විශේෂාංග

මාර වැඩේ මගේ නෝනට ටික්ටොක් ලෙඩේ

අද කියන්නට යන්නේ දුරකතනයට සහ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වී සැමියාත්, දරුවාත් නොතකා හැරි බිරිඳකගේ කතාවක්ය.

මේ කතාවේ කතානායකයා තිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන සුමේධ ය. ඔහුගේ බිරිඳ විසි දෙහැවිරිදි තරුෂි ය. ඉතා රූමත් තරුණියක වන තරුෂිව තමා දුටුවේ අහම්බෙන් බවත්, දුටුවනම සිතක් පහල වූ නිසා තරුෂිගේ දෙමාපියන් සොයා ගොස් සියල්ලන්ගේ කැමැත්ත ඇතිව ඇයව විවාහ කරගත් බවත් ඔහු කියයි.

තරුෂිගේ පවුල ආර්ථික අතින් එතරම් ස්ථාවර නොවුණත් සුමේධගේ පවුලේ උදවිය මේ මගුල් තුලාවට අකමැත්තක් දක්වා තිබුණේ නැත.

සුමේධට යහමින් මුදල් හදල් තිබූ නිසා තරුෂි රැකියාවක් නොකළ අතර නිවසේ වැඩට සේවකයන් දෙදෙනෙකු සිටි බැවින් තරුෂිට කිරීමට වැඩපලක් පැවරී තිබුණේ ද නැත.

විවාහ වූ අලුත තරුෂිගේ වෙනසක් නොදැනුණත් විවාහ වී මසක් දෙකක් ගතවන තැනදී තරුෂිට දුරකතනය නැතිවම බැරි බව සුමේධ වටහාගත්තේය.

‘‘ෆෝන් එක හරියට එයාගේ ඇඟේම කොටසක් වගෙයි. මොකද එයාගේ අතේ ෆෝන් එක නැති වෙලාවක් නැහැ. කොයිවෙලෙත් ‘ටුකු ටුකු’ ගගා ඔබන එකමයි වැඩේ. වෙලාවකට ෆේස්බුක් එකේ. තව වෙලාවකට ටික්ටොක් එකේ.’’

රැයක් දහවලක් නැතිව ටික්ටොක් වීඩියෝ කිරීමට හුරු වූ ඇයට සෑහෙන අනුගාමිකයන් පිරිසක් සිටින බවත් ඔහු මා සමඟ කීවේය.

‘‘මම ඔෆිස් එකට ගියාම මෙයාට කරන්න වැඩකුත් නැහැනේ. ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ කම්මැලිකමට වෙන්න ඇති කියලා මම මුලදි හිතුවා. ඒ නිසා මෙයාව නිතරම එළිපහලියටත් එක්කරගෙන ගියා. වැඩක් නෑ. ඒ ගියත් මෙයා ෆෝන් එක බිමින් තියන්නෙම නැහැ.’’

මේ අතර සුමේධගේ කැදැල්ලට තවත් අමුත්තෙකු එකතුවන ලක්ෂණ පහල විය. කාලයාගේ අවෑමෙන් තරුෂි සුරතල් දියණියක ප්‍රසූත කළාය.

‘‘දරුවා ලැබුණට පස්සේ ෆෝන් මේනියාව හොඳ වෙයි කියලා හිතුවා.’’

නමුත් දරුවා ලැබුණු පසු තත්ත්වය තව තවත් නරක අතට හැරුණා මිසක සුමේධ සිතූ ලෙස හොඳක් වූයේ නම් නැත.

දරුවාගේ සියලු වගකීම් නිවසේ සේවකයන්ට පැවරූ තරුෂි ඇගේ ස්මාර්ට් දුරකතනය කුසින් වැදූ දරුවා සේ ආදරෙන් බලාකියා ගත්තාය.

‘‘දවසක් ගෙදර යනකොට දරුවා වැටිලා. ඔළුව ගෙඩි ගැහිලා, ලතෝනි දෙනවා. මෙයා ගෙදර වැඩ කරන ගෑනු කෙනාට හොඳටෝම බණිනවා. ඒ වයසක මනුස්සයව රස්සාවෙන් අස් කරන්නත් හැදුවා. ළමයා බලාගන්න මෙයාටත් වගකීමක් තියෙනවනේ. ඒ නිසා එදා නම් මම මෙයාට හොඳටම බැණ්නා.’’

තරුෂිගේ ෆෝන් කෙරුවාව පිළිබඳව සුමේධ පෙරට වඩා අවධානය යොමුකර තිබුණේ මෙම සිදුවීමෙන් පසුවය.

‘‘මගේ නංගිටත් මෙයාගේ මේ කල්කිරියාව ගැන තේරිලා තිබුණා. පස්සේ එයා ෆේක් එකවුන්ට් එකක් හදාගෙන මෙයාට පිරිමි ළමයෙක් වගේ මැසේජ් කරලා තියෙනවා.’’

සුමේධගේ නැගණියගේ පණිවිඩවලට තරුෂි ද දෙවරක් නොසිතා පිළිතුරු එවා තිබුණු අතර දිනක හමුවීමට එන බවට ඇය පොරොන්දු වී තිබිණි.

‘‘මෙයා මෙහෙම කීදෙනෙක් එක්ක චැට් කරනවා ඇද්ද? අනික හම්බවෙන්නත් ගිහින් තියෙනවද කියලා මම දන්නේ නැහැනේ.’’

සුමේධ කීවේ තරුෂි දෙස බලමින්ය.

‘‘අනේ මම කාවවත් හම්බවෙන්න ගියේ නැහැ. කම්මැලිකමට චැට් කළේ.’’

ඔහු ඒ වදන් පැවසූ විගස තරුෂි හඬමින් පැවසුවාය.

මෙවන් ගැටළුවකදී බිරිඳ සමඟ ගහමරාගැනීම හෝ ඇයව අත්හැර දැමීම වෙනුවට මනෝ උපදේශනය වෙත යොමු කිරීම ප්‍රශංසනීයය. ඒ නිසා මෙවන් සැමියෙකු ලැබීම ඇගේ වාසනාව බව මා ඇයට පැවසීමි.

තමාගේ සහකරු තමාට වඩා දුරකතනයට පෙම් කරන බව පවසන සැමියන් මෙන්ම බිරියන්ද සුලබය.

නිවසක අම්මා, තාත්තා දෙදෙනාම මේ ඇබ්බැහියට ගොදුරු වී ඇත්නම් එයින් පීඩනයට ලක්වන්නේ ඔවුන්ගේ දරුවන්ය.

අද වනවිට දුරකතනයක්, ෆේස්බුක් ගිණුමක් නැති අයෙකු හොයනවාට වඩා කළු නික සෙවීම පහසුය. තාක්ෂණය සමඟ ඉදිරියට යන වර්තමාන සමාජයේ දුරකතන භාවිතය වරදක් ලෙස මම නොදකිමි.

ඒ නිසා ගැටලුව ඇත්තේ දුරකතනයේ හෝ ෆේස්බුක් ගිණුමේ නොවේ. ඒවාට ගැති වී ඇති මිනිසුන්ගේය.

වඳුරාගේ අතට දැලි පිහිය ලැබුණා වාගේ දුරකතනය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ නොදැනුවත්වම ඒවාට ඇබ්බැහි වීමයි. එහිදී දක්නට ලැබෙන ඛේදනීය තත්ත්වය වන්නේ දුරකතනය හෝ අන්තර්ජාල පහසුකම් විසන්ධි වුවහොත් මොවුන්ට දවසේ එදිනෙදා කටයුතු නිසි ආකාරව සිදුකරගැනීමට හෝ එම පුරුද්ද වෙනත් යමකට ඈඳා චර්යා වෙනස් කරගැනීමට නොහැකි වීමය.

දුරකතන ඇබ්බැහිය දවසින් දෙකෙන් මඟහැර ගැනීමට පහසු නැත. ඒ සඳහා ඔබ ඔබටම නීති මාලාවක් පනවාගෙන ක්‍රමයෙන් එම ඇබ්බැහියෙන් මිදීමට උත්සාහ කළ යුතුය. තමාගේ සැමියා, බිරිඳ නැතහොත් දරුවන් අනවශ්‍ය ලෙස දුරකතනයට ඇබ්බැහි වී ඇති බව දැනෙනවා නම් ඔවුන්ව උපෙදේශන වෙත යොමු කිරීමත් ඔබගේ වගකීමය.

එබැවින් දුරකතනයේ වහලෙක් නොවී අවශ්‍ය දෙයට පමණක් දුරකතනය භාවිත කළ යුතු බව මම තරුෂිටද තේරුම් කළෙමි.

ජීවිතයම දුරකතනයට දියකර හැර ඔළුව ඔසවා බලන දිනක සැමියාත් දරුවාත් ඇය අසල නොවන්නට ඉඩ ඇති බවත් පැහැදිලි කළෙමි.

දුරකතන ලෝකයේ ඇති සබඳතාවලට වඩා සැබෑ ලෝකයේ සැබෑ බැඳීම්වලට තැන දීම වැදගත් බව තේරුම්ගත් ඇය ක්‍රමයෙන් එම ඇබ්බැහියෙන් මිදුණු අතර ක්‍රමයෙන් ආදරණීය බිරිඳක, මවක බවටද පත්වූවාය.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි