ප්‍රීතිමත් ජීවිතයකට

ග්‍රහයට ඕන වෙලාවට ළමයි හදන්න නම් ඇයි මාව බැන්දෙ?

අපේ ජීවිත සාර්ථක කරගන්න යම් මට්ටමකට ඇදහිලි, විශ්වාස තියාගත්තට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට එවැනි දේ පසුපස හඹා ගිහින් ජීවිත අසාර්ථක කරගත්තු අය ඕන තරම් මට මුණගැහිලා තියෙනවා.

කුමුදිනීත් අන්න එහෙම කෙනෙක්. ඇය, මම කාලයක ඉඳලා දන්න කියන පවුලක දියණියක්. මේ පවුලේ එකම දරුවා ඇය. කුමුදිනීගේ මව හඳහන් සහ ජ්‍යොතිෂ්‍යය ඉතාම තදින් විශ්වාස කරන කාන්තාවක්. කොටින්ම කිව්වොත් ඇය පවුලේ දරුවන් ගණන සීමා කරලා තියෙන්නෙත් ඇගේ හඳහනේ එහෙම තිබුණු නිසා කියලා ඇය මාත් එක්ක කියලා තියෙනවා. කුමුදිනීටත් අවුරුදු විසිහත විසිඅට පනිනකල් විවාහයක් සුදුසු නැහැ කියලා ඇගේ හඳහනේ තිබුණලු. ඉතින් ඒ වයසට එනකල් පෙම් සම්බන්ධතා ඇති කරගන්න එපා කියලා තමයි කුමුදිනීට මවගෙන් උපදෙස් ලැබිලා තිබුණේ. පුංචි කාලේ ඉඳලම මේ දේවල් අහන්න දකින්න ලැබුණු නිසා මේ දියණියත් මේ දේවල් හිස් මුදුනින් පිළිගත්තු බව මම පෞද්ගලිකවම දන්නවා.

ඉතින් ඔන්න අර කිව් වයස් සීමාව පහුකළ හැටියේ මේ දියණිය පෙම් සබඳතාවක් ඇති කරගෙන ඒ ගැන මවට කියලා. පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ මේ අම්මා ගත්කටටම අර පිරිමි දරුවගේ හඳහන ඉල්ලන් එන්න කිව්වලු. ගෙන්නගෙන පරික්ෂා කළාම මේ දෙපළගේ හඳහන් ගැලපිලා නැහැ. ඒ නිසා ඒ සම්බන්ධය නතර කරන්න කුමුදිනීත් එකඟ වෙලා. ඔය අතරේ මේ මව ඇයට මඟුල් තුලා හොයලා තියෙනවා. ඒත් ඒ හැම කටයුත්තකටම හඳහන් හරස් වෙලා. ඉතින් ඔහොම කාලය ගතවෙලා මේ දියණියගේ වයස අවුරුදු තිස්හතක් විතර වෙලා.

දියණියගේ කල වයස පහුවෙන නිසා හඳහන් දෝෂ තරමක් අඩුයි කියලා කියැවෙන කට‍යුත්තකට මේ මව කැමති වෙලා. විවාහයෙන් පස්සේ පුද පූජා කරලා අර කිව් දෝෂ කපාගන්න කියලා තමයි ඇය කුමුදිනීට උපදෙස් දීලා තියෙන්නේ.

කුමුදිනීගේ සැමියා මෙවැනි දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයිලු. ඉතින් විවාහ වෙලා මාස හය හතක් ගත වුණත් ඔහු අර පුද පූජා කරන්න උනන්දුවක් දක්වලා නැහැ. ඉතින් ඔය ගැන කියලා ඇය නිතරම සැමියා එක්ක ගැටුම් ඇති කරගෙන. ඔය විදිහට ගැටුම් ඇති වෙන්න හේතුවම අර පූජාවන් නොකළ එක කියලයි ඇගේ අදහස වෙලා තියෙන්නේ.

ඔහොම අවුරුද්දක් විතර ගත වුණාලු. කුමුදිනීගේ වයසත් එක්ක දරුවෙක් මල්ලෙක් හදාගන්න එක තවත් පරක්කු කරන්න බැරි නිසා මේ සැමියා දරුවෙක් හදන්න ඇයට යෝජනා කරලා. හැබැයි ඒ වෙනකොට ඇගේ කේන්ද්‍ර සටහනේ එක ග්‍රහයෙක්ගෙන් කියවුණා කියන්නේ අවුරුදු දෙක තුනක් යනකල් දරුවෙක් හදන්න එපා කියලලු. ඉතින් සැමියට ඕන වුණාට ග්‍රහයා එපා කියන නිසා කුමුදිනීගෙ අම්මත් මේ යෝජනාවට තදින්ම විරුද්ධ වෙලා. පස්සේ මේ පවුල් දෙක අතරේ මේ නිසා විවිධ ගැටුම් පවා ඇතිවෙලා තියෙනවා.

මේ ගැටුම් විසඳගන්න හොඳම විදිහ මනෝඋපදේශනය කියලා හිතුව කුමුදිනීගේ සැමියා ඇයත් එක්ක මාව මුණගැහෙන්න ආවා. මේ සැමියා මාත් එක්ක දුරකතනයෙක් වරක් දෙවරක් කතා කළත් ඇගේ බිරිඳ කුමුදිනී බව මම දැනන් උන්නේ නැහැ. මුණගැහෙන්න එන්නේ මාව කියලා කුමුදිනීත් නොදැන හිටි නිසාදෝ මාව දැක්ක හැටියේ ඇගේ මුහුණ තරමක් අමුතු වුණා. හැබැයි ඇගේ පවුලේ තිබුණු ගැටලුව ගැන දැනහිටි නිසා කුමුදිනීගේ සිතුවිලි වෙනස් කරන්න මට පහසු වුණා.

ඒ වෙනකොටත් ඇය හිටියේ දරුවෙක් හදන හොඳම කාලේ පහු කරලා. ඉතින් ප්‍රායෝගිකව මම ඇයට කරුණු පැහැදිලි කළා. අපි හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙමෙයි. මේ විශ්වාසයන් නිසා කුමුදිනීගේ ජීවිතේ හොඳම කාලය නිකරුණේ ගතවෙලා තිබුණා. ඉතින් ඉතිරි කාලයත් නිස්කාරණේ නාස්ති නොකර සතුටින් ඉන්න හැටි මම ඇයට කියලා දුන්නා. ඒ හැමදේම ඇය පිළිගත්තේ අඬ අඬ. ඇගේ මවත් සමඟ කතා කරන්න උත්සහ කළත් ඇය ඒකට කැමැත්තක් දැක්වුවේ නැහැ. පස්සේ කුමුදිනීත් මවගෙන් ලැබෙන උපදෙස් නොසලකා හැරලා. ඒ නිසා ඔය සිදුවීමෙන් පස්සේ කුමුදිනීගේ මව මාත් එක්ක අමනාප වුණා.

ජ්‍යොතිෂ්‍යය විශ්වාස නිසා ජීවිත කාලය පුරාවට අවිවාහකව හිටි අය ඉන්නවා, දරුවෝ හදපු නැති අය ඉන්නවා, තමන්ගෙම ලෙයින් මසින් හැදුන අහිංසක නොදරුවන්ව පවුලට අපලයි කියලා පවුලෙන් ඈත් කළ අය ඉන්නවා. දරුවෙක් ඉපදෙනකොට අම්මා හරි තාත්තා හරි නැති වුණොත් ඒ නැති වුණේ ළමයගේ අපලෙට කියලා දරුවගේ ජීවිතේට පීඩා කරන අය ඉන්නවා. මේ වගේ ප්‍රශ්න දාස් ගාණක් මම අහලා දැකලා තියෙනවා. ලිපිය කියවන ඔයාලත් අනිවාර්යයෙන්ම දැකලා ඇති.

මේ ලිපියෙන් මගේ අරමුණ ජ්‍යොතිෂ්‍යයට අභියෝග කරන එක නෙමෙයි. ඕනෙම නම් ඒ විශ්වාස ඒ විදිහටම තියාගන්න. හැබැයි පරීක්ෂණ, නිරීක්ෂණවලින් පිළිගත් විද්‍යාත්මක දේට පයින් ගහලා ජ්‍යොතිෂ්‍යය විශ්වාස පස්සෙම යන්න හිතෙනවා නම් ඒක ලොකු ගැටලුවකට මුල කියලා අමතක කරන්න එපා.

ගොඩක් දෙමාපියන් පුංචි කාලෙදිම මේ දේවල් දරුවන්ගේ ඔලුවලට කාවද්දනවා. ඉතින් එතැනින් පස්සේ ඒ කෙනාගේ ජීවිතේම තීරණය වෙන්නේ හඳහනට අනුව. මේ විදිහට අවිද්‍යාව පස්සේ ගොඩක්ම දුවන්නේ හිතාමතා දෙයක් තේරුම් ගන්න බැරි මානසිකව දුර්වල අය. අනවශ්‍ය විශ්වාස තුළ ජීවත් වෙන අය විවාහ වුණාම සංකීර්ණ ගැටලු ඇතිවෙනවා. සැමියා හෝ බිරිඳ ඒවා විශ්වාස කරන්නේ නැත්තම් ඔන්න එතැනත් ගැටලුවක්.

අනික කෙනෙක් මේ නිසා ප්‍රශ්න ඇතිවෙයි කියලා නිතරම හිත හිත ඉන්නවා නම් කොහොමත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක විද්‍යාත්මකව පැහැදිලි කළ කාරණයක්. විවාහය කැඩෙනවා කියලා හඳහන්වල තියෙන ගොඩක් අය වෙන්වෙන්න ඔය හේතුව බලපාන බව මම පෞද්ගලිකව නිරීක්ෂණ කරපු කාරණයක්. අනික මේ දේවල් ගැන ඕනවට වඩා හිතන එකත් මානසික ව්‍යාධියක් දක්වා දුරදිග යන්න පුළුවන්.

ඉතින් මට කියන්න ඕනේ පවුල ඇතුළේ කටයුතු කාරණා ගැන සැමියා බිරිඳ එක්ක සුහදව කතා කරලා පහසුව සහ නිවරද්‍යතාවය මත ඉඳලා තීන්දු තීරණ ගන්න. දෙන්නා දෙමහල්ලන්ගේත්, පවුලේ දරුවන්ගේත් සතුට හඳහනකට සීමා කරන්න යන්න එපා. අපි ජීවත් වෙලා ඉන්නේ ටික කාලයයි කියලා මම කිව්වනේ. ඒ නිසා ඒ කාලය පවුල එක්ක සතුටින් ජීවත් වෙන්න. ස්වභාවධර්මයට සහ හෘදසාක්ෂියට අනුව ජීවත් වෙන්න. එතකොට කාටවත් කවදාවත් වැරදෙන්නේ නැහැ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි