විශේෂාංග

එන්නත විද්දම රොබෝලා වගේ වෙනවද?

මේ ප්‍රශ්නය මගෙන් ඇහුවේ අවුරුදු 50ක පමණ ගෘහනියකි. ඒ මෑතකදී අපගේ සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ ආයතනය මගින් දියත් කරන ලද සමීක්ෂණයකට මා ඇයට කතාකළ විටදීය. සමීක්ෂණ තොරතුරුවලට පිළිතුරු දී අවසාන වී ඇය මගෙන් අසා සිටියේ ‘එන්නත ගැහුවාම රොබෝ කෙනෙක් වගේ වෙනවා නේද?’ යන ප්‍රශ්නයයි. ඒ සමඟම ඇය අසා සිටියේ එන්නත් දෙකම ගැහුවත් සමහරුන්ට රෝගය වැළඳෙනවා නම් එන්නත ලබාගැනීමේ ඇති ප්‍රතිඵලය කුමක්ද යන්නයි.

මෙම ප්‍රශ්න දෙකම ඇසීම පිළිබඳව ඈ සමඟ කිසිඳු තරහක් මට නැත. හැකිතාක් දුරට කරුණු පහදාදීමෙන් පසුව ඇය මගේ කරුණු පැහැදිලි කිරීම තේරුම්ගත් බව කියා සිටියාය. මේ ලිපිය ලියන්නේ ඒ නිසාය. මෙවන් වැරදි මත නිවැරදි කිරීමටය.

බෝ වන රෝග සහ බෝ නොවන රෝග එනම් දියවැඩියාව, හෘද රෝග, පෙනහලු රෝග, පිළිකා වැනි දේ නිසා කොවිඩ් ආසාදනය වූ අයෙකුට සංකූලතා ඇතිවිය හැකියි. සංකූලතාවයන්ට බොහෝ විට ගොදුරු වන්නේ එවන් බෝ වන හා බෝ නොවන රෝග බහුලව ඇති වයස 50 – 60 පසු කළ උදවියයි. මේ අතරින් බෝ නොවන රෝග ඇති අයට සංකූලතා ඇතිවීම වැඩිය. මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි තොරතුරු වසංගතයක් ද ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ විට නොදැනුවත්කමටත් සමහරවිට හිතාමතාත් බෙදාහරිනු ලබන ව්‍යාජ හා සාවද්‍ය තොරතුරු නිසා ජනතාවගේ මනස ව්‍යාකූල වෙයි. එමනිසා මෙම වසංගතයේ අවාසනාවන්ත තත්ත්වය නම් බෝ වන රෝග, බෝ නොවන රෝග සහ තොරතුරු වසංගතය එක්ව ඇති කරන නිශේධනීය සන්ධානයයි.

මීට අමතරව උගත් යැයි අප සිතන සමහර විද්වතුන් විද්‍යාත්මක පදනම ඉවත දමා පලකරන මතද මීට බලපායි. මෑතකදී, මේ රටම දන්නා විශේෂඥ දැනුමක් ඇති මහාචාර්යවරයෙක් පවසා සිටියේ මෙම එන්නත කලබලයෙන් සොයාගත් එකක් වන නිසා ඉන් නිසි ප්‍රතිඵල නොලැබෙන බවයි. ඒවා දකිද්දී අපිට කියන්නට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් මේ අවනඩුව කාට කියන්නද කියාය.

එන්නත ලහි ලහියේ සොයාගත් එකක් බව සැබෑය. නමුත් කඩිමුඩියේ කරනු ලැබූවද, ඒ සඳහා අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රියාවලිය එන්නත් නිපදවීම සඳහා භාවිතා කරන ක්‍රියාවලියම වේ.  රසායනාගාර තුළ කෙරෙන එම පර්යේෂණ, ඊට පසුව සතුන් යොදා ගනිමින් සත්ව ආකෘති තුළ පරීක්ෂා කරයි. ඊට පසු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් තුළ භාවිතාකොට ඇතිවන අතුරු ප්‍රතිඵල අධ්‍යයනය කරයි. ඊටත් පසු විද්වත් කමිටු විසින් නිර්දේශකොට හදිසි භාවිතය සඳහා ජනතාවට ලබාදෙයි. නමුත් එම එන්නත් පිළිබඳ පසුවිපරම එයින් නතර වෙන්නේ නැත. ඒවා දිගින් දිගටම සිදුකෙරේ.මේ එන්නත් මගින් ශරීරයේ ප්‍රතිදේහ නිපදවෙන ආකාරය සහ අතුරු ආබාධ පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතී. අප සතුටු විය යුත්තේ වසරක් ඇතුළත ඇස්ට්‍රා සෙණිකා, සිනොෆාර්ම්, ස්පුට්නික්, මොඩර්නා, ෆයිසර් වැනි එන්නත් ගණනාවක් නිපදවීමට හැකිවීම සම්බන්ධවය.

අපේ රටේ එන්නත් පිළිබඳ දත්ත සලකා බැලීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ජනගහණයෙන් මිලියන 2.7 කට මරණ වාර්තා වී ඇත්තේ විසි දෙදෙනෙක් පමණි. තවද අපේ රටේ සිදුවන මරණවලින් සියයට 75 කට වඩා සිදුවී ඇත්තේ වයස 60 වැඩි උදවියටය. ඔවුන්ගෙන්ද බහුතරය එන්නත් ලබා නොගත් උදවියයි. ඉන් බොහෝදෙනෙකුට බෝ නොවන රෝග ආබාධ ද තිබිණි. මේ තත්ත්වය තුළ වඩාත්ම සුදුසු වන්නේ එන්නත ලබාගැනීමයි. වැරදි ආකාරයට අසාධාරණ ලෙස ඉස්මතු කරනු ලබන මතිමතාන්තරවලට ඔබ රැවටිය යුතු නොවේ.

මෙම තත්ත්වය තුළ ඔබ කළ යුතු වන්නේ කුමක්ද? තමන්ට ලැබෙන පළවෙනිම එන්නත හොඳම එන්නත ලෙස සලකා එහි මාත්‍රා දෙකම ලබා ගැනීමයි. මෙහිදී එන්නත්කරණය පිළිබඳ කිව යුතු එක දෙයක් ඇත. එනම් එන්නත් පෝලිමක සිටි පමණින් හෝ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පමණින්ම මේ රෝගය වැළඳීමේ අවස්ථාව සහමුලින්ම නැති නොවේ යන්නයි. මෙම එන්නත මගින් කරන්නේ රෝගය පැතිරීම වැළැක්වීම නොව රෝගය වැළඳුන අයට සංකූලතා ඇතිවීම හා මරණය අවම කිරීමයි.  එන්නත ලබාගත් සීයක් සහ එන්නත් ලබා නොගත් සීයක් සංසන්දනය කිරීමේදී රෝගය වැළඳීමේ ඇති හැකියාව, එන්නත් ලබා නොගත් අයට වැඩිය. සංකූලතා ඇතිවීමද ඔවුන් අතර වැඩිය. මරණයට පත්වන සංඛ්‍යාවද වැඩිය. එන්නතින් කරනු ලබන්නේ රෝගය වැළැක්වීම නොව සංකුලතා හා මරණය වැළැක්වීමයි. ඒ නිසා එන්නත ලබා ගැනීමෙන් පසුව වුවද දෑත පිරිසිදු කිරීම්, දුරස්ථභාවය රැකීම, මුව ආවරණ පැළඳීම වැනි මූලික ආරක්ෂණ පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍යය.

තමාගේ නිවස තුළ වුවත්, පිරිස වැඩි නම් ඔවුන්ට ජීවත් වීමට ඇති ඉඩකඩ ප්‍රමාණය අඩු නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමෝපායන් භාවිතකොට රෝගය පැතිරීම වැළැක්වීම කළ යුතුය. එයට රජය පනවන නීති රීති අවශ්‍ය නැත. ඒවා ස්වයං වශයෙන් කළ යුතුය. විශේෂයෙන් 60 ට වැඩි පරම්පරාව ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම හා වගකීමයි.

මෙහිදී කිව යුතු තවත් කාරණයක් ඇත. එනම් එන්නත් දෙකම ලබාගත් අයට ආසාදනය වීමක් සිදු වුවහොත් ඔවුන්ට ඇතිවන රෝග ලක්ෂණ ඉතා අවම විය හැක. මේ නිසා සමහරවිට ඔවුන්ට රෝගය වැළඳී ඇති බවවත් දැන ගැනීමට ඉඩක් නැත. නමුත් ඔවුන් හරහා රෝගයක් පැතිරීම සිදු විය හැක.  මෙවන් තත්ත්වයක් තුළ මෙම වසංගතයෙන් ගොඩ ඒම සඳහා බලපාන සියලු සාධක තේරුම්ගෙන ස්වයං විනයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යමය.

වසංගතයක් පරාජය කිරීමේ එකම වගකීම ඇත්තේ රජය, සෞඛ්‍ය අංශ හෝ හමුදාවට පමණක් නොවේ. සමාජයේ සියලුදෙනාටම, තනි තනි පුද්ගලයාට, පවුල් ඒකකයට, ඒ සඳහා විශාල වගකීමක් ඇත. එම නිසා මේ අතිශය අභියෝගාත්මක අවස්ථාවේ සියලු අනවශ්‍ය ගමන් බිමන් අවම කිරීම මගින් මේ වෛරසය පරාජය කිරීමට දායක වන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.

මහාචාර්ය අතුල සුමතිපාල

මානසික සෞඛ්‍ය පිළිබඳ සම්මානිත මහාචාර්ය, කිල් විශ්වවිද්‍යාලය,

අධ්‍යක්ෂක සෞඛ්‍ය හා සමාජයීය පර්යේෂණ හා සංවර්ධන ආයතනය,

සභාපති ජාතික මූලික අධ්‍යයන ආයතනය.