ප්‍රීතිමත් ජීවිතයකට

මගේ මිනිහගෙන් මම හොරකම් කළාම කාටවත් ඇති රුදාව මොකක්ද?

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවටත් කියනවනේ. කොච්චර මිල මුදල්, බලය, සතුට තිබ්බත් සමහර අසික්ෂිත පුරුදු නිසා සමහරු ජීවිතේට කළු පැල්ලම් ඇති කරගන්නවා. ඉස්සර ඉඳපු මේරි කියන රැජිණත් ඒ වගේ කෙනෙක්. මේරි කියන්නේ වර්තමාන එළිසෙබත් රැජිණියගේ මිත්තණිය. මේ රැජිණ කොහේ ගියත් එතැනින් එනකොට මොනවාහරි දෙයක් සොරකම් කරනවලු. අඩුතරමේ හැන්දක් හරි. ඉතින් මේ වැඩේ නිසා වැඩිපුරම අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ ඇගේ සැමියා ජෝර්ජ් රජුලු.

මේ මෑතකදි මගේ උපදේශන සේවයට ආපු සැමියෙක් ඔහුගේ කතාව කියන්න පටන්ගත්තෙම ඔය මේරි රැජිණගේ කතාවෙන්. බිරින්දෑ නිසා ඔහුත් ජෝර්ජ් රජුගේ තත්ත්වයටම පත්වෙලා කියලයි ඔහු කිව්වේ. ඒ නිසා ඔහුගේ කතාව ඔබත් එක්ක බෙදාගන්න තරම් වටින කතාවක් කියලා මට හිතුණා.

මම කියන මේ සැමියා අවුරුදු පනහකට නම් කිට්ටු ඇති. බිරිඳත් ටිකක් මැදි වයසක කෙනෙක්. මේ දෙපළට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. සැමියා වගේම බිරිඳත් රැකියාවක් කළ නිසා මේ පවුලට ආර්ථික අහේනියක් තිබිලා නැහැ.

මේ සැමියා ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ආදිය මිලදී ගන්න කියලා මාසිකව සැලකිය යුතු මුදලක් බිරිඳගේ අතට දෙනවලු. හැබැයි ඒ කෙසේ වෙතත් බිරිඳ තමන්ගේ පසුම්බියෙන් මුදල් සොරකම් කරන බව විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යද්දි සැමියට තේරිලා. මොනවා වුණත් ඉතින් බිරිඳනේ කියලා හිතපු නිසා ඔහු ඇයට මුකුත් කියන්න ගිහිල්ලත් නැහැ. අනික ඇය සොරකම් කරලා තියෙන්නෙත් වටිනාකමෙන් අඩු මුදල් නෝට්ටුලු.

දවසක් මේ සැමියා රැකියා ස්ථානයේ මුදල් වගයක් ගෙදර ගෙනල්ලා තියෙනවා. පහුවෙනිදා ඒ මුදල් බැංකුවේ තැන්පත් කරන්න හිතාගෙනයි ඔහු ඒ මුදල් ගෙදර ගෙනල්ලා තියෙන්නේ. පහුවදා උදේ බැංකුවට ගිහින් බලද්දී ඒ මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුයිලු. ඉතින් නිසි වෙලාවට ඔහුට ඒ මුදල් තැන්පත් කරන්න බැරිවෙලා. රාජකාරී මුදල් නිවසට රැගෙනයාම සහ ඒවා නියමිත වෙලාවට තැන්පත් නොකිරීම නිසා ඔහුව රැකියාවෙන් ඉවත් කරන්න හදලා. ඒත් දක්ෂතාවය සහ පළපුරුද්ද නිසා ඔහු වෙනුවෙන් ඔෆිස් එකේ කීපදෙනෙක්ම කතා කරපු හින්දා කොහොමින් කොහොමහරි රස්සාව බේරිලා.

ඒ මුදල් ගැන බිරිඳගෙන් ඇහුවම ඇය ඒ ගැන දන්නේ නැහැ කියලා අඬ අඬා දහඅතේ දිවුරුවලු. මේ සැමියා ඒ වෙලාවෙත් ඇයව විශ්වාස කරලා. තව දවසක් වාහනේට තෙල් ගහන්න ගියාම තෙල් ගහන්න කියලා අයින් කරපු සල්ලි ටික පසුම්බියේ තිබිලා නැහැ. ඒ වෙලාවෙත් මේ සැමියා සෑහෙන අපහසුතාවයට පත්වෙලා. මුදල් සොරකම් කරන්නේ බිරිඳ කියන එක ඒ වෙලාවේ ඔහු තහවුරු කරගෙන.

ඉතින් ඔහොම ඉන්නකොට මේ මෑතකදි අසල්වැසි කාන්තාවක් මේ උදවියගේ ගේ ඉස්සරහටම ඇවිල්ලා දෙස් දෙවොල් තිය තියා මහ හයියෙන් කෑගහනවලු. බලනකොට මේ බිරිඳ ඒ ගෙදර පුංචි දරුවගේ කරේ තිබුණු පංචායුධය ගලවගෙන. ඒ ගෙදර කෙනෙක් ඒක ඇහැටම දැකලත් තියෙනවලු. ඔය ප්‍රශ්නේ නිසා ඒ සැමියට පොලිසි ගානේ පවා රස්තියාදු වෙන්න වෙලා. සිද්ධ වුණු ලෝක අපවාදේ ඊට උස නිසා ඒ ගෙවල් හරියෙන් යද්දි මූණ හංගගෙන යන බවත් මේ සැමියා මට කිව්වා.

තමන් කොච්චර කිව්වත් බිරිඳ කනකට ගන්නේ නැති නිසා ඔහු ඇයව මනෝඋපදේශනයට යොමු කරන්න හිතුවලු. කරුණු කාරණා පහක් සම්පූර්ණ වෙන තැනදි සොරකමක් සිද්ධවෙනවා කියලා බුදුන් දේශනා කරලා තියෙනවා. සොරකම් කරන දේ අනුන්ට අයත් වස්තුවක් වීම, ඒක අනුන්ගේ බව දැන සීටීම, ගැනීමේ සිත පහළ වීම, ඒ සදහා උපක්‍රම යෙදීම, සොරකම් කිරීම තමයි ඒ කරුණු පහ. නැතිබැරිකම නිසා සොරකම් කරන අය ඉන්නවා. එතකොට නොසන්සිඳෙන වස්තු තන්හාසේ නිසා අනුන්ගේ දේ සොරකම් කරන අයත් ඉන්නවා. ඒ විතරක් නෙමේ අනුන්ගේ දේ සොරකම් කරලා ඒකෙන් මානසික සතුටක් භුක්ති විඳින අයත් ඉන්නවා. හේතුව මොකක් වුණත් අර කිව් කරුණු පහ සම්පූර්ණ වෙනවා නම් ඒක සොරකමක්.

මේ කියන බිරිඳට තිබුණෙත් ඔය තුන්වෙනි ගැටලුව. සුමඟින් ලැබෙන දේට වඩා නොමඟින් ලැබෙන දේට ඇය ප්‍රිය බවයි මට තේරුණේ. හැබැයි ඇය පොඩිවට මුදල් සොරකම් කරනකොටම ඇයට ඒ ගැන පැහැදිලි කළා නම් ඇය සොරකමට බිය වෙන්නත් ඉඩ තිබුණා. මුදල් අඩුයි කියලා සැමියගෙන් ගැටලුවක් වුණේ නැති තැන ඇගේ මනස තව තවත් එයට ඇබ්බැහි වෙලා තියෙනවා. නමුත් සැසි වාර දෙක තුනකින්ම මේ බිරිඳගේ මේ හැසිරීම යටපත් කරන්න මට පුළුවන් වුණා.

විවාහයෙන් පස්සේ මුදල් සම්බන්ධයෙන් දෙන්නා අතරේ පංගුපේරුවක් තියාගන්න ඕනේ නැහැ. ඒත් මොන හේතුවක් නිසාදෝ සැමියගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරන්න ගොඩක් බිරින්දෑවරු හරි දක්ෂයි. ‘‘මම හොරකම් කරන්නේ මගේ මිනිහගේ සල්ලිනේ’’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් සැමියගේ මුදල් තමන්ගේම සල්ලි කියලා හිතන කෙනෙක් නම් හොර චේතනාවක් නැතිව සැමියගෙන් මුදල් ඉල්ලගන්න පුළුවන්නේ. මොකද මුදල් සොරකම් කරන බව දැනගත්තම සැමියගේ හිතේ වුණත් බිරිඳ ගැන වැරදි චිත්‍රයක් ඇතිවෙන්න බැරි නැහැ.

අනික අම්මා, තාත්තගේ මුදල් සොරකම් කරනවා දැක්කොත් ගෙදර දරුවන් පවා ඒ දේවලට යොමු වෙන්න පුළුවන්. සමහර අම්මලා ඉන්නවා දරුවන් ලවා තාත්තගේ පසුම්බියෙන් මුදල් සොරකම් කරවනවා. නැත්තම් සොරකම කරනකල් තාත්තා එනවද කියලා දරුවන්ට ඔත්තු බලන්න උගන්වන අම්මලත් ඉන්නවා. ඉතින් නොදැනුවත්වම අර හය හතර නොතේරෙන දරුවත් ඒ හොරකමේම කොටස්කාරයෙක් වෙලා. මේවා සෙල්ලම් නෙමෙයි. ඔවැනි දේ නිසා දරුවෙක්ගේ මුළු ජීවිතේම විනාශ වෙන්න බැරි නැහැ. දෙමව්පියන්ගේ වැරදි නිසා හොරකමට යොමුවුණු දරුවෝ ඕනතරම් මේ සමාජයේ ඉන්නවා.

සල්ලි විතරක් නෙමේ අනුන්ගේ වත්තක මල් පැළයක්, ගඩා ගෙඩියක්වත් හොරෙන් කඩන්න එපා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. බිරිඳට අවශ්‍ය දේවල් හැකි විදිහට අරගෙන දෙන්න සැමියටත් යුතුකමක් තියෙනවා. ඔය විවිධ පන්නයේ සුකුරුත්තම්වලට ගෑනු හරි ආසයිනේ. බිරිඳට රන් ආදියෙන් සලකන එක සැමියෙක්ගේ යුතුකමක් කියලයි සිඟාලෝවාද සූත්‍රයෙත් දැක්වෙන්නේ. රත්තරන් නැතත් ඉඳලා හිටලා පුංචි දෙයක් හරි බිරිඳට ගිහින් දෙන්න. සමහර සැමියන් ඉන්නවා හම්බකරන හැම සතේම බීමට වියදම් කරන. එහෙම තැන්වලදිත් බිරින්දෑවරු සැමියගේ මුදල් සොරකම් කරනවා. ඉතින් එහෙම සැමියෙක් ඉන්නවා නම් නැත්තම් සොරකම් කරන බිරිඳක් ඉන්නවා නම් හොඳම දේ උපදේශනයට යොමු කරන එකයි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි