Health

ආගමික මිථ්‍යාවත් හරියට පිළිකාවක් වගේ, මුලින් අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

1978 දී දකුණු අමෙරිකාවේ ගයනාවේ ජෝන්ස්ටවුන්වල ජීවත්වෙච්චි ඇමරිකානු ජාතිකයෝ 900 දෙනෙක් එකට එක්කහු වෙලා සයිනයිඩ් කාලා සියදිවි නසාගත්තා. මේ අය ජිම් ජොන්ස් කියන පුද්ගලයගේ අනුගාමිකයන් කියලයි පස්සේ හොයාගත්තේ. සයිනයිඩ් කෑවහම ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියපු ඔහුගේ දේශනාවකට අනුව තමයි මේ සමූහ සියදිවි නසාගැනීම වෙලා තිබුණේ.

2023 අප්‍රේල් මාසේ දවසක නැගෙනහිර කෙන්යාවේ පිරිසක් ආහාර නොගෙන උපවාසෙක යෙදෙනවා කියලා පොලිසියට ආරංචි වුණා. පොලිසිය එතැනට යනකොටත් පුද්ගලයෝ හතරදෙනෙක් මැරිලා. පස්සේ කුසගින්නේ මැරුණු මේ පිරිසෙම තවත් 90කගේ සිරුරු වෙනත් කැලෑවකින් සොයාගත්තා. මේ උදවියත් එක්තරා ආගමික මතවාදයක් හදාගත්තු පුද්ගලයෙක් අනුගමනය කරපු අය. බඩගින්නේ මැරුණොත් ජේසුස් වහන්සේ ගාවට යන්න පුළුවන් කියන එකයි ඔහුගේ දේශනාව.

පහුගිය දවස්වල ලංකාවෙත් ඔය වගේ සිද්ධියක් වුණා. සයිනයිඩ් කෑවහම නිවන් දකින්න පුළුවන් කියලා එක පුද්ගලයෙක් කළ ප්‍රචාරයක් නිසා ජීවිත හතක් අකාලයේ නැති වුණා. ඔය සිද්ධියෙන් පස්සේ ගොඩක් අය කළේ මේ පුද්ගලයන්ට දොස් කියපු එක. නැත්තම් බැනලා ෆේස්බුක් පෝස්ට් ශෙයා කරපු එක. හැබැයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියන එක ගැන කවුරුත් කතා කළේ නැහැ. එහෙම කතා නොකරන්න හේතුව ගොඩක් අයට මේ ගැන දැනුවත්බවක් නැති එක. මේ වගේ දේවල් වෙන්න හේතුව සමාජ නොදැනුවත්කම. ඒ නිසා මේක සමාජයක් විදියට හැම කෙනෙක්ම දැනුවත් වෙන්නම ඕනා මාතෘකාවක්.

මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. මේක කිසිම ආගමකට නැත්තම් ආගමික ශාස්තෘවරයෙක්ට අපහාස කරන්න ගන්න උත්සාහයක් නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕනේ.

හවුල් මානසික ආබාධය කියන්නේ සමීප  සම්බන්ධතාවයක ඉන්න පුද්ගලයන් දෙන්නෙක් හෝ වැඩි ගණනක් මිථ්‍යා විශ්වාස බෙදාහදා ගැනීම නිසා ඇතිවන මානසික ආබාධයක්. ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙක් වෙච්චි ජූල්ස් බයිලර්ගර් තමයි මේ රෝගය ගැන මුලින්ම වාර්තා කළේ. ඒ එක්දාස් අටසිය හැටේදි.

අපි මෙතැනදී මුලින්ම කතා කරන්න ඕනේ ප්‍රේරකයා නැත්නම් ආගමික දේශකයා විදියට කටයුතු කරන පුද්ගලයා ගැන. මොළයේ ස්නායු සම්ප්‍රේශකවල ක්‍රියාකාරීත්වය වෙනස් වුණහම කෙනෙක් තුළ මායාවන් (Delusion) ඇතිවෙන්න පුළුවන්. එහෙම වුණාහම ඒ පුද්ගලයට විවිධ දේවල් මැවිලා පේන්න, ඇහෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කතා කරලා නිවන් යන මාර්ගය ගැන කියනවා වගේ දේවල්. නැත්නම් තමන් දෙවියෙක්, බුදුවෙලා නැත්නම් රහත් වෙලා ඉන්නේ කියලා දැනෙන්න පටන්ගන්නවා. මේක මානසික ව්‍යාධියක්. ඒ නිසා මේක ඕනම උගත්, සල්ලි තියෙන, ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට හැදෙන්න පුළුවන්. ඔය මෑතකදී වුණු සිදුවීමේ දේශකයා වුණත් උපාධිදාරියෙක්.

තව කියන්න ඕනේ මෙතෙක් වාර්තා වෙලා තියෙන සිදුවීම්වල ප්‍රධාන දේශකයා විදියට  හිටපු හැම කෙනාම බොහොම ප්‍රියමනාප හොඳට කතා කරන්න පුළුවන් අය කියන එක. 

කෙනෙක්ට මේ කියන මායාවන් ඇතිවෙන්න බලපාන නිශ්චිතම හේතු තාම හොයාගෙන නැහැ.හැබැයි ජානමය තත්ත්වයක්, පෞරුෂ සොබාවය, ආර්ථික පීඩන, හීනමානය වගේ දේවල් නිසා මොළ​යේ මේ වෙනස වෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා.

කණ්ඩායමේ ප්‍රධානව ඉන්න මේ පුද්ගලයගේ තවත් ලක්ෂණ ටිකක් කියන්නම්. මේ අය බොහොම ව්‍යාකූලයි (Paranoia). නිතරම බයවෙලා කණස්සල්ලෙන් වගේ ඉන්නවා. මෙයා මුලින්ම එයාට දැනෙන දේ එයාගේ මතය ඒ කියන්නේ සියදිවි නසාගත්තහම නිවන් යන්න පුළුවන් කියන මතය කට්ටියට කියනවා. කවුරුහරි එයාට විරුද්ධව කතා කළොත් එයා ඒ පුද්ගලයාව දකින්නේ යක්ෂයෙක්, සතුරෙක් විදියට. ඔය හේතු නිසා ඔහු ​පොදු සමාජයෙන් ක්‍රමයෙන් අයින් වෙනවා. 

මෙයාට අනුගාමිකයන් පිරිස් හැදෙන්නේ කොහොමද? ඒ මෙහෙමයි. තමන් විශ්වාස කරන සංකල්පය ප්‍රචාරය කරන්න අර පුද්ගලයා හරි කැමතියි. ඉතින් ඔහු ඒකට පිරිස එකතු කරනවා. විශාදය, බයිපෝලර්, මානසික ආතතිය, භීන්නෝන්මාදය වගේ මානසික ගැටලු තියෙන අය මේ කෙනාට කාන්දම් වගේ ඇදෙනවා. නොදන්නවට ආර්ථික, සමාජයීය ප්‍රශ්න වැඩි අපේ වගේ රටක මානසික ගැටලු තියෙන මිනිස්සු බොහොම සුලබයි. මානසික රෝගවලට ප්‍රාථමික අවධියේදීම ප්‍රතිකාර නොලැබුණු අය ​මේ අයට එකතු වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ කෙනෙක්ට විශාදය තියෙනවා. ඒ කෙනාට අර මනුස්සයා ඇවිල්ලා “ජීවත්වෙලා වැඩක් නෑ, නිවන තමයි එකම මඟ, සියදිවි නසාගත්තහම නිවන් ගිහින් මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්” කියලා කියනවා. විශාදය තියෙනවා කියන්නේ සියදිවි නසාගන්නම පොටක් හොයන මානසික ව්‍යාධියක්. ඒ වගේ කෙනෙක්ට අර වචන ඉබ්බා දියේ දැම්මහම ඇන්නාවයි වගේ. 

ඔය වගේ විවිධ මානසික රෝග තියන පිරිස මේ පුද්ගලයා වටා එකතු වෙනවා. එතකොට තමයි ඔය පිරිසට හවුල් මානසිකත්ව ආබාධය තියෙනවා කියලා කියන්න පුළුවන්.

මේ සාමාජික කණ්ඩායමට කණ්ඩායම් නායකයා තරම් තවත් කෙනෙක් නැහැ. ඒ අය ඔහුව දකින්නේ තමන්ගේ ගැලවුමට ආපු දෙවියෙක් වගේ. ඔහු කියන්​නේ මොකක්ද ඔවුන් ඒ දේ කරනවා. නායකයාට දොස් කියනවට එයාලා කැමති නැහැ. ඒ වගේම නායකයා මැරුණට පස්සෙත් ඇතැම්විට අර සංකල්පය ඉස්සරහට ගෙනියන්න සාමාජිකයෝ උත්සාහ කරනවා. ව්‍යාකූලත්වය, හුදෙකලා වෙන්න බලන එක, ආත්මශක්තිය අඩුකම, ධාර්මික දේට වැඩිපුර යොමුවෙන එක වගේ ලක්ෂණ මේ අය තුළත් තියෙනවා. 

මේකේ භයානකකම මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද මේ සමූහ මානසික ව්‍යාධියේ අවසාන ප්‍රතිඵලය සාමූහිකව ජීවිත නැති කරගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පිරිසක් සමුල ඝාතනය කරන එක. මොකද තමන්ගේ ආගමික මතය විශ්වාස නොකරන අය ගැන මේ අය නිතරම සැකෙන් ඉන්නේ. එතකොට ඒ අයව මරන්න වුණත් මේ පිරිස පෙළඹෙන්න පුළුවන්. සහාරාන් කියන පුද්ගලයාටත් තිබුණේ මේ කියන ගැටලුවම තමයි.

ඉතින් මේකට මොකද සමාජයක් විදියට අපිට කරන්න පුළුවන්? මූලිකම දේ දැනුවත්වෙන එක සහ අනිත් අයව දැනුවත් කරන එක. මේ සිද්ධියේදී දරුවෝ එක්ක සියදිවි නසාගත්තු බිරිඳටත් යම් මානසික ව්‍යාකූලත්වයක් තිබිලා තියෙනවා. හැබැයි මේ පිරිස මෙහෙම දෙයක් කරන්නේ මේකයි කියලා කවුරුහරි දැනුවත්ව හිටියා නම් අද ඒ ජීවිත 7ම බේරගන්න තිබුණා.

ඒ කියන්නේ මෙතැනදී මේ පිරිසටම බැනලා වැඩක් නෑ. ඒ අය එහෙම කරන්නේ මානසික ව්‍යාධියක් නිසා. වගකීම තියෙන්නේ සමාජය අතේ. තමන් දන්න කෙනෙක් මෙහෙම දේශන තියනවා නම් එකපාර බුදුවෙලා කියනවා නම් නැත්නම් මේ වගේ දේශනවලට සහභාගී වෙනවා කියලා දැනෙනවා නම් ඒ අයව මනෝ වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න. තරුණ වයසේ දරුවෝ සුද ඇඳගත්තු අය පස්සේ යනවට අපේ වැඩිහිටියෝ නම් කැමතියි. ලංකාවේ වැඩිහිටියන්ට මානසික සුවතාවය ගැන දැනුම අඩුයි. ඒ නිසා දරුවෙක් එකපාර බණට දහමට යොමුවෙන එක ගැන සතුටු වෙන්න නොයා පොඩ්ඩක් හොයලා බලන්න.

සාමාන්‍යයෙන් මේ වගේ උදවියව මනෝ ප්‍රතිකාරවලට යොමු කරන්න අමාරුයි. මේක මුළු සමාජයටම බලපෑමක් වෙන දෙයක් නිසා ප්‍රතිකාරවලට යොමුවෙන්නේ නැත්නම් පොලිසිය දැනුවත් කරන්න වෙනවා. එතකොට ඒ අය මේ පුද්ගලයන්ව බලෙන් ප්‍රතිකාරවලට යොමු කරවනවා. තත්ත්වය මුල් අවස්ථාවේම  අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. කල් යන්න යන්න තත්ත්වය පාලනය කරන්න අමාරුයි.

යම්කිසි ආගමක් අදහන එක වරදක් නෙමේ. හැබැයි ආගමක වැරදි තැනින් අල්ලගන්නවා කියන්නෙම මානසික ව්‍යාධියක​ පෙරනිමිති වෙන්න පුළුවන්. මේ ලිපිය ලියද්දිත් වෙනත් රටකින් ආපු තමන් අවලෝකිතිශේවර කියාගන්න පුද්ගලයෙක් ගැන සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. සමහරු ඒ පුද්ගලයට වඳිනවා. මේ වගේ අයට වඳින්නේ ලොකු මානසික පීඩාවල ඉන්න මිනිස්සු. ඒ අය බලන්නේ තුත්තිරි ගහේ හරි එල්ලෙන්න. ඉතින් ඒ අයට බැනලා වැඩක් නැහැ. ඔවුන් අනුකම්පාව ලබන්න ඕන පිරිසක්. මේ වගේ අයට බැන බැන ඉන්න එකත් බුද්ධිමත්කමක් නොවේ. මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා සිහි නුවණින් හිතලා ඒ පුද්ගලයෝ දිහා සංවේදීව බලලා ඔවුන්ට ප්‍රතිකාරවලට ​යොමු කරන එකයි නියම බුද්ධිමත්කම.

සෙව්වන්දි හෙට්ටිආරච්චි