විශේෂාංග

තරුණ ගෑනු ළමයි පිස්සු වට්ටපු මුල්ලේරියාවේ දොස්තර මහත්තයා

ඉහේ අමාරුවට, අතපයේ වේදනාවට බෙහෙත් ගන්නට ගමේ ඉස්පිරිතාලෙට ගිය අපේ අත්තම්මලා බොහෝවිට ආපහු ගෙදර ඇවිත් කීවේ දොස්තර දුටු පමණින් ලෙඩ හොඳ වූ බවයි. ඒ කරුණාවන්ත දොස්තර මහත්වරුන්ගේ හැටිය. ඔවුන්ගේ හිනාවත් විටෙක රෝගීන්ට ඉනාවකි. ඒ අතරතුර ඉස්පිරිතාල යනු බෙහෙත්ම නොවෙන වග කියමින් තරුණියන් පිරිසක් කඩවසම් දොස්තර මහතෙකුගේ ඡායාරූපයක් මුහුණපොතේ එහෙ මෙහෙ කරන හැටි ටිකදොහොක සිට අපි බලාගෙනය. ඒ නිසා තරුණියන්ට ඉනාවක් බඳු වූ මේ හැඩකාර දොස්තර මහත්තයා සචින් සමරසිංහ සමඟ ​ආගිය තොරතුරු ටිකක් කතා කරන්නට හිතාගෙන අපි ඔහුට දුරකතන ඇමතුමක් දුන්නෙමු.

‘‘ඇත්තටද ඩොක්ටර් මේ ගෑනු ළමයි බොරු ලෙඩ හදාගෙන බෙහෙත් ගන්න එනවා කියන්නේ?’’

එවර නම් දුරකතනයේ අනෙක් පස සිට ඔහු සිනාසුණේය.

‘‘සමහර තරුණ ගෑනු ළමයි නම් ලෙඩ බලද්දි මගේ දිහා හොරෙන් බලනවා. ඒ වගේම තවත් ගෑනු ළමයි බොරු ලෙඩ අරගෙනත් මාව බලන්න ඉස්පිරිතාලෙට එනවා. හැබැයි මම ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා හොරාට ලෙඩවෙලා මාව බලන්න ආවොත් එහෙම ඇත්තටම ඔපරේෂන් කරන්න තමයි වෙන්නෙ….’’

එවැනි සිදුවීම්වලට නිතර මුහුණ දුන්නද තමාගේ වෘත්තියේ ගෞරවය මෙන්ම වගකීමත් සැමවිටම අංක එකේ තබා කටයුතු කරන බව ඔහු අපත් සමඟ කීවේය.

මාතර වෙහෙරහේන ප්‍රදේශයේ උපන් ඔහුගේ වර්තාමාන පදිංචිය පිළියන්දලය. කරාපිටිය වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලද ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි.

‘‘මගේ ළමා කාලය වගේම ඉස්කෝලෙ කා‍ලයත් හරිම සුන්දරයි. ඒ කාලෙ ගෙදර විතරක් නෙවෙයි ඉස්කෝලෙදිත් මම කළේ නාහෙට අහන්නේ නැති හිතුවක්කාර වැඩ. ඒ නිසා මම විභාගයකදි වැඩිපුර ලකුණු ගත්තත් පහුවදා විෂයභාර ටීචර් ඇවිත් අහනවා සචින් ළඟ වාඩිවෙලා හිටියේ කවුද කියලා. එතකොට මුළු පංතියම මට හිනාවෙනවා. හොඳට ඉගෙනගන්න ඕන, දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ.’’

ඒ හිතුවක්කාරකම් මොනවා වුණත් තාත්තා නම් නිතරම හිටියේ සචින්ගේ පැත්තේය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ ඔහු ක්‍රීඩාවට සහ කාය වර්ධන ශිල්පයටත් තදින්ම ඇළුම් කළ අයෙකි. එම නිසා තාත්තාගේ ලොකුම බලාපොරොත්තුව වූයේ එකම පුතු ක්‍රීඩකයෙකු හෝ කායවර්ධන ශූරයෙකු වනු දැකීමය.

‘‘ඔහොම ඉන්නකොට තාත්තා ගෙදර පොඩියට ජිම් එකක් දැම්මා. ඊටපස්සෙ මම තාත්තට කිව්වා ‘මටත් ඔයා වගේ ලස්සනට ඇඟ හදාගන්න ඕන’ කියලා. ඒ කියපු ගමන් තාත්තා මාවත් ටවුන් එකේ ජිම් එකට බඳවලා ඒකෙ කෝච්ට කිව්වා මගේ ඇඟ ලස්සනට හදන්න කියලා.

ඉතින් ජිම් ගිහින් ඇඟ හදාගෙන ඉස්කෝලෙ යද්දි මම කෙල්ලන්ට පේන්න කමිසෙ අත්දෙක එහෙම උඩට නවාගෙන තමයි ගියේ. ටියුෂන් යද්දිත් තියෙන වැඩ කෑලි ටික සේරම දාලා කැපිලා පේන විදිහේ ඇඳුම් ඇන්දා. ඒ නිසා ඒ කාලේ ටියුෂන් ක්ලාස්වල කෙල්ලො අතර මම ප්‍රසිද්ධ චරිතයක්. අන්තිමට ඔහොම වැඩ දාන්න ගිහින් සාමාන්‍ය පෙළට මාස 6ක් තියෙද්දි පංතියෙ හතළිස් හතරවෙනියා වෙලා අම්මගෙන් හොඳට ගුටි කෑවා. එදා මං නිසා තාත්තත් අම්මගෙන් බැණුම් ඇහුවා.’’

එතැන් පටන් සචින්ට ඇඟ හැදීමට අම්මාගේ අවසර ලැබුණේ නැත.අම්මාගේ පෙරැත්තය නිසා හෝ අධ්‍යාපන කටයුතුවලට මූලික තැන දුන් ඔහු විශිෂ්ඨ සාමාර්ථ 8ක් සමඟින් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් විය. පසුව උසස් පෙළ කඩඉමද සර්ථකව ජයගත් සචින් කරාපිටිය වෛද්‍ය පීඨයට යන්නේ 2005 වසරේදීය. අනතුරුව හොරණ මූලික රෝහලේ වසරක සීමාවාසික පුහුණුවකින් පසු මොනරාගල මහ රෝහලට අනුයුක්තව සේවය කළ ඔහු මුල්ලේරියාව මූලික රෝහලට පැමිණෙන්නේ 2015 වසරේදීය.

‘‘අධ්‍යාපන කටයුතු ඉවර කරලා ආපස්සට හැරිලා බලද්දි මම හූනෙක් වගේ කෙට්ටු වෙලා. ලස්සනට ඇඟ හදපු තරුණයෝ මගේ ළඟට බේත් ගහන්න ආවම මට පොඩි ඉරිසියාවකුත් තිබුණා.

ඊටපස්සෙ මම හිතුවා ආපහු ජිම් එකකට ගිහින් ලස්සනට ඇඟ හදාගන්න ඕනේ කියලා.’’

ඉන්පසු දෙනෝදාහක් දෙනාගේ ඇඟේ පතේ අසනීපවලට ප්‍රතිකාර කරන අතරතුරම ඔහු ඇඟ හදාගන්නට ජිම් ගියේය.

‘‘මේ වෙනකොට මං කිලෝ 102ක් බරයි. ඒක නිසා ඒ බරට හරියට ආහාර රටාවක් තමයි අනුගමනය කරන්නේ. දවසකට බිත්තර 30ක් කනවා. (සුදු මදය පමණක්) චිකන් බ්‍රෙස්ට් කිලෝ එකහමාරක් කනවා. සමහර වෙලාවට මම මස් කිලෝ එකහාමර ඩ්‍රින්ක් එකක් විදිහටත් හදලා බෙනවා. සාමාන්‍යයෙන් ගෙදර හදන කෑමවලට අරුණම මගේ අතිරේක ආහාරවේල් එකකටවත් මම ලුණු එකතු කරන්නෙ නෑ. සති දෙකකට සැරයක් පීට්සා එකක් බර්ගර් එකක් වගේ කනවා. මොකද අවුරුදු ගානක් එකම ආහාර රටාවකට හුරුවුණාම කාලයක් යද්දි අපේ ඇඟේ කැලරි ප්‍රමාණය අඩු වෙන්න බලනවා. ඒ නිසා විවිධ ඌණතා ඇතිවෙන්න බලනවා. ඒක නිසා සති දෙකකට වරක්වත් ඒ විදියට ලොකු කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු කරගන්න ඕනෙ.

ගොඩක් තරුණයෝ ඉක්මනට ඇඟ හදාගන්න කියලා නොයෙක් ආකාරයේ සප්ලිමන්ට් පාවිච්චි කරනවා. ඒත් ඒවයේ අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය හරියටම තියෙනවද කියලා අපිට විශ්වාස කරන්න බෑ. අනික මොන රටේ මොන විදිහට හදනවද කියලත් අපි දන්නේ නෑ. මම නම් කියන්නේ සප්ලිමන්ට්වලට වියදම් කරන සල්ලි කෑමවලට යොදවන්න කියලා.’’

සචින් වෛද්‍යවරයෙකුද වන නිසා කාය වර්ධනය ප්‍රගුණ කරන කෙනෙකුට අවශ්‍ය නම් බයක් සැකක් නැතිව ඔහුගේ උපදෙස් පිළිපැදිය හැකිය.

‘‘ඊළඟ කාරණාව තමයි අද කාලේ ගෑනු ළමයි ගත්තොත් බො​හොම සුළු පිරිසක් තමයි තමන්ගේ ශරීරය ලස්සනට තියාගන්න උත්සාහ කරන්නේ. අනෙක් බහුතරයම අතට අහුවෙන තරමක් කාලා දවසින් වැඩි හරියක් නිදාගන්නවා. ලෝකේ ලස්සන වෙන්න කොල්ලෝ විතරක් ලස්සනට හිටියට මදි. කෙල්ලොත් ලස්සනට ඉන්න ඕනෙ.’’

වෛද්‍යවරයෙකුගේ දවස ගෙවෙන්නේ බොහෝ කාර්යබහුලවය. නමුත් එවැනි කාර්යබහුල දින චර්යාවක් මධ්‍යයේ වුවද ඇඟටත් හිතටත් දෙකටම හොඳ තමාගේ විනෝදාංශය වෙනුවෙන් ඔහු වේලාව වෙන්කරගෙන ඇත. ප්‍රියමනාපව ජීවත් වෙන්නටත්, සතුටින් ජීවිතය දරන්නටත් තමාගේ වෘත්තියේ කාර්යබහුලත්වය තවදුරටත් අදාළ නොවන බව අවසානයේ මේ ලස්සන දොස්තර මහත්තයාගේ කතාවෙන් පැහැදිලි වනු ඇත.

ලිහිණි මධුෂිකා