විශේෂාංග

‘‘මම අත්සන් නොකරපු ගිවිසුමක් පෙන්නලා බාබා කෙනෙක් ඇවිත් මාව අරන් ගියා.’’

ඇණ ගහපු ආරියවතී, බෙල්ල කැපූ රිසානා කී විට අපට අදටත් ඒ නම් මතකය. දහසක් හීන පොදි බැඳගෙන සෞදියේ ගෘහ සේවයට ගිය රිසානාට නම් නැවත මෙරටට ඒමට වාසනාව ලැබුනේ නැත. ආරියවතී පැමිණියද ඒ ඇඟ පුරාම ඇණ ගහගෙනය. දුප්පත්කමින් මිරිකී කරකියා ගන්නට දෙයක් නැති වූ තැන රියාල් සොයා අරාබිකරයේ යන කාන්තාවන්ට වන හිරිහැර අපමණය. ඇතැම්විට ඔවුන් ඇස්, ඉස්, මස්, ලේ මෙන්ම ජීවිතවලින්ද වන්දි ගෙවූ අවස්ථා පිළිබඳව අප විවධ මාධ්‍ය හරහා දැනුවත්ව ඇත. ඒත් තවමත් ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතනවලට කාන්තාවන්ගේ නාඩි වැටෙනවා නම් නීතිරීති, රෙගුලාසි අදාළම නැති ගානය.

එවැනි විදෙස් රැකියා නියෝජිත ආයතන කිහිපයක් කාන්තාවන් රවටා රහසිගත ගිවිසුම් මාර්ගයෙන් සංචාරක වීසා ක්‍රමයට මැදපෙරදිගට විකුණන ජාවාරමක් පිළිබඳව අපි දැනගත්තේ සති කිහිපයකට පෙරය. ලැබුණු තොරතුරුවලට අනුව සෝදිසි කරද්දී දැනගන්නට ලැබුණේ මෙම ජාවාරමේ ගොදුරු බවට පත්වී මැදපෙරදිග අසරණ වූ කාන්තාවන් බොහොමයක් සිටිනා බවයි.

‘‘මේ ඒජන්සිකාරයෝ මැදපෙරදිග යන ශ්‍රමිකයන්ට කියන්නෙ හොඳ වැටුපකට, හොඳ රැකියාවල්වලට ගිවිසුම්ගත කරනවා කියලා. මම වගේම මගෙත් එක්ක ගියපු අනිත් අය රට ගියෙත් හොඳ වැටුපකට, හොඳ රැකියාවක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා. හැබැයි මැදපෙරදිගට ගියාට පස්සේ කතාව වෙනස් වෙනවා. එහෙ තානාපති කාර්යාලවලින් අපිට කියනවා උඹලා ඇවිත් ඉන්නේ ගෙවල්වල වැඩ කරන්න කියලා. ඊටපස්සේ අපි අත්සන් නොකරපු අපේ අත්සන තියෙන ගිවිසුමක් පෙන්නලා බය කරවලා ගහලා බැණලා වැඩ ගන්නවා. ඒකත් ගොඩක් අඩු පඩියකට. අන්තිමට මොනවා නැතත් ජීවිතේ රැකගන්න ඕනකමට අකමැත්තෙන් හරි වැඩ කරනවා’’

එසේ කියන්නී රටවිරු සමාජ මාධ්‍ය ජාලයේ මෙරට නියෝජිතවරිය වන නිරෝෂිණී පෙරේරායි. පානදුරේ පදිංචි නිරෝෂිණී 2019 වසරේ මාර්තු මාසයේදී කටාර් රාජ්‍යය බලා යන්නේ සාත්තු සේවිකා අබෑර්තුවක් සඳහාය. ඒ කුරුණෑගල මාතා විදේශ සේවා නියෝජිත ආයතනයේදී කුවෙට් ඩිනාර් දෙසීයක වැටුපකට ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුය. එහෙත් එහි ගියපසු ඇයට සිදුවන්නේ කුවෙට් ඩිනාර් 110ක වැටුපකට ගෘහ සේවිකාවක් ලෙසින් සේවය කරන්නටය.

‘‘මම කුවෙට්වලට ගියේ මාර්තු 06 වෙනිදා. නියම විදියට නම් අපි එහෙට ගියපු ගමන් අපිට වීසා එක එවපු ගෙදරින් ඇවිත් අපිව එක්කගෙන යන්න ඕන. ඒත් එදා එහෙම කිසිම දෙයක් සිද්ධ වු‍ණේ නෑ. ඊටපස්සේ මාතා ඒජන්සියේ කුවෙට් නියෝජිතවරිය වෙච්ච ශ්‍රියාණි මට එදා රෑ එයාගෙ ගෙදර නවතින්න කිව්වා. පහුවෙනිදා මට නිලඇඳුමකුත් අන්දවාගෙන ශ්‍රියාණිගෙ කාර්යාලයට එක්කගෙන ගියා. වෙලාවේ අපේ රටෙනුයි, වෙනත් රටවල්වලිනුයි ආපු තවත් කාන්තාවො පෝලිමක් එතන හිටියා. ටික වෙලාවකින් එතනට බාබලා ඇවිල්ලා ඒ අයට කැමති කාන්තාවන්ව සල්ලි ගෙවලා අරන් ගියා. එක බාබා කෙනෙක් කුවෙට් ඩිනාර් 1500ක් (රුපියල් ලක්ෂ නවයක්) ගෙවලා මාවත් ගත්තා. කැමති රස්සාවයි, පොරොන්දු වුණ පඩියයි ලැබෙනවා නම් කමක් නෑ කියලා හිතාගෙන මම බාබා එක්ක ගියා. ඒත් ගියාට පස්සේ කිව්වා උඹ ඇවිල්ලා තියෙන්නේ ඩිනර් 110කට ගෙදර වැඩට කියලා.

මමවත් මාත් එක්ක ගියපු කෙනෙක්වත් ඩිනාර් 110ක ගිවිසුමක් අත්සන් කළේ නෑ. ඒත් ඒ ගිවිසුමේ අපේ අත්සන යොදලා තිබුණා. අපි තවමත් දන්නෙ නෑ මේ හොර ගිවිසුම පිටිපස්සේ ඉන්නේ ඒජන්සියද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයද නැත්නම් වෙනයම් කෙනෙක්ද කියලා.’’

පසුව නිරෝෂිණී මේ පිළිබඳව එරට තානාපති කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත. එහෙත් ඔවුන් ඇයට පෙන්වා තිබුණේ ඇගේ අත්සන යෙදූ ඩිනාර් 110ක වැටුපකට යටත් ගිවිසුමක්ය.

‘‘ඊටපස්සෙ මම ‘මාතා’ ඒජන්සි එකට කතා කරලා මේ ගැන ඇහුවා. එතකොට ඒ අය මට කිව්වා ශ්‍රියාණි බොරු විස්තර දීලා ඒජන්සි එක රැවැට්ටුවා කියලා. ශ්‍රියාණිගෙන් මේ ගැන ඇහුවම මාතා එකෙන් බොරු විස්තර දීලා ශ්‍රියාණිව රැවැට්ටුවා කියලා මඟඇරියා.’’

නිවැරදි ක්‍රමවේදයට අනුව නම් විදෙස්ගත වන ශ්‍රමිකයන් ගිවිසුම අත්සන් කළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරිපිටදීය. එහෙත් නිරෝෂිණී පවසන ආකාරයට ඇය සහ අනෙක් පිරිස ගිවිසුම්වලට අත්සන් තබා තිබුණේ පෙර කී විදේශ සේවා නියෝජිත ආයතනයේදීය. දුප්පත්කම නිසා විදෙස්ගතවන බහුතරයක් කාන්තාවන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ අය නොවේ. ඒ නිසා එවැන්නවුන් දැනුවත් කර රටතොට යැවීමේ වගකීම නියෝජිත ආයතනවලට මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයටද පැවරී ඇත. ශ්‍රමිකයන් විදෙස්ගත කළ පසු ගිවිසුම්ගත කාලය නිමවී නැවත මෙරටට පැමිණෙනතුරුම ඔවුන් පිළිබඳව සොයාබැලීමට අදාළ විදේශ සේවා නියෝජිත කාර්යාල මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයද බැඳී සිටී. නමුත් නිරෝෂිණී ඇතුළු පිරිස පවසන්නේ ඊට වෙනස්ම කතාවකි.

‘‘වෙන රටක ඉඳලා මැදපෙරදිගට ගියපු ශ්‍රමිකයෙකුට ගෙදරකින් හිරිහැරයක් කළොත් ඒ රටවල්වල තානාපති කාර්යාල ඒවට මැදිහත් වෙනවා. එතනින් එහාට එහෙම ගෙදරකට සේවක සේවිකාවෝ ගන්න බැරි වෙන තැනට ඒ අය නීතිය ක්‍රියාත්මක කරනවා. ඒත් අපේ රටේ තානාපති කාර්යාවල නිලධාරීන් බාබලා එනකොට පුටුවෙන් නැගිටලා සැලියුට් ගහනවා මම ඇස් දෙකට දැකලා තියෙනවා. නොවැම්බර් 6 වෙනිදා සෞදියේ ඉන්න කාන්තාවක් එයාව රට යවපු දඹුල්ලේ ඒජන්සියට කතා කරලා කිව්වා ගෙදර බාබා එයාට වද දෙනවා බේරගන්න කියලා. පස්සේ ඒජන්සි එකෙන් කිව්වා බාබා කරදර කරන විදිය වීඩියෝ කරලා එවන්න කියලා. කාන්තාව අමාරුවෙන් බාබා ඇඳුම් නැතුව කාමරේට එන විදිහ වීඩියෝ කරලා එවලා තිබුණා. අන්තිමට ඒජන්සි එකෙන් කිව්වා ඇඳුම් නැතුව කාමරේට එන ඒවා තිබුණට මදි කාමරේට ඇවිත් කරන දේවලුත් වීඩියෝ කරලා එව්වොත් තමයි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා අන්තිමට කාන්තාව එවපු වීඩියෝ එකත් ආපහු බාබාටම යවලා තිබුණා. ඊටපස්සෙ අපි ෆෝන් එකෙන් එයා එක්ක කතා කර කර ඉද්දිම එයාට ගහනවා අපිට ඇහුනා. එදා ඉඳලා ඒ කාන්තාව හොයාගන්න නෑ. ෆෝන් වැඩ කරන්නෙත් නෑ. මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. මේ ජාවාරමට මැදිවෙලා මැදපෙරදිගට ගිහින් දුක්විඳින කාන්තාවෝ ඕනතරම් අපිට තොරතුරු එවලා තියෙනවා. අපිව රට යවන විදේශ සේවා නියෝජිත ආයතන අපිට විරුද්ධව බාබලාට ඔත්තු දීලා රියාල් ගෙන්න ගන්නවා. ඒවා ගැන කොච්චර පැමිණිලි කළත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද වෙනකල් කිසිම පියවරක් අරන් නෑ.’’

එමෙන්ම කාන්තාවක් රැකියාවක් සඳහා විදෙස්ගත වීමට පෙර සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක් ඇත. ඒ අතරින් පවුල් පසුබිම් වාර්තාව විශේෂිතය. එම වාර්තාවේ අදාළ කාන්තාවට වයස අවුරුදු 5ට නොඅඩු දරුවන් නැති බව සනාථ කළ යුතු අතර, විවාහක නම් ස්වාමිපුරුෂයා විසින් අත්සන් තැබීමත් අනිවාර්යයෙන් කළ යුතුය. තවද එම කරුණු සියල්ල සත්‍ය හා නිවැරදි ඒවා බවට පදිංචියට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සනාථ කළ යුතුය. එහෙත් නිරෝෂිණී ඇතුළු කණ්ඩායම පවසන්නේ එවැනි සනාථ කිරීම් කිසිවක් නොමැතිව සංචාරක වීසා ක්‍රමයට මැදපෙරදිග යැවීමේ ජාවාරමක්ද මේ විදේශ රැකියා ඒජන්සි මඟින් ක්‍රියාත්මක බවයි.

‘‘විදෙස්ගත වෙන ශ්‍රමිකයන්ව සංචාරක වීසාවලින් වැඩිපුරම යවන්නේ ඕමාන්වලට. හැබැයි ඒ යවන්නේ ඩුබායි හරහා. ඩුබායිවලට ගියාට පස්සේ මේ මාෆියාවට සම්බන්ධ තැරැව්කරුවෝ වාහනවලින් ඇවිල්ලා මේ අයව අරන් යනවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ.’’

ඩුබායි යනු සංචාරක රටක් වීම හේතුවෙන් ඕනෑම අයෙකුට එම රටට ඇතුළුවීමට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගැනීම පහසුය. නමුත් ඕමාන් රටට එසේ ඇතුළු විය නොහැකිය. යම් ශ්‍රමිකයෙකු ඕමාන් බලා යන්නේ නම් අප පෙර කී පරිදි නීත්‍යානුකූල ලියකියවිලි නිවැරදිව තිබිය යුතුය.

‘‘ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකුත් මේ වැඩේට සම්බන්ධයි. ඒ කීපදෙනා විදේශ රැකියා නියෝජිත ආයතනවල කට්ටිය එක්ක එකතුවෙලා තමයි මේක කරන්නේ. රජයේ ලියාපදිංචි ලියකියවිලි නැතුව කාන්තාවන්ව ඩුබායි හරහා ඕමාන්වලට යවනවා. එහෙම ගිහින් අතරමං වුණු ගොඩක් කාන්තාවෝ අපිට මේ මාෆියාව ගැන තොරතුරු දීලා තියෙනවා. මේ ක්‍රමයට රට යවද්දී මුලින්ම ඒජන්සියේ නියෝජිත කණ්ඩායම කාන්තාවන්ව ආගමන විගමන දෙපාර්තමේන්තුවට එක්කගෙන යනවා. ඊටපස්සේ හිතවත් නිලධාරීන්ට අදාළ කාන්තාවගේ ඇඳුමේ පාට කියනවා. ඊටපස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර සහ ලියකියවිලි පරීක්ෂා කරන කවුළුවේ ඉන්න ඒ නිලධාරීන් එතන ඉඳලා ගුවන්යානය ගාවට යනකම්ම ප්‍රශ්නයක් නැතුව යන්න ඉඩ හදල දෙනවා.

ඒ ගියාට පස්සේ ඒ රටේ කාන්තාවෝ අපේ කාන්තාවන්ව රැකියාවල යොදවලා ඒ සල්ලි ඒ අය හූරගන්නවා. ඒ සේරමත් කරලා අන්තිමට ඔටුවෝ, එළුවෝ ඉන්න කාන්තාරවලට ගිහිල්ලා දාලා පාළු කාමරවල හිරකරලා වද දෙනවා. මෙහෙ නිලධාරීන්ට බේරගන්න කියලා පැමිණිලි කරහම හොරාට ගියා නම් අපිට කරන්න දෙයක් නෑ කියලා කියනවා.’’

දැනගෙන කළද නොදැන කළද වරද වරදමය. මොන හතරවරමක් හෝ ගසා මැදපෙරදිගට පැනගත්තොත් සියලු ප්‍රශ්න නිවාරණය වනු ඇතැයි සිතන අඩු අදායම්ලාභී පවුල්වල කාන්තවන්ට මෙහි බරපතලකම නොතේරීම පිළිබඳව අපිට පුදුම නැත. එහෙත් අහිංසක දරුපවුල් තනිකර දමා කීයක් හරි හොයාගන්නට මැදපෙරදිග යන එවැනි කාන්තාවන්ගේ ජීවිත දැන දැනම අවධානමේ හෙලන වගකිවයුතු නිලධාරීන් සිටියිනම් ඔවුන් පිළිබඳව අපිට ඇත්තේ පිළිකුලකි.

මේ චෝදනාව පිළිබඳව අප විමසීමට පෙරම කුරුණෑගල ‘මාතා’ නමැති විදේශ රැකියා ආයතනයේ ඉහළ නිලධාරියෙක්ගෙන් අපිට ඇමතුමක් ලැබිණි. ඔහුගේ ඉල්ලීම වූයේ මේ සිද්ධිය අල්ලා දමා (වාර්තා කිරීම නවතා දමා) නිහඬ වන ලෙසය. නමුත් දෙවනවර අප ඔහුටම ඇමතුමක් දී මේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ට සාධාරණ පිළිතුරක් ඇත්නම් ලබාදෙන ලෙස කීවෙමු.

‘‘ඔය කාන්තාවෝ කියන විදියට අපි ‘මාතා’ ආයතනය මගින් කිසිම හොර ගිවිසුමක් අත්සන් කරලා නෑ. ඒ අය යන රටේ අදාළ තානාපති කාර්යාලවලින් එන ගිවිසුම විතරයි අපි මෙහෙදිත් එයාලට අත්සන් කරන්න දෙන්නේ. ඔය කියන විදියට අපි එක්ක අත්සන් කරපු හොර ගිවිසුම් තියෙනවා නම් ඒ අයට පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කරලා අපිට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න. ඒක නිසා මේ චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.’’පසුව මේ සම්බන්ධව අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වීරසේකර මහතා කියා සිටියේ මෙවැනි කතාවකි.

‘‘ඇත්තම කිව්වොත් කවුරුහරි ශ්‍රමිකයෙක් විදෙස්ගත වෙනකොට එයාලට අදාළ ගිවිසුම අත්සන් කරන්න ඕන විදේශ සේවා කියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඉස්සරහදි තමයි. එහෙම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන ආවා. ඒත් 2015දී ඒ වැඩපිළිවෙල අතරමගදි නතර වුණා. නමුත් අපි ඉදිරියේදී ආපහු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේ විදියට ඒජන්සිකරුවෝ විසින් හොර ගිවිසුම්වලට මැදපෙරදිගට කාන්තාවන්ව අලෙවි කරනවා නම් ඒක බරපතළ චෝදනාවක්. ඒ අයට රජය මගින් බලපත්‍රයක් දීලා තියෙන්නේ එහෙම කූඨ ජාවාරම්වල නිරතවෙන්න නෙවෙයි. අපි වගකීමෙන් කියා සිටිනවා මේ විදියේ අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන හොයලා බලලා අපි ඒ අයට තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.’’

පසුව අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පාලක නිලධාරී සරත් රූපසිරි මහතාවද සම්බන්ධ කරගත්තේ මේ පිළිබඳව විමසීමක් කරන්නටය.

‘‘ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වෙලා ඔය විදිහේ ජාවාරමක් කෙරීගෙන යනවද නැද්ද කියලා කියන්න මම හරියටම දන්නේ නෑ. නමුත් එහෙම සම්බන්ධ වුණත් නැතත් වීසා එකේ වැරැද්දක් නැතුව ටිකට්පතක් නිකුත් කරලා තියෙන කෙනෙක්ව නවත්තන්න අපිට හේතුවකුත් නෑ. අයිතියකුත් නෑ. නමුත් මේ විදියට නීත්‍යානුකූල ලියකියවිලි නැතිකම නිසා රැකියා කිරී‍ම් අරමුණින් සංචාරක වීසාවලට මැදපෙරදිග යවලා තියෙනවා නම් ඒක වරදක්. ඒ විදියට විදෙස්ගත වුණු කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ අය ළඟ තියෙන තොරතුරු අපිට ඉදිරිපත් කළොත් ඒ ගැන සොයාබැලීමක් කරලා එවැනි නිලධාරීන්ට විරුද්ධව අපි තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා.’’

විදෙස්ගත ශ්‍රමිකයන් යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකකි. එම නිසා පුද්ගලිකව තම තමන්ගේ මඬි තර කරගැනීමේ අරමුණින් එවැනි ශ්‍රමිකයින් ජීවිත අවධානමේ හෙලන ඒජන්සිකරුවන් මුදල් ඉපයීමට ඊට වඩා සාධාරණ ක්‍රමයක් හොයාගන්නේ නම් හොඳය. එසේම මෙවැනි අකටයුතුකම් ඇස් පනාපිට සිද්ධ වෙද්දී, ‘දැක්කෙ නෑ, දන්නෙ නෑ’ යනුවෙන් පිළිතුරු දෙන වගකිව යුතු නිලධාරීන්ද තමාගේ රැකියාවට අවංක වන්නේ නම් මෙලොවට පමණක් නොව පරලොවටද හොඳය.

ලිහිණි මධුෂිකා