහි බලපෑම් නොවීය.  එනිසා ඔවුන්ට තමන් කැමති මාර්ගවල ගමන් කිරීමට ඉඩ ලැබී ඇත. වැඩිමහල් දියණිය සවිනි තෙන්නකෝන් මෙන්ම බාල දියණිය විහානි තෙන්නකෝන් ඉගැන්වීමට රුචිය.  දෙවැනිය, මන්දානි තෙන්නකෝන් පරිසරයට ලැදිය. ඈ පාරිසරික ඉංජිනේරුවරියකි.  බාල දියණිය බැලේ නර්තනය ද ප්‍රගුණ කරයි. මේ කිසිවකට දෙමාපියන්ගේ බලපෑම් නොවූ බව සවිනි තෙන්නකෝන් පවසයි.

“අපි තුන්දෙනා තුන් විදියක්. මම පහළ පන්තිවලදී විෂය පරිබාහිර වැඩ ගොඩක් කළා.  සමහර ගුරුවරුන් ඒකට දොස් කිව්වා. ඒත් අම්මා කවදාවත් ඒකට මුකුත් කිව්වෙ නෑ. මම අධ්‍යාපනයට ගොඩක් කැපවුණේ උසස් පෙළ කරද්දි. ලොකු නංගී මුල ඉඳලම ඉගෙනීමට ගොඩක් දක්ෂයි. එයා වෙනස් විදියට හිතන කෙනෙක්. පරිසරය ගැන වුණත් එයා හිතන්නෙ අපිට වඩා වෙනස් විදියට.  මට වගේම බාල නංගිටත් ඉගැන්වීමේ හැකියාව තියෙනවා. එයා සෞන්දර්ය විෂයන්වලටත් ගොඩක් ලැදියි.  අපේ අම්මා අපිට කියලා තියෙන දෙයක් තමා ලෝකෙ කොහෙ ගිහින් ඉගෙනගෙන ආවත් ඒවා අපි භාවිත කරන්න ඕනෙ මේ රටට ගැළපෙන විදියට කියලා. ඕස්ට්‍රේලියාවෙදි මම දැකපු වැදගත්ම දේ තමයි හැකියාවන්ට එකලෙස ගරු කිරීම සහ රැකියා අවස්ථා තිබීම. අපේ රටවල්වල තවමත් ඉහළින් පිළිගන්නෙ වෛද්‍ය,  ඉංජිනේරු, නීතීඥ වගේ වෘත්තින්. වෙනත් අවස්ථා අඩුයි. එහෙත් ඕස්ට්‍රේලියාවේ දරුවෙකුට තෝරාගන්න ඕනෑ තරම් මාර්ග තියෙනවා.  ඒ වගේම ඒ රටේ ගුරුවරුන් පෙළ පොතට වඩා අවධානය දෙන්නෙ හැකියා ඔප දැමීමට.  ඒෂියන් ග්‍රැමර් පාසලෙත් අපි හැකිතාක් ඒ තත්ත්වය ඇති කරනවා. එහෙත් අපිට ඒක තනියෙන් කරන්න බෑ. රටටම අදාළ වැඩපිළිවෙලක් තියෙන්න ඕනෙ.  ඒ නිසා අපි ලෝකෙන් ඉගෙනගන්න දේවල් අපේ පාසලට අදාළ කරගන්නෙ අපේ රටට ගැළපෙන විදියට. අපේ ආචාර්ය මණ්ඩලයත් වෙනස්කම්වලට ඉතා ඉක්මනින් හැඩ ගැහෙන්න දක්ෂයි.  ඒක ඉතාම වටිනවා. ඒ නිසා අපි හැම වෙලේම බලන්නෙ වඩාත් වටිනා දෙයක් සමාජයට දෙන්න. මෙතෙක් ආපු ගමන ගැන මට සතුටුයි. හැකි උපරිම කාලය මගේ රටට සේවය කරනවා.”

රෂ්නිකා ලියනගේ