විශේෂාංග

බඳින දවසෙ කරපු අනවශ්‍ය විහිළුව නිසා හස්බන්ඩ්වයි, මගුලයි දෙකම දමලා ගහලා මම ගෙදර ආවා

යමක් කමක් ඇති පවුලක එකම දියණිය වූ කාංචනා, පෞද්ගලික අංශයේ රැකියාවක නිරත උගත් කාන්තාවකි.

මේ තරුණිය මව්පියන් ගෙන ආ මංගල යෝජනාවකට කැමති වුණේ දැඩි පෙරැත්තය නිසා මිසක විවාහයකට තිබූ කැමැත්ත නිසා නොවේ.

දියණියගේ මංගල දිනය පිළිබඳ සැලසුම් කළ කාංචනාගේ දෙමාපියන් ඒ සඳහා තරු පහේ හෝටලයක් තෝරාගැනීමටද අමතක කළේ නැත.

‘‘සේරම වැඩ ටික හොඳට කෙරුණා. හැබැයි අන්තිම මොහොතේ Going away ඇඳුම මාරු කරන්න ගියහම තමයි ප්‍රශ්නේ ඇති වුණේ.’’

කාංචනා පැවසූයේ ආවේගශීලීවය.

‘‘ඇඳුම් මාරු කරන්න ගිය වෙලාවේ එයා මට කැත විහිළුවක් කළා. මම ඇත්තටම ඒ වගේ දේවල්වලට ආස නැහැ.’’

පැය කිහිපයකට පෙර තමාව විවාහ කරගත් සැමියා තමාට කළ විහිළුව නිසා උරණ වූ කාංචනා සැමියාට බණිමින් මංගල උත්සවය උඩු යටිකුරු කිරීමට කටයුතු කර තිබුණි.

‘‘ඇත්තමයි, ඒ වෙලාවේ මට ඒ මිනිහව මරන්න තරම් කේන්තියි. පුළුවන් නම් එදා ඒකගෙ ඔලුවත් පලලා තමයි මම එතනින් එළියට එන්නේ.’’

කතාබහ දුරදිග යාමේ අවසාන ප්‍රතිඵලය වූයේ මංගල ඇඳුම පිටින් කාංචනා නැවතත් ඇයගේ නිවසටම යාමයි.

‘‘මම ඉන්න තැනත් මට අමතක වුණා. මම මඟුල් සාරියත් උස්සගෙන අම්මලා ගාවට දුවගෙන ගිහින් ‘මට මේ කසාදේ එපා’ කියලා කෑගහලා ඇඬුවා. පස්සේ එයාලා මාව ගෙදර එක්කරගෙන ආවා. හෝල් එකේ හිටිය මිනිස්සු සේරම කට ඇරගෙන අපි දිහා බලාගෙන හිටිය හැටි මට තාමත් මතකයි.’’

කාංචනා කරුණු පැහැදිලි කළේ තමා කළ වීර ක්‍රියාවක් පැහැදිලි කරනා අයුරිනි. කෙසේ හෝ මෙම සිදුවීමෙන් වසර දෙකකට පමණ පසු නැවතත් විවාහ වීමට ඇය තීරණය කර තිබුණි.

‘‘දැන් එයත් මාව ඩිවෝස් කරන්න වගේ හදන්නේ. මට නම් ඒක ඒ හැටි ගානක් නැහැ. ඒත් කොහෙද මේ අපේ අම්මලා තාත්තලා නැහෙන්න හදනවනේ.’

කාංචනාගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුව මා වටහාගත් නමුත් ඒ පිළිබඳව ඇගෙන්ම විමසා බැලීම වඩා හොඳ බව මට සිතුණි. ඒ නිසා ඇගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුව කුමක්දැයි මම ඇයගෙන් විමසා බැලුවෙමි.

‘‘මට ඉක්මනට තරහා යනවා. ඒක ඉතින් මගේ විදිහනේ…’’

ඉක්මනින් කෝපගන්නා ස්වභාවයට අමතරව තරමක අහංකාර ගති ගුණද ඈ තුළ ඇති බව පැහැදිලි විය. කාංචනා සමඟ ඇයගේ සැමියා පැතුම් ද පැමිණ සිටියෙන් කාංචනාව මඳකට පිටතට යවා ඔහුව කාර්යාල කාමරයට කැඳවීමට මම කටයුතු කළෙමි.

‘‘මම හරි සාමකාමී පවුලක හැදුනු කෙනෙක් මිස්. අපේ අම්මලා තාත්තලා වුණත් කවදාවත් අපි ඉස්සරහා රණ්ඩු වෙලා නැහැ.’’

පැතුම්ගේ කතාබහ තුළින් ඔහු ඉතා නිවුණු ගතිගුණ ඇති තරුණයෙක් බව මට පැහැදිලි විය.

‘‘වචනයක් වැරදෙන්න බැහැ. ගිනිපුපුරක් වගේ ඇඟට ගොඩවෙනවා. තරහා ගියාම එයා මොනවද කරන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. ගෙයි බඩුමුට්ටු පවා කුඩු කරනවා. කොයිවෙලාවක හරි මොකකින් හරි දමලා ගහලා මාවත් මරලා දාවි. මට තවත් මෙයා එක්ක ජීවත් වෙන්න බැහැ මිස්.’’

පැතුම් සිටින්නේ දැඩි කළකිරීමකින් බව පැහැදිලිය.

‘‘මම මෙයාට කතා කරන්නෙත් හරි බයෙන්. ඇයි කොයිවෙලාවේ මගෙන් වැරදි වචනයක් පිටවේවිද දන්නේ නැහැනේ. තාම බැඳලා අවුරුද්දයි. අවුරුද්දට මෙහෙම නම් තව කල් යද්දි කොහොම වේවිද?’’

කාංචනාගේ හැසිරීම් රටාව තවදුරටත් ඉවසාගත නොහැකි බව ඔහු කියයි.

‘‘එකපාරක් බැඳපු ගෑනියෙක්නේ කියන එකවත් නොහිතා මම මෙයාව කසාද බැන්දා. මෙයා කලින් කසාදේ කඩාගෙන තියෙන්නෙත් මේ හේතුව නිසාමනේ. මං වගේ මිනිහෙක් එක්ක ඉන්න බැරි නම් මෙයාට කාත් එක්කවත් ඉන්න බෑ.’’

පැතුම් සිටින්නේ කාංචනාගෙන් වෙන්වීමේ දැඩි චේතනාවෙන් බව පැහැදිලි වූයෙන් ඇයගේ මේ ආවේගශීලී ගති සොබාවය යටපත් කිරීමට හැකි බව මම ඔහුට පැහැදිලි කළ අතර, මා පිළිබඳව ඇති කරගත් විශ්වාසය නිසාම කාංචනාට තවත් අවස්ථාවක් දීමට ඔහු එකඟ වූවේය.

කාංචනා තුළ වූ අමුතු ගතිසොබා නිසා ඇගේ අවේගශීලී බව එක් උපදේශන වාරයකින් යහපත් කිරීමට මම අපොහොසත් වීමි. නමුත් උපදේශන වාර කිහිපයකින් විවාහ ජීවිතයේ වටිනාකම තේරුම් කරදීමටත් ආවේගශීලීව සැමියාව පාලනය කිරීමට යාම දක්ෂකමක් නොවන බවත්, කරුණා ගුණය පෙරදැරිව සැමියා සමඟ සුහදව පවුල් ජීවිතය ගෙන යාමට බිරිඳක් දක්ෂ විය යුතු බවත් මම ඇයට පැහැදිලි කළෙමි.

කරුණු කාරණා සියල්ල හොඳින් වටහාගත් ඇය උපදේශන මාලාවේ අවසාන දිනයේදී මා සමඟ පැවසූයේ මෙයට පෙර නිසි උපදේශනයක් සඳහා යොමු වූවා නම් ඇගේ පළමු මංගල්‍යය රැකගැනීමටද ඇයට හැකියාව තිබුණු බවයි.

සැමියාගේ බිරිඳගේ ආවේගශීලී බව නිසා පවුලේ ප්‍රශ්න ඇතිකරගත් මෙවන් අයවලුන් මේ සමාජයේ සුලබය.

සිතට ඇතිවන කෝපය පාලනය කරගත නොහී ඇතිවන ගැටුම් මිනීමැරුම් වැනි ඛේදවාචකවලින් පවා අවසන් විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

කෝපය යනු හිතේ ඇතිවන භාවයක් බව අප කවුරුත් දන්නා කරුණකි. එවැනි සිතුවිලි ඇති වී නැති වී යාම ඉතා සාමාන්‍ය කරුණක් වුවත්, එම සිතුවිලි පාලනය කරගත නොහැකි ඇතැමුන් නිතර නිතර ආවේගශීලීව හැසිරීමට පෙළෙ‍ඹති.

ආවේගශීලී පුද්ගලයන් සමඟ ගැටළුවක් පිළිබඳව සුහදව කතාබස් කිරීමට අපහසු අතර, අනන්‍යන්ගේ මතයට එකඟ නොවන ස්වභාවක්ද මොවුන් තුළ දැකගත හැකිය.සැමියාගේ සුළු වැරදිවලට පවා තරහා ගනිමින් ගිරිය පුප්පාගෙන කෑකෝ ගසනා බිරිඳක් වෙනුවට සැමියාට, දරුවන්ට ආදරය කරුණාව පතුරවන ආදරණීය බිරිඳක් වීමට ඔබ දක්ෂ විය යුතුය.

එසේම විවාහයට පෙර ඔබ ඇසුරු කරනා පෙම්වතාගේ හෝ පෙම්වතිගේ ආවේගශීලීබව තරමට වඩා වැඩි බව ඔබට වැටහෙන්නේ නම් විවාහයට පෙරම ඔහුව හෝ ඇයව නිසි උපදේශනක් වෙත යොමු කිරීම සුදුසු බවද මම යෝජනා කරමි.

එසේම කුඩා දරුවෙකු තුළ වුවද නිතර නිතර ආවේගශීලී ගති මතුවේ නම් ඔහු ගහන ගහන පදයට නටන්නට නොගොස් ඔහුව නිසි උපදේශනයක් වෙත යොමු කිරීම ඔහුගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් බවත් වටහාගත යුතුය.

(මෙය රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද කතාවකි.)

සෙව්වන්දි හෙට්ටිආරච්චි