සුව දිවිය

දර්ශන කාමුකත්වය තියෙන අයට ලිංගික එක්වීමකින් සතුටු වෙන්න බෑ

පහුගිය සතියේදී ගම්පහ පෞද්ගලික උපකාරක පංතියක කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් වැනි නවීන තාක්ෂණික උපකරණයක් සොයාගත්තා. මේ උපකාරක පංතිය පිහිටලා තියෙන්නේ ගම්පහ විජයරාම පාරේ. තමන්ගේ අධ්‍යාපන ආයතන ගැන විශ්වාසය තියලා නිදහසේ එහි ගිය ආව සිසුවියන් මේ සිදුවෙමින් තිබුණු මගෝඩි තක්කඩි වැඩේ ගැන හාංකවිසියක්වත් දැනගෙන ඉඳලා නෑ. කොහොම නමුත් බිම් මට්ටමේ ඉඳලා අඩි 4-5ක උසින් සවි කරල තිබුණ මේ තාක්ෂණික උපකරණය මුලින්ම දැකලා තියෙන්නෙ එහි අධ්‍යාපනය ලබන අ.පො.ස. (උ.පෙළ) සිසුවියක්. අනතුරුව ආයතන කළමනාකරීත්වයත්, ගුරුවරුන් සහ අනෙකුත් සිසුන්වත් දැනුවත් කළ දෙමව්පියන් මේ ගැන ගම්පහ පොලිසියට පැමිණිලි කරලා තිබුණා.

ගම්පහ පොලිසියේ තොරතුරු තාක්ෂණික කොට්ඨාසය මගින් කළ විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ මෙය ජංගම දුරකතනයකින් හෝ පරිගණකයක් භාවිතයෙන් දුරතියා දර්ශන නැරඹීමට හැකියාව ඇති නවීන තාක්ෂණයෙන් යුත් තාක්ෂණික උපකරණයක් බවයි.

මෙම සිදුවීමට අදාළව මේ වනවිට පාර්ශව කිහිපයකින්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් උසස්පෙළ විභාගය හේතුවෙන් සිසුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට හැකියාවක් ලැබිලා නෑ. කොහොම වුණත් ගම්පහ පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු සහ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ එම නිසා උසස්පෙළ විභාගය අවසන් වනතුරු මෙම අධ්‍යාපන ආයතනය තාවකාලිකව වසා දමන්න ඔවුන් කටයුතු කළා කියලා.

ලෝකය තාක්ෂණික දියුණුවත් එක්ක කොයිතරම් ඉස්සරහට ගියත් මෙවැනි සිදුවීම්වලින් මිනිසුන්ගේ මානසික මට්ටමේ දියුණුව ගැන මතුවෙන්නේ ප්‍රශ්නා​ර්ථයක්. මෙවැනි තත්ත්වයන්ට හේතුව සහ ඊට පිළියම් මොනවාදැයි අපි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් අදහස් විමසීමක් කරන්නට සිතුවේ ඒ නිසා.

‘‘ඇත්තටම මම ඉතාමත් හොඳ උදාහරණයක් එක්කම මේ කතාව පටන්ගන්නම්. මගේ උපදේශන සේවාවලට ආව ගිය අවුරුදු 35ක පුද්ගලයෙක් හිටියා. ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක්. මේ පුද්ගලයා කියන විදියට ඔහුට තියෙන ලොකුම ආසාව තමයි රෑට ගෙදර එනකොට ඒ අතරමඟ පාරේ තියෙන ගෙවල්වල කාමරවලට එබිලා කාන්තාවන් දිහාත්, ඔවුන් ඇඳුම් මාරු කරන දිහාත් බලන එක. ගමේ මිනිස්සු කීපපාරක්ම ගහලා පොලිසියට භාරදුන්නත් වැඩක් වුණේ නැති නිසා අන්තිමට පොලිසියෙන් මගේ උපදේශන සේවාවලට සම්බන්ධ කළා.’’

මෙය මනෝ ලිංගික රෝග ඝනයට වැටෙන ‘දර්ශන කාමුකත්වය’ නමැති මානසික රෝගය බව වෛද්‍යවරයා අපට කීවේය.

‘‘මේ රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කිසිම වෙලාවකදී ස්වභාවික ලිංගික සංසර්ගයකින් සතුටු වෙන්නේ නෑ. ඒ අය හැමවෙලාවෙම උත්සාහ කරන්නේ තව කෙනෙකුගේ නිරුවත් ශරීර දිහා බලලා සතුටු වෙන්න. ගොඩක් වෙලාවට මේ අය මේ තත්ත්වයට පත්වෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ ලිංගිකව හැසිරෙන්න නිසි ඉඩ ප්‍රස්ථාවක්, සහකරුවෙක්, සහකාරියක් නොලැබීම වගේම ලිංගිකත්වය පිළිබඳ නිසි දැනුමක් නොලැබී යාම. ඇත්තම කිව්වොත් මේ වගේ මානසික රෝගවලින් පෙළෙන පුද්ගලන්ව බාහිර ස්වරූපයෙන් තෝරලා බේරලා අඳුනගන්න අමාරුයි. ඒ වගේම මේ රෝගයට ගොදුරු වෙලා ඉන්න රෝගීන්ගෙන් සීයට අනූවක්ම පිරිමි උදවිය කියලත් කියන්න ඕන.’’

එනිසාම ලැඟුම්හල්වලට යාමේදී, නිමිඇඳුම් ප්‍රදර්ශනාගාර තුළ ඇඳුම් මාරු කිරීමේදී සහ පොදු වැසිකිළි කැසිකිලි භාවිතයේදීත් ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව ඔහු අපට කීවේය.

‘‘ලිංගික උද්දීපනයකට කාන්තා සහ පිරිමි ශරීර දැකීම අවශ්‍ය වෙනවා තමයි. ඒත් බොහෝදුරට ඕනම කෙනෙක් ඒ වෙලාවට කරන්නේ තමන්ගේ සහකරුවගේ හරි සහකාරියගේ හරි ශරීර දිහා බලන එක. මොකද අපි සමාජයේ ජීවත්වෙද්දි අනිත් පුද්ගලයින්ගේ අයිතිය සුරැකෙන විදියට ජීවත්වෙන්න යුතුකමක් තියෙනවා. අනිත් කාරණාව තමයි අපි කිසියම් කෙනෙක්ව ස්පර්ශ කළත් ඒ පුද්ගලයාගේ අයිතිය සුරැකෙන විදියට තමයි ඒ දේ කරන්න ඕන. ඒ විදියට බැලුවම මේ තත්ත්වය මානසික රෝගයක් වුණත් එක් පැත්තිකන් නීතිවිරෝධී ක්‍රියාවක් විදියටත් සළකන්න පුළුවන්.’’

මේ කතා අහනකොට ගොඩදෙනෙකුට මතක් වෙන්නේ මීට කාලෙකට කලින් අපේ ගෙවල් පිළිකනුවල ගොම්මන් වෙලාවට හොල්මන් කරලා ගෑනු උදවියව බදාගත්ත ග්‍රීස් යකාවනේ. කොටින්ම කියනවා නම් යාන්තම් බිම් කළුවර වැටීගෙන එද්දී අපේ කාන්තාවෝ ග්‍රීස් යකාට බයේ දොට්ට පිලටවත් නොගිය කාලයකුත් තිබුණනේ.

‘‘ඊළඟට කියන්න ඕන මේ විදියට හැසිරෙන හැම පුද්ගලයම මානසික රෝගියෙක් නෙවෙයි කියන එක. ඒ පිටින් දාලා කාන්තා, ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, රහසිගතව ලිංගික දර්ශන ලබාගැනීම, නැරඹීම වගේ නීතිවිරෝධී වැඩ හිතාමතා කරන පුද්ගලයන් ඕනතරම් ඉන්නවා. අන්න ඒ නිසා අපි හැමවෙලාවෙම තමන් සිටින ස්ථානයත්, ළඟ සිටින පුද්ගලයින්වත් තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ.’’

නමුත් මෙවැනි මානසික රෝගයකට ගොදුරු වූ පුද්ගලයින් සිටී නම් ගුටිබැට දී ගස් බැදීමටත් වඩා ඔවුන්ව නියමාකාර වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාරවලට යොමු කිරීම වැදගත් බවයි අවසාන වශයෙන් වෛද්‍යවරයා කියා සිටියේ.

‘‘ඇත්තම කිව්වොත් මේක ලිංගික අධ්‍යාපනය ලබලා දෙන පාසල් පෙළපොත් තවදුරටත් හංගලා තියන්න ඕන කාලයක් නෙවෙයි. මොකද මේ දර්ශන කාමුකත්වය කියන මානසික රෝගයට ගොදුරු වෙලා ඉන්න ගොඩක් රෝගීන්ට අවශ්‍ය කාලෙදි නිසි ලිංගික දැනුමක්, ලිංගික සබඳතාවයක් ගොඩනගාගන්න අවස්ථාවක් නොලැබුණු අය. අන්න ඒ නිසා සමාජ සේවා අංශ මගින් මෙවැනි අයටත්, නව යෞවන යෞවනියන්ටත් මේ ගැන නිසියාකාර දැනුමක් සහ උපදේශන සේවාවක් ලබාදීමට අවශ්‍යයි.’’

ලිහිණි මධුෂිකා