සුව දිවිය

බබා ලැබෙන්න ඉඳිද්දි සෙක්ස් කරන්න හොඳ නැද්ද?

සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්දර නිසා ලිංගාශ්‍රිත කාරණා පිළිබඳව කතාබහ කිරීම පවා ඇතැමුන් දකින්නේ බරපතළ අපරාධයක් ලෙසය. මේ කාරණා පිළිබඳව ඇති ලැජ්ජාව සහ බිය නිසා ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට යොමුවෙන පිරිසද සාපේක්ෂව අඩුය. ලිංගිකත්වය යනු කතා නොකළ යුතු මාතෘකාවක් නොවන අතර යහපත් සෞඛ්‍යමත් සමාජ ප්‍රගමනයකට ලිංගිකත්වය පිළිබඳ මනා දැනුවත්භාවය වැදගත්ය. ලිංගික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස මහතාගේ වෘත්තීය ජීවිතයේදී ඔහු ඇසූපිරූ සත්‍ය සිදුවීම් ඇසුරින් මෙම ලිපිපෙළ ලියැවෙන්නේ එවන් සමාජයක් බිහිකිරීමට රුකුල්වීමේ අරමුණු ඇතිවය.

ලිංගාශ්‍රිත රෝග සායනයකදී මට සඳුන්ව මුණගැහුනේ මීට මාස පහ හයකට උඩදී. ඔහුගේ බිරිඳගේ නම නයෝමි. ඒ වෙනකොට නයෝමිට දරුවා ලැබිලා මාස තුනක් විතර.​ මේ ඔවුන්ගේ පළමු දරු උපත. ඉතින් බොහොම ආදරෙන්, ආශාවෙන් මේ දෙන්නා කුසේ ඉන්න දරු පැටියව රැකබලාගෙන තියෙනවා.

දරුවා බඩට ආවා කියලා දැනගත්තු දවසේ ඉඳලා ඔවුන් අඹු-සැමි සබඳතා පවත්වලා තිබුණේ නැහැ. ඒ වගේ දේකින් දරුවට හානියක් වෙයි කියලා සඳුන් හිතලා තියෙනවා. ඒ වගේම බිරිඳට නම් ඒ ගැන අවශ්‍යතාවයක් දැනුණේ නැහැ කියලා තමන්ට දැනුණු බවත් සඳුන් කිව්වා.

දරුගැබට මාස හය හතක් වෙද්දි සඳුන් ඔහුගේ රැකියා ස්ථානයෙන් දැනහඳුනගත්තු කාන්තාවක් එක්ක ලිංගික සබඳතාවක් පවත්වලා තිබෙනවා. ඔහු මාත් එක්ක කිව්වේ එය අහඹු සිදුවීමක් කියලා. මේ සිදුවීමෙන් මාස කිහිපයකට පස්සේ සඳුන්ගේ ලිංගාශ්‍රිත පෙදෙසෙන් කහ පැහැති ස්‍රාවයක් ස්‍රාවය වෙලා. ඒ වගේම දරුණු යටිබඩේ වේදනාවකුත් ඇති වුණාලු.

සඳුන්ට වැළඳිලා තිබුණේ ක්ලැමීඩියාව කියන ලිංගාශ්‍රිත රෝගය. දරුවා ලැබිලා මාස ගණනක් ගත වුණත් මේ දෙදෙනා ලිංගිකව එක්වී තිබු‍ණේ නැහැ. ඒ නිසා ඔහුගේ බිරිඳට මේ රෝගය වැළඳෙන්න විදිහක් නැති බව ඔහු කිව්වා. ඒත් වෛද්‍යවරයෙක් විදියට එවැනි දේ සායනිකව තහවුරු කිරීම මගේ වගකීම. ඒ නිසා මේ කරුණු ගැන නොදන්වා බිරිඳවත් ලිංගාශ්‍රිත පරීක්ෂාවකට භාජනය කළා. සඳුන් කිව්වේ ඇත්ත. බිරිඳට ගැටලුවක් ඇතිවී තිබුණේ නැහැ. ඒ වගේම නිසි ප්‍රතිකාර මගින් සඳුන්ගේ රෝගය නිට්ටාවටම සුව කිරීමටත් පුළුවන් වුණා.

ගැබිනි සමයේදීත් ඉන් බොහෝ කාලයක් යනතුරුත් ලිංගිකව එක්වීම සුදුසු නැහැ කියලා සමාජයේ යම් යම් මතිමතාන්දර තිබෙනවා. ඒ නිසාමදෝ දරු ප්‍රසූතියෙන් වසර ගණනාවක් වනතුරුත් ලිංගිකව එක් නොවුණු අඹුසැමියන් මට මුණගැසිලා තියෙනවා. ඒ වගේම අනියම් සබඳතාවලට යොමුවුණ බොහෝදෙනා ඒ සබඳතා ඇති කරගන්නේ බිරිඳ ගැබ්ගත් පසු බවත් මම පෞද්ගලිකව දැකලා තිබෙනවා. ගර්භිණී සමයේ ලිංගිකත්වය ගැන කතා කරන්න සිතුවේ ඒ නිසයි.

ගර්භිණී සමයේදී ලිංගික එක්වීමෙන් දරුගැබ ගබ්සා වෙන්න ඉඩ තිබෙනවා කියන කතාව මිථ්‍යාවක් බව මුලින්ම කියන්න ඕනේ. ඒත් යම් යම් අවදානම් සාධක එක්ක කරුණු කාරණා වෙනස්වෙන්න ඉඩ තිබෙනවා.

කාන්තාවක් ගැබ්ගත්තාට පස්සේ ඇගේ ශරීරයේ හොර්මෝන මට්ටම් වෙනස් වෙනවා. ඒ වෙනස්වීමත් එක්කලා ඇයට කායිකව සහ මානසිකවත් විවිධ ගැටලු ඇතිවෙනවා.

පළමු මාස තුනේදි බොහෝ කාන්තාවන්ට මෝර්නින්ග් සික්නස් වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒත් එක්කම පියයුරුවල තද බව, ඇඟපතේ වේදනාව, නිතර වමනය යාම, හුස්ම ගැනී‍මේ අපහසුතා වගේ ගැටලුත් ඇතිවෙනවා. ගොඩක් මව්වරුන්ට ඊළඟ මාස තුනේදි (දෙවන ත්‍රෛමාසිකයේදී) යම් සහනයක් දැනුණත් තෙවැනි ත්‍රෛමාසිකයේදී අර ඉහත කිව් අපහසුතා ආයෙත් ඇතිවෙන්න ඉඩ තියෙනවා.

මේ ශාරීරික අපහසුතා නිසා බොහෝ මව්වරුන්ට කාංසාව, විශාදය වගේ මානසික පීඩාත් ඇතිවෙනවා.

ශාරීරිකව ඇතිවෙන මේ පීඩනය සහ හෝර්මෝන වෙනස්වීම නිසා ගර්භිණී සමයේදී ඇතැම් කාන්තාවන්ගේ ලිංගික ආශාව අවම වෙන්න නැත්නම් නැත්තටම නැතිවෙන්න පුළුවන්. ඒ වගේම ගර්භිණී සමයේදී වෙනදාට වඩා තදින් ලිංගික අශාවන් දැනෙන කාන්තාවනුත් සිටිනවා.

තමන්ගේ ලිංගික ආශාවන් අඩුවෙලාද නැතිනම් වැඩි වෙලාද කියන කාරණාව ගැන ගර්භිණී මවක් ඇගේ සැමියා එක්ක බොහොම විවෘත සුහද කතාබහක් ඇති කරගන්න එක වැදගත්.

ලිංගික එක්වීමෙන් හානියක් ඇති නොවුණත් බිරිඳගේ ලිංගික ආශාව අඩුවෙලා නම් ඇයට ලිංගිකව එක්වෙන්න බැරිතරමට ශාරීරික අපහසුතා දැනෙනවා නම් ඒ අපහසුතා තරමක් සුව අතට හැරෙනතුරු ඇය සමඟ ලිංගිකව එක්නොවීම වඩා හොඳයි.

ඒ වගේම යම් කාන්තාවකට ලිංගික අවශ්‍යතා තදින් දැනෙනවා නම් ඇය සමඟ ලිංගිකව එක්වීමට කිසිඳු බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.

ගැබිනි මවගේ උදරය විශාල වීමත් එක්ක ප්‍රායෝගිකව ලිංගිකව එක්වීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂිත ඒ වගේම අපහසු නොවෙන ලිංගික ඉරියව් අනුගමනය කිරීම වැදගත්.

යම් අවදානම් තත්ත්වයක සිටින මව්වරුනුත් සිටිනවා කියලා අපි කිව්වනේ. ඒ කාරණාව ගැනත් අපි දැන් බලමු. නිතරම ගබ්සාවීම්වලට හෝ නිසි කාලයට කලින් දරු ප්‍රසුතිය සිද්ධවෙන්න අවධානමක් තිබෙන මව්වරුන් ඉන්නව‍නේ. ඔවුන්ට සහ වැදෑමහ පහලින් පිහිටා තිබෙන මව්වරුන්ට ලිංගික එක්වී‍​මේදී යම් අවදානමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ අයගේ සෞඛ්‍ය තත්ත්වය සළකලා ලිංගික එක්වීම් සුදුසුද නැතිද කියන කාරණාව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා නිර්දේශ කරනවා. හැබැයි මේ ගැටලු තිබුණත් ලිංගික එක්වීම් නුසුදුසු බව වෛද්‍යවරයා නිර්දේශ කළේ නැතිනම් ලිංගිකව එක්වීමේ ගැටලුවක් නැහැ.

බබා ලැබෙන්න මාස තුනක් තියලා ලිංගික එක්වීම් නතර කරන්න ඕනෙද කියලා සමහරු අහනවා. එහෙම නැහැ. අම්මට අපහසුවක් නැතිනම් ගර්භිණී කාලයේ ඕනෑම කාලසීමාවක ලිංගිකව එක්වෙන්න පුළුවන්.

දරුවා ලැබුණට පස්සේ නැවත එක්වෙන්න අවශ්‍ය කාලයක් තියෙනවාද කියලත් ඇතැමුන් හිතනවා. එය තීරණය වෙන්නේ දරුවා ලැබෙන ආකාරය අනුවයි. සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් දරුවා ලැබලා සති දෙක තුනකින් වුණත් ලිංගිකව එක්වුණාට කමක් නැහැ. සිසේරියන් සැත්කමක වේදනාවට ටික කාලයක් තිබෙන නිසා ඒවා සුව වුණාට පස්සේ ලිංගිකව එකතු වෙන එක ආරක්ෂිතයි.

ඒ වගේම දරුවෙක් ලැබිලා කාලයක් ගතවනතුරු නව දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැතිනම් උපත් පාලන ක්‍රමවේද ගැන හිතන්නත් පටන්ගන්න.

ඉතින් මේ කාලයේදී බිරිඳ තුළ ඇතිවන වෙනස්කම්වලට විවෘත වෙන්න කියන එක තමයි විශේෂයෙන්ම මට කියන්න ඕනේ. ඒ නිසා මේ ලිපිය කියවන බිරිඳක්, මවක් මෙය සැමියා සමඟ බෙදාගන්නවා නම් වඩා හොඳයි. සැමියා තමන්ගෙන් දුරස් වෙයි, සැමියා වෙනත් සබදතා ඇති කරගනී නැතිනම් සැමියාට තමන්ගේ සිරුර ආකර්ෂණීය නැතිවෙයි කියලා බොහෝ ගර්භිණී කාන්තාවන් මානසිකව වද වේදනා විඳිනවා.

මේ සා මානසික කායික වේදනා දරමින් ඕබේ බිරිඳ ජීවය ලබාදෙන්නේ ඔබේ දරුවාට බව සෑම සැමි​යෙක්ම වටහාගන්න ඕනේ. ඒ වගේම දෙදෙනෙකු අතර ඇතිවන බැඳීම හුදු ලිංගික එක්වීමකට පමණක් සීමා නොවෙන බවත් තේරුම් අරගෙන ගැබිනි සමයේදී බිරිඳට සෑම අතින්ම සුවපහසුව සැලසීම සැමියෙකුගේ වගකීමයි.

ප්‍රගීත් ප්‍රේමදාස

ලිංගික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි